පොලිසිය භාරව ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශයටය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පොලිස් ඇමැතිකම මුලින්ම දැරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. හැබැයි එහි නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදී තිබුණේ සිය සහෝදරයා වූ චමල් රාජපක්ෂටය. එබැවින් ජනාධිපති අතේ පොලිස් ඇමැතිකම තිබුණාට පොලිසියේ වැඩි දෙනෙක් සැලියුට් ගහන්නට ගියේ චමල් රාජපක්ෂ ඇමැතිවරයාටය. පොලිසියේ බොහෝ අය චමල් ඇමැතිවරයා හරහා බොහෝ දේවල් කර ගත්තේය. ඒ චමල් ඇමැතිවරයාවත් හඳේ යවමිනි. පොලිසියේ දූෂිතයන් රැසක් කෙටි පාරවල්වලින් උඩ ගියා පමණක් නොව, ගන්න තියෙන හැම වරප්‍රසාදයක්ම ඒ කාලේ භුක්ති වින්දේය.
මේ ගැන එහෙන් මෙහෙන් ලීක් වෙන්නට ගැනීමත් සමඟ පොලිස් ඇමැතිකම එහෙම් පිටින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට විශ්වාසවන්තයෙක් වූ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරට දුන්නේය. අපිරිසිදු නොවූ’චරිතයක් වූ’සරත් වීරසේකර එම තනතුරට සුදුසු පුද්ගලයෙක් වූවත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය හා බැදී සිටි අය අතර කැපී පෙනෙන්නට වූ චරිත වූයේ පාතාලයේ කුඩුකාරයෝ සහ සමාජ විරෝධීන්ය. කිඹුලාඇල ගුණාගේ වගේම දෙමටගොඩ චමින්දගේ ගෝලබාලයෝ සරත් වීරසේකරට බැහැලම වැඩ කළ බව කොළඹ ජනතාවට ප්‍රසිද්ධ රහසකි.
ගෝඨාභය ආණ්ඩුවෙන් සරත් වීරසේකරට මුලින්ම ලැබුණේ පළාත් පාලන අමාත්‍යාංශයයි. ඒ අමාත්‍යාංශය දරන කොට ඔහු ළඟ නොසිටි ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය හා බැඳී සිටි කට්ට කෛරාටිකයින් රැසක්ම පොලිස් ඇමැතිකම ලැබුණත් සමගම අමාත්‍යාංශයට රිංගා ගත්තේය.
සරත් වීරසේකර අමාත්‍යවරයාගේ නම විකුණා ගේම් ගැසුවේ ඔවුන්ය. පොලිසියේ කිහිප දෙනෙක්ද ඒ ගොන්නට එක්වෙමින් පොලිස් ස්ථානාධිපතිකම් මුදලට විකුණන්නටද ගත්තේය. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට පොලිස්පතිවරු පත්කිරීම් ගැන රහස් ලියැවිලි පොලිස් අමාත්‍යාංශයේ ලේකම්ට ලියන්න පවා සිදුවන්නේ ඒ නිසාය. දේශපාලන පත්වීම් නොදෙන බව ඇමැති ප්‍රසිද්ධියේ කියනකොට ස්ථානාධිපතිකම් මුදලට අලෙවි වූයේ ද ප්‍රසිද්ධියේමය. පාර්ලිමේන්තුවේ පවා මේවා කතාකරන තරමට උඩුදුවා තිබුණේය.
පොලිස් අමාත්‍යාංශයට රිංගා සිටි දූෂිතයින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත්කර ගැනීම්, වංචා කිරීම් වැනි කරන්න හැකි හැම දෙයක්ම කළේ ඇමැතිවරයාගේ මුහුණේ දැළිද අතුල්වමිනි. අන්තිමේදී ඇමැතිවරයාටත් සියල්ල වැටහුණේ දෙමටගොඩ රුවන් නැමැති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුට ඇප ලබා දෙන්නම් කියා ඔහුගේ අමාත්‍යාංශයට නිතර යන එන සිය සමීපතයෙක් ලොකු ගානක් අතට අරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගැනීමත් සමගිනි. ඒ එක් වංචාකරුවෙක් ඇමැතිවරයා සමඟ රට සවාරියක් පවා ගොස් තිබුණේ යැයි කියැවුණත් ඒ ගැන නිසි තහවුරු කිරීමක් නොවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කියන්නේ අමාත්‍යවරයා ඩුබායි සංචාරයක නිරතව සිටින වකවානුවේ එකී පුද්ගලයාද ඩුබායිහි රැඳී සිටි බව පෙනී යන බවය.
මේ හුටපටය නිසාම සරත් වීරසේකරගෙන් පොලිස් අමාත්‍ය ධුරය ගැලවෙන්නට දින කිහිපයක් තිබියදී රටේ හටගත් දේශපාලන අර්බුදය හේතුවෙන් සරත් වීරසේකරට පමණක් නොව, මුළු ඇමැති මණ්ඩලයටම සිදුවූයේ ඉල්ලා අස්වීමටය.
ඒත් එක්කම පොලිසියේ බහුතරයකගේ ඉල්ලීම වූයේ හමුදාවේ නොවන අයෙක් පොලිසියේ ඇමැති ලෙසත් ලේකම්වරයා ලෙසත් පත්කරන ලෙසය. ඒ වන විට පොලිස් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතුකරමින් සිටියේද ජනාධිපතිවරයාට ඉතා සමීපතයෙක් වූ’විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකි.
එම ඉල්ලීමට ඇහුම්කන් දීමක් ලෙසින්දෝ නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී පොලිස් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන්නේ කෘතහස්ත දේශපාලනඥයෙක් වූ ප්‍රසන්න රණතුංගය. පොලිස් අමාත්‍ය ලේකම් ධුරය නම් වෙනස් නොවීය.
හැබැයි ප්‍රසන්නට වැඩි කලක් පොලිස් ඇමැති ධුරය දරන්නට ඉඩක් නොවීය. නැවතත් දේශපාලන අර්බුදය උඩුදුවමින් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් මුළු කැබිනට්ටුවම අහෝසි වී ගියේය.
අලුත් ඇමැතිවරු පත්කිරීමට මත්තෙන් ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරු කිහිප දෙනෙක් පත්කිරීමට වගබලා ගත්තේය. අගමැති ඉල්ලා අස්වීමෙන් ලේකම් තනතුරුද අහෝසි වී ගිය බැවින් පොලිසිය භාර නව ලේකම් ලෙස පත්කරන්නේ ද හිටපු ලේකම්වරයාම වූ ජගත් අල්විස්මය.
නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමඟ අලුත් ආණ්ඩුවේ පොලිස් ඇමැතිකම හිමිවන්නේ ටිරාන් අලස්ටය. රටම දන්නා චරිතයක් වන ටිරාන් අලස් නියෝජනය කළේ ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධින වූ පක්ෂ 10 කණ්ඩායමයි. එම කණ්ඩායමේ සෙසු සාමාජිකයින් ඇමැති ධුර භාරනොගන්නා තීරණයක සිටියදී ටිරාන් අලස් පොලිස් අමාත්‍යාංශය භාරගන්නේ ඔහුගේ සිතේ කාලයක් තිස්සේ පැලපැදියම්ව තිබුණු ආශාවක් ඉටුවීමක් නිසා විය හැකියැයි දේශපාලන ලෝකයේ විවිධ කකාබහද පවතී.
කෙසේ වෙතත් දැන් පොලිස් ඇමැති ටිරාන් අලස්ය. ඔහු පොලිස් ඇමති ධුරය භාර ගැනීමෙන් පසු පොලිස්පතිවරයාගෙන් කරන පළමු ඉල්ලීම වන්නේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව තමාගේ සම්බන්ධීකාරක ලෙස පත්කරන ලෙසය. පොලිස්පති අභිබවා යට තනතුරක් ලෙස අර්ථකථනය කෙරෙන ඒම පත්කිරීමට පොලිස්පතිවරයාගේ එතරම් කැමැත්තක් නොවීය. එසේම පොලිසිය පැත්තෙන් කියවෙන්නේ එය දේශපාලන පත්වීමක් වනු ඇති බවය. පොලිසිය සම්බන්ධීකරණය කිරීමට අමාත්‍යාංශයට නිලධාරියෙක් අනුයුක්ත කිරීම සහ අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණයට නිලධාරියෙක් අනුයුක්ත කිරීම දෙකක් බව පොලීසියේ මතය වී ඇත. කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම වී ඇත්තේ ඔහුව තමාගේ සම්බන්ධීකාරක ලෙස පත්කරන ලෙසටය.
දේශබන්දුව බස්නාහිර පළාතෙන් මාරුකර යවන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන්නේද මේ අතරතුරදීය. ඒ ගාලුමුවදොර අරගලයට පහරදීම මුල්කරගෙනය. නීතිපතිවරයාගේ අදහස වන්නේ අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් වූ’සාක්ෂිකරුවන් වැඩි දෙනෙක් සිටින්නේ බස්නාහිර පළාත තුළ වන බැවින් සහ එම සිදුවීම වන්නේ බස්නාහිර පළාත තුළ වන බැවින් තවදුරටත් ඔහු බස්නාහිර පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සුදුසු නොවන බවය.
මෙසේ පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් ලිපියක් යොමුකරනුයේද ඊට දින කිහිපයකට උඩදී දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුට දුරකතනයෙන් අමතා යම් බලපෑමක් කර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව තුළත් ඉන් පිටතත් ලොකු හා හූවක් පවතිමින් තිබියදීය.
ඒ වන විට දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම මානව හිමිකම් කොමිසමට කටඋත්තර දෙමින් සඳහන්කර තිබුණේ අරලියගහ මන්දිරය දෙසින් පැමිණ ගෝඨා ගෝ හෝම් ගම්මානයට පහරදුන් පිරිසට ගාලුමුවදොර දක්වා පැමිණීමට ඉඩ ලබාදෙන ලෙස පොලිස්පති සහ පොලිස් ලේකම්වරයා දැනුම් දුන් බවය. අරගලකරුවන්ට පහරදුන් පිරිස් කල්තියා විසුරුවා හැරීමට සූදානමින් පොලිසිය පෙළ ගස්වා තිබුණ බවද ඔහු කියා තිබුණේය. හැබැයි එක තැනක ඔහු පවසා ඇත්තේ එම පිරිසට ගාලුමුවදොරට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙසත් ඒ අය විසුරුවා හරින ලෙසත් ජනාධිපතිවරයා. තමාට කල්තියා උපදෙස් ලබාදී තිබුණු බවකි. ඒසේ නම් දේශබන්දු කර ඇත්තේ ලොකු වරදක් බවට චෝදනාවන් එල්ල වී ඇත. ඒ ජනාධිපතිගේ නියෝගය තඹ දොයිතුවකට මායිම් නොකර ජනාධිපතිට වඩා පහතින් සිටින පොලිස්පතිවරයාගේ සහ ලේකම්වරයාගේ අණ පිළිපැද තිබීමය.
මේ වන විට ඒ සම්බන්ධයෙන් ඇත්තේ යම් ආන්දෝලන තත්ත්වයකි. පොලිස්පති සහ පොලිස් ලේකම්ද ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම ගොස් කටඋත්තර දී හමාරය. එම කටඋත්තර අනුව ඇත්ත කියන්නේ දේශබන්දුද පොලිස්පති හා පොලිස් ලේකම්දැයි ඇත්තේ ගැටලුවකි. නීතිපති දෙපාර්තමේන්තුව නම් පවසන්නේ පහරදීමට පැමිණි පිරිසට ගාලුමුවදොර පැත්ත පළාතේ එන්නට ඉඩ නොතියන ලෙස පොලිස්පතිවරයා පෙර දිනයේම දේශබන්දුට නියෝගකර ඇති බවය.
පවතින තත්ත්වය හමුවේ අධිකරණයටත් ,නීතිපති දෙපාර්තමේන්තුවටත්, නීති ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකටත් දේශබන්දු තෙන්නකෝන් ගැන ඇත්තේ පැහැදිලි චිත්‍රයක් නොවේ. දේශබන්දුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි අධිකරණය පවා ප්‍රශ්න කරන්නේ ඒ නිසාය. අඩුම තරමින් දේශබන්දුට ලබාදෙන්නැයි කී ස්ථානමාරුව පවා ලබාදීමට පොලිස්පතිවරයාට නොහැකිවීම පිටුපස ඇත්තේ බරපතළ අබිරහසකි. නීතිපති විසින් එම ස්ථාන මාරුව ක්‍රියාත්මක නොවීම ගැන අධිකරණයට කියන්නේත් නිදහසට කාරණා පොලිස්පතිවරයාගෙන් අධිකරණය විමසන්නට තීරණය කරන්නේත් ඒ නිසාය.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවීමක් ලබාදෙන්නැයි නීතිපතිවරයාගෙන් ලද ඉල්ලීම එකවර බැහැර කළ බවක් නම් පෙනී නොයන බව පොලිස් මූලස්ථානයෙන් ලැබෙන තොරතුරුවල සඳහන්ය. පොලිස්පතිවරයා නිලධාරීන් කිහිප දෙනෙක් සමඟ කතාබහ කරමින් සැලසුම් කරනුයේ පොලිස් මූලස්ථානයට දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවීමක් ලබාදෙමින් අජිත් රෝහණ වැන්නෙක් බස්නාහිර පොලිස් ප්‍රධානියා ලෙස පත්කරන්නටය. ඒ අතර උතුරු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කොළඹට ගෙන්වා බස්නාහිර භාරදීම සුදුසු බවත් දේශබන්දු තෙන්නකෝන් උතුරට යැවීම නීතිපතිවරයා විසින් පෙන්වා දෙන සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම යන්නට පිළිතුරක් බවත් ඇතෙමකුගේ අදහස විය.
ඒ අනුව පොලිස්පතිවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී අලුත පත්වූ අමාත්‍ය ටිරාන් අලස්ගෙන් පොලිස්පතිවරයාට කොළඹ 07 පිහිටි ඔහුගේ පුද්ගලික කාර්යාලයට කැඳවීමක් ලැබෙන්නේ ඔහු වැඩභාරගත් මුල් දිනයේදීමය. පොලිස්පතිවරයා එහි යන විටත් දේශබන්දු තෙන්නකෝන් කල්තියාම එහි පැමිණ සිටියේය. ඊට සාක්ෂි සපයන්නේ අසල කාර්යාල සංකීර්ණයක සේවකයින්ය. ඒ අයට දේශබන්දු තෙන්නකෝන් එහි යන එන එක අමුත්තක් නොවූවත් පොලිස්පතිවරයාගේ පැමිණීම ගැන නම් විශේෂිතය.
පැයක් හමාරක් එදා මේ තුන්කට්ටුව අතර පැවතියේ සයකන්මන්ත්‍රණයකි.
එම සයකන්මන්ත්‍රණයෙන් පසු පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයට පැමිණෙන්නේ නම් මුහුණ අඳුරු කරගෙනය. ඒ පැමිණි ඔහු නීතිපතිවරයා විසින් යොමුකර තිබුණු ලිපිය අතට ගෙන ඊට පිළිතුරු ලිපි කිහිපයක්ම ලියමින් පැත්තකට දැමුවේය. පසුදින ඔහු සිය කාර්යාලයට කැඳවනු ලැබුවේ පොලිසියේ ප්‍රසිද්ධ පුතාලා දෙන්නගෙන් අයෙකි. ඒ ඒක් පුතෙක් සමග සතර කන්මන්ත්‍රණයකින් පසු නීතිපතිවරයාට යොමුකරමින් ලිපියක් සකසන්නේ දේශබන්දු තෙන්නකෝන්ගේ ස්ථාන මාරුව තමාට ඉටුකළ නොහැකි බව සඳහන් කරමිනි. ඊට හේතුකාරණා කිහිපයක්ම ඔහු සඳහන් කරන්නට වග බලාගත්තේ පුතාගේ නීති උපදෙස් අනුව යමිනි.
දැන් ඒ වැඩෙත් හරිය.
අරගලකරුවන්ට පහරදීමට අදාළවූ අධිකරණ කටයුත්ත ඉකුත් 25 වෙනිදා සිදුවන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීය. දේශබන්දු තෙන්නකෝන් ගැන අධිකරණයේදීත් ඇතිවන්නේ දැඩි කතාබහක්ය. ඒ ඔහුට ස්ථාන මාරුවීමක් ක්‍රියාත්මක නොවීමත් නීතිපති උපදෙස් ලබාදී තිබියදීත් අත්අඩංගුවට නොගැනීමත්ය. පෙර නඩු වාරයේදී පවා මහේස්ත්‍රාත්වරයා ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩිව දැනුම්දීමක් කළ අතර ඒ ගැන මාධ්‍ය විසින් ප්‍රසිද්ධියක්ද දුන්නේය. දේශබන්දු ඇතුළු සැකකරුවන්ට එරෙහිව පියවර නොගන්නේ නම් තමා නියෝගයක් ලබාදෙන බව එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩිව කළ දැනුම් දීමට මාධ්‍ය වැඩි ඉඩක් ලබාදී තිබුණේය.
එදා ඒ දේවල් අසාගෙන සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙවර දේශබන්දු තෙන්නකෝන් විසින් පැහැදිලි නියෝග ලබාදී ඇති බැවින් ඔහු සාක්ෂිකරුවෙක්ද සැකකරුවෙක්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් ඇතැයි කියමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට යම් බලපෑමක් එල්ලවූයේ යැයි කියැවුණේ ගියවර මෙම කාරණාව නොකී නිසාය. මෙවර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ කටයුත්තත් ඉටුකර දුන්නේය.
දැන් ඒ වැඩේත් හරිය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිවන්නේද මේ අතරතුරය. ඇමැතිවරයා වැඩ භාරගෙන පැය 24ක් යන්නට මත්තෙන් ජගත් අල්විස් සිය කාර්යාලයේ තිබුණු පුද්ගලික බඩුමුට්ටු ටික ගොඩගහගෙන ඉල්ලා අස්වීමේ ලිපියත් ජනාධිපති ලේකම්ට යොමුකරමින් ඉකුත් සඳුදා ඉවත්ව යන්නේ ඉදිරියේදී සිදුවන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංශෝධනයේදී තමාව කැපී යන බව දැනගෙනය. ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සිවිල් නිලධාරියෙක් පත්කිරීමට කල්තියාම රජය යම් තීරණයක් ගෙන තිබීම නිසාය. ඒ අනුව පොලිස් ලේකම් ධුරයට යෝජනා වී තිබුණේ පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායකගේ නමය. ඔහු ඊට එතරම් කැමැත්තක් දක්වා නොතිබුණේ රජයේ නිලධාරියෙක් ලෙස කළ සේවා කිහිපයක් සම්බන්ධයෙන් නඩු කටයුතු කිහිපයක් පැවතීම ඇතුළු සුවිශේෂී කරුණු කිහිපයක් මුල්කරගෙනය. පොලිස් කොමිසමේ ලේකම් ධුරය පවා විටෙක ඔහුට අහිමිවන්නේ ඒ නිසාය.
මෙවන් තත්ත්වයක් හමුවේ ටිරාන් අලස් නම් ජගත් අල්විස්ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට එතරම් කැමැත්තක් නොවීය. සිය ඉල්ලා අස්වීම යොමු නොකරන ලෙස ජගත් අල්විස්ට දැනුම් දෙමින් තමා ජනාධිපතිවරයා සමග ඒ ගැන කතා කරන්නම් යැයි කීවේය. ඒ අනුව පසු දින එනම් අඟහරුවාදා ද සුපුරුදු ලෙස ජගත් අල්විස් සේවයට වාර්තා කළේය. හවස් වන විට ජගත් අල්විස් වෙනුවට ජනාධිපතිවරයා විසින් එස්.හෙට්ටිආරච්චි පත්කරනුයේ මහජන ආරක්ෂක ලේකම්වරයා ලෙසිනි.
මේ අනුව බලන කල දැන් ගොඩක් වැඩ අවසන්ය. ඉතිරිව ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගෙදර යාම සහ ඊළඟ පොලිස්පති පත්කිරීමය. අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් එල්ලවී ඇති ‘චෝදනාවලින් නිදහස් වෙමින් එහි සාක්ෂිකාරයෙක් බවට දේශබන්දු තෙන්නකෝන් පත්වුවහොත් ඊළඟ පොලිස්පති ඔහු වනු කාටවත් වැළක්විය නොහැකිය. ඒ බව ඔහු මෙන්ම ටිරාන් අලස් අමාත්‍යවරයාද, පොලිස්පතිවරයාද හොඳින්ම දන්නේය.
විජය රනබාහු










