විස සහිත ටීඑස්පී පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව බවත් මේ පිටුපස ඇතැම් ඇමැතිවරුන්ද සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිණි.
විස පොහොර නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා සිටි සාකච්ඡාවකදී බවත් මෙම විස පොහොර තොගයේ ආසනික් කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 38ක් තිබෙන බවත් මන්ත්‍රී අනුර දිසානාක සඳහන් කළේය. ලෙඩ් කිලෝවකට මිලි ග්‍රෑම් 49ක් තිබී සොයාගත් බවද ඔහු පැවසුවේය.
මෙම ජාවාරමට සම්බන්ධවුණු ඇමතිවරුන්, නිලධාරීන් ගණනාවකගේ මල්ල තරවූ බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය මෙය බවද සඳහන් කළේය. මෙම පොහොර ප්‍රමිතියෙන් තොර බවද ඔහු පැවසුවේය.
කාබනික පොහොර ගැන තිබූ ඉතාමත් පැහැදිලි නිරවුල් විශ්වාසය මේ වැඩපිළිවෙළ නිසා විනාශවූ බවත් රටේ කෘෂිකර්මාන්තය මෙම අර්බුදය නිසා
අගාධයකට ඇද වැටුණු බවත් ජවිපෙ නායක අනුර දිසානායක සඳහන් කළේය.
රටේ ආර්ථික විනාශය පිටුපස සිටින්නේ පී.බී ජයසුන්දර බව පැවසූ මන්ත්‍රීවරයා අද රටේ සිටින්නේ පී.බී ජයසුන්දර පිටුපස නැටවෙන ජනාධිපතිවරයකු බවද සඳහන් කළේය. ඒ වගේම රටේ ඉන්නේ පී.බී ජයසුන්දරගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරන අගමැතිවරයකු බවද ඔහු පැවසීය
පී.බීගේ එකම සුදුසුකම පවුලකට සල්ලි දෙන එක යැයිද පවුලේ අය සල්ලි ඉල්ලුවම ඔහු කොහෙන් හරි හොයා ඒ මුදල් ලබා දෙන්නේ යැයිද අනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු රටේ අනෙක් ප්‍රශ්න ගැන නොබලන බවද මේ ගනුදෙනු පිටිපස පී.බී ජයසුන්දර සිටින බවත් ඔහු මෙම පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් මහජන බැංකුවට අවස්ථා දෙකකදී කතා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.










