සාගර කාරියවසම් මහතා පහර දෙන්නේ තමාට නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළ පළමු ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාගේ ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් අගමැතිවරයාට බවත්, තමා සිදුකළේ සමස්ත ආණ්ඩුව ගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණක් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඊට අනුව ඉල්ලා අස්විය යුත්තේ තමන් ද සාගර කාරියවසම් මහතා ද යන්න මේ රටේ බුද්ධිමත් ජනතාව තීරණය කරනු ඇති බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම තීන්දුව ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහභාගී වූ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කවුරුන්දැයි නම් කරන ලෙස තමා සාගර කාරියවසම් මහතාට අභියෝග කරන බවද ඔහු පැවසීය.
ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය හේතුවෙන් තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලිඛිතව දැනුම් දීමක් ඒ සම්බන්ධයෙන් කර තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්ධන මිල වැඩි කරන ලෙස දැනුම් දී තිබූ බවද ඔහු පැවසීය.
තමන් හේතුවෙන් ඉන්ධන මිල වැඩි කලේ නම් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි රැගෙන තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස ඔහු මාධ්‍ය හමුවක් අමතමින් ඉල්ලා සිටියේය.
තම නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගයක් මෙසේ අභියෝගයට ලක් කලේ කෙසේදැයි පරීක්‍ෂණයක් කළ යුතු බවත් ඒ මහතා එහිදී පැවසීය.
සාගර කාරියවසම් නම් ප‍්‍රාණියෙක් මේ මහ පොළොවේ ජීවත් වන බව තමන්ද මීට වසර 05කට පමණ පෙර දැන සිටියේ නැතැයිද පැවසූ ඇමතිවරයා අද ඒ ප‍්‍රාණියා මහින්ද රාජපක්‍ෂ නම් චරිතයට අභියෝග කරන තැනට පත් වූයේ කෙසේදැයි ඔහු මවිතය පළ කළේය.
මහ ලේකම්වරයා විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාටම විරුද්දව ලිපියක් ලියා ඇතැයිද කී ඇමතිවරයා මෙම නිවේදනය ගැන ජනාධිපති හෝ අගමැති පවා කිසිදු දැනුවත් වීමක් නැතැයිද පැවසීය.
එමෙන්ම නිවේදනය නිකුත් කිරිම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු එකගතාවයක් නොතිබූ බවත් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෝ ඉදිරිපෙළ කිසිවෙකු හෝ දැනුවත් කර නැති බවත් කී ගම්මන්පිල මහතා මේ ගැන ඇමතිවරුන් කිහිප දෙනෙකුම තමන් අමතා දැන්වූ බවත් පැවසීය.
මෙම සිදුවීම පසුපස බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි මාධ්‍ය කළ විමසීමේදී ඇමතිවරයා සදහන් කළේ තමන් පසුපස නම් බැසිල් රාජපක්‍ෂ මහතා නැති බවත් සාගර කාරියවසම් පසුපස මහතා බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි දන්නේ ඔහුම බවත්ය.
මහින්ද රජපක්‍ෂ මහතාට පහර දීමට උවමනා කිසිවෙකු සෘජුව ඔහුට පහර නොදී ඔහුගේ තීන්දුවලට හා ඔහු සැබෑ ලෙසම රකින්නන්ට පහර දෙන්නේ කවුදැයි සොයා හෙළිදරවු කර ගැනිම ජාතික උවමනාවක් යයිද ඔහු එහිදී තව දුරටත් අවධාරණය කළේය.










