පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 05කට පසු අම්පාර සයින්දුමරුදු හී නිවෙසක් ආරක්ෂක අංශ පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එහි සිදුවූ පිපිරීමෙන් මිය ගිය අය අතර සැබෑ ලෙසම පුලස්තිනි රාජේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් සිටියේ දැයි සැකයට තුඩුදෙන කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කරන විමර්ශනවලදි අනාවරණය වී ඇති බැවින් සිවුවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවත් සිදු කිරීමට අවධානය යොමුව ඇතැයි පොලිස් අභ්‍යන්තර තොරතුරු සඳහන් කළේය.Sri Lanka Latest News
සාරා ජෙස්මින් මිය ගොස් නැති බව ඩී.එන්.ඒ. වාර්තා දෙකක් ඇති අතර එම වාර්තාවන්ට අභියෝග කරමින් කළ තෙවැනි ඩී.එන්.ඒ. වාර්තාවෙන් සහරා ජෙස්මින් මියගොස් ඇති බව සඳහන් විණි.
එසේ වුවත් මේ වන විට සිදුකරන විමර්ශන ඔස්සේ අනාවරණය වෙමින් ඇති තොරතුරුවලට අනුව එම ඩී.එන්.ඒ. වාර්තාව සම්බන්ධයෙන් පවා මතබේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (09) ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණයක් සිදු කළේය.
දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සහරාන් ඇතුළු අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර සිය ගණනක් ඝාතනය කිරීමෙන් දින 05කට පසු සයින්දුමරුදු නිවෙසේ පිපිරුම සිදුවිය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන්ගේ බිරිය සහ දරුවන්ද, සහරාන්ගේ සහෝදරයන්ද, සහරාන්ගේ මවුපියන්ද, කටුවපිටිය දේවස්ථානය තුළ මරාගෙන මැරුණු බෝම්බකරු වූ මොහොමඩ් හස්තූන්ගේ බිරිය වූ සාරා ජෙස්මින් ඇතුළු 19 දෙනෙක් එම නිවෙසේ එම පිපිරුම සිදුවන විට රැඳී සිටි බවට තොරතුරු විය. මීගමුවේ නිවෙසක රැඳී සිටි ඔවුන් අම්පාරට පැමිණි බවට ලොරි රථ රියැදුරෙකුගෙන් ලද තොරතුරක් ඔස්සේ බුද්ධි අංශ සහ පොලීසිය කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සයින්දුමරුදු නිවෙස ගැන තොරතුරු හෙළි වී තිබිණි. එම නිවෙස ආරක්ෂක අංශ 2019 වසරේ අප්‍රේල් 26 වැනිදා රාත්‍රී කාලයේ වටලන විට වෙඩි හුවමාරු පවා සිදුවිය. අවසානයේදී සියල්ල නිහඬ වන්නේ නිවෙස තුළ සිදු වූ විශාල පිපිරුමකින් අනතුරුවය. ආරක්ෂක අංශ පසුදින කළ සෝදිසියකදී සහරාන්ගේ බිරිය කාදියා සහ ඇගේ දියණියක් නිරුපද්‍රිතව එහි සිටියදී සොයා ගන්නා ලදි. සෙසු 17 දෙනාම පිපිරුමෙන් සහ වෙඩි ප්‍රහාර හමුවේ මියගොස් සිටියේය.
මළ සිරුරු එකින් එක පරීක්ෂා කිරීමේදී වැඩිහිටි මළ සිරුරු 06ක්, වැඩිහිටි මළ සිරුරු කොටස් 04 සහ දරුවන්ගේ සිරුරු 06ක් සොයා ගන්නා ලදි. එම සිරුරු අතර සාරා ජෙස්මින්ගේ සිරුර හෝ කොටස් පැහැදිලිවම හඳුනා ගන්නට නොවීය. නිවෙස තුළ රැඳී සිටි අත දරුවන්ගේ ද සිරුරු හඳුනා ගැනීමට හැකි තරමට තිබුණත් සාරා ජෙස්මින්ගේ සිරුරේ කොටසක්වත් පැහැදිලිවම හඳුනාගැනීමට තරම් නොවීය. සෑම සිරුරක් හා සිරුරු කොටසක්ම අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් රැස්කළ අතර අධිකරණ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණයට ද ඒ සියල්ල ලක්කරනු ලැබීය. එම අවස්ථාවේදී ආරක්ෂක අංශවල නිල ප්‍රකාශවල පවා කියැවුණේ මෙම බෝම්බ පිපිරුමෙන් 16 දෙනෙක් පමණක් මියගොස් ඇති බවයි. සම්පූර්ණ සිරුරු වශයෙන් තිබුණු මළ සිරුරු සහ සිරුරු කොටස්වල සාම්පල් 26ක් ඒ අනුව 2019 වසරේ මැයි 02 දා ඩී.එන්.ඒ. පරීක්ෂාවකට යොමුකරනු ලබන්නේ මියගිය අය පැහැදිලිවම හඳුනා ගැනීම සඳහාය. මෙහිදී සාරා ජෙස්මින් හඳුනා ගැනීම සඳහා යොදා ගනු ලබන්නේ ඇගේ මවගේ ජෛව සාම්පල්ය. ඒ මවත් දරුවත් අතර, ඇති ඩී.එන්.ඒ. රටාව ඔස්සේ ඇයව හඳුනා ගන්නටය.
එම ඩී.එන්.ඒ. පරීක්ෂාවේදී සාරා ජෙස්මින් හැර මියගිය 16 දෙනාගේම අනන්‍යතාවය හඳුනාගනු ලැබීය. ඒ අය අතර සාරා ජෙස්මින් නොමැති වූ බැවින් නැවත වරක් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකිරීමට තීරණය වන්නේ, සාරා ජෙස්මින් සැබෑ ලෙසම මියගොස් තිබේ දැයි සැකහැර තහවුරු කර ගැනීමටය. ඒ අනුව සිරුරු සහ සිරුරු කොටස් නැවත ගොඩගෙන සාම්පල් ලබා ගැනීමට පියවර ගන්නේ 2019 වසරේ ජූනි 07 වැනිදාය. එහිදී ද තහවුරු වන්නේ සහරා ජෙස්මින් මියගොස් ඇති පිරිස අතර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විභාගයේදී පවා ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය විය. සාරා ජෙස්මින් පිපිරුම වූ ස්ථානයේ රැඳී සිටි බව මෙන්ම ඇය පිපිරුමෙන් ජීවිතක්ෂයට පත්නොවී ඇති බව පවා කොමිෂන් සභාවේ සාක්ෂි විමසීමේදී අනාවරණය විය. සහරාන්ගේ බිරිය කාදියා ලබාදුන් සාක්ෂිවලින් පවා පෙනී ගියේ සාරා ජෙස්මින් බෝම්බ පිපිරුමෙන් පසු ජීවතුන් අතර සිටි බවයි. ඇය කලවංචිකුඩිහී පිහිටි ඇගේ මහගෙදර ඇතුළු නිවාස 04ක බෝම්බ පිපිරුමෙන් පසු රැඳී සිට ඇති බවට පවා සැකකරන තොරතුරු පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ලබාගත් සාක්ෂිවලින් පෙනී ගියේය. ඒ අතර කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතාට ලද තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේද සහාය ඇතිව කළ විමර්ශනයකදි හෙළිවූ තොරතුරු මත අම්පාර පොලිස් ගරාජයේ සේවයේ නිරතව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගනු ලබන්නේ සාරා ජෙස්මින් කලවංචිකුඩි සිට කැබ් රථයකින් රැගෙන ගිය බවට වූ තොරතුරක් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේදි දීර්ඝ ලෙස සාක්ෂි විමසීමක්ද කරනු ලැබීය.
සාරා ජෙස්මින් සම්බන්ධයෙන් එසේ ආන්දෝලනාත්මක තොරතුරු හෙළිවෙමින් තිබියදී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එතෙක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විමර්ශන කණ්ඩායම්වල වෙනසක් සිදුවන්නේ එහි ඉහළ පුටු ද සමගිනි. ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නට යෙදුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත් කණ්ඩායම අලුත් මතයක් ඉදිරිපත් කරනු ලබන්නේ සයින්දුමරුදු පිපුරුමෙන් මියගිය අය සම්බන්ධයෙන් නිසි ලෙස ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර නැති බවයි. පිපිරුම වූ භූමියේ සීසීකඩ විසිරී තිබුණු මිය ගිය අයගේ බඩවැල් ඇතුළු කොටස් වෙනම බෑගයක දමා වළදැමූ බවත් එම කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදු නොකළ බැවින් එම කොටස්ද ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමු කළ යුතු බව අලුත් විමර්ශන කණ්ඩායම මතයක් පළකරන්නට විය. ඒ අනුව අම්පාර පොදු සුසාන භූමියේ වළදමා තිබුණු සිරුරු සහ සිරුරු කොටස් සමඟ බඩවැල් ඇතුළු කොටස් ඇති පාර්සලය ගොඩගනු ලබන්නේ අධිකරණ නියෝගයකිනි. 2022 වසරේ අප්‍රේල් 27 වැනිදා එම සිරුරු සහ සිරුරු කොටස්වලින් මෙන්ම බෑගයේ තිබුණු කොටස්ද සමඟ ඩී.එන්.ඒ. පරීක්ෂාවන් සඳහා ජෛව සාම්පල් 83ක් ලබාගන්නේ කල්මුණේ මහේස්ත්‍රාත්, අධිකරණ වෛද්‍යවරු රජයේ රස පරීක්ෂක කාර්යාල නිලධාරීන් මෙන්ම මේ මරණ සම්බන්ධයෙන් මුල් විමර්ශන පැවැත්වූ අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ඉදිරියේදීය.
සාරා ජෙස්මින්ගේ ජෛව සාම්පල් එවර සිදුකළ තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයෙන් ඇගේ මවගේ ජෛව සාම්පල් හා සැසඳෙන බවට වූ තොරතුරු එකල පැවති ආණ්ඩුවේ දේශපාලනඥයන් මඟින් කියැවෙන්නට වූයේත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිල වශයෙන් මාධ්‍යට ඒ බව නිවේදනයකින් නිකුත් කරන්නට වූයේත් අධිකරණයට එම වාර්තාව ලබාදීමටත් පෙරය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සාරා ජෙස්මින් මියගොස් ඇති බව ඩී.එන්.ඒ. පරීක්ෂාවෙන් තහවුරු වන බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලබන්නේ 2023 වසරේ මාර්තු 29 වැනිදාය. ඒ මව සහ දරුවා අතර ජෛව සම්බන්ධය සියයට 99.9999කින් තහවුරුවී ඇති බව ද සඳහන් කරමිනි.
සාරා ජෙස්මින් මියගොස් ඇති බවට වූ තෙවැනි ඩී.එන්.ඒ. වාර්තාව පදනම් කරගෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ජනපති කොමිෂන් සභාව හමුවේ එකල අම්පාර කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා වූ සාමන්ත විජේසේකර මහතා සාරා ජෙස්මින් මියගොස් ඇති බවට තහවුරු වීමක් එතෙක් කළ විමර්ශනවලින් සිදුව නොමැති බව සාක්ෂි ලබාදීමක් පවා සිදුකර තිබියදීය. එම සාක්ෂිය ඔහු ලබාදෙන්නේ 2020 ජූනි 21 වැනිදාය. සයින්දුමරුදු පිපිරුමෙන් පසු එම ස්ථානයේ තිබී සාරා ජෙස්මින්ට අයත් මුදල් පසුම්බිය පවා සොයා ගන්නේ මෙම නිලධාරියා විසිනි. ඒ සම්බන්ධයෙන්ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී ඇත. මේ වන විට ඔහු සේවයේ නිරතව සිටින්නේ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසිනි.
තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකරනු ලබන්නේ සයින්දුමරුදු පිපිරුමෙන් සාරා ජෙස්මින් මියගොස් නොමැති බව කියැවෙන විටදීය. තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවේදී සාරා ජෙස්මින් මියගොස් ඇති බවට තහවුරු වන්නේ යැයි කියැවෙන්නේ 2022 වසරේ අප්‍රේල් 27 වැනිදා ලබාගත් සාම්පල් 83 අතර තිබුණා යැයි කියැවෙන මිනිස් කොඳුඇට පෙළක අවසන් පුරුක ඇට කැබැල්ලක ඩී.එන්.ඒ. රටාව සාරා ජෙස්මින්ගේ මවගේ ඩී.එන්.ඒ. රටාව හා සැසඳීම හේතුවෙනි. මේ වන විට පවතින විමර්ශන තත්ත්වය හමුවේ මතබේදයට තුඩුදී ඇත්තේ එම ඇට කැබැල්ලය. ඒ සම්බන්ධයෙන් මෙම ජෛව සාම්පල් ලබා ගැනීමට කටයුතු කළ අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන්කරගෙන ඇත. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා දී ඇති ප්රකාශයන්වලට අනුව එම ඇට කැබැල්ල සම්බන්ධයෙන් පවා ගැටලු සහගත තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂාව සිදුකළ රජයේ රස පරීක්ෂක කාර්යාලයෙන් එම ඇට කැබැල්ල සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසා තිබේ. ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා යොදාගත් එම ඇට කැබැල්ල රස පරීක්ෂක කාර්යාලයෙන් මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. සාරා ජෙස්මින් මියගිය බව තහවුරු කළ තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා යොදාගත් සෙසු ජෛව සාම්පල් තිබියදී එම ඇට කැබැල්ල මේ දක්වා සොයා ගැනීමට නොමැතිවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම්වලට ගැටලුවක් මතුවී තිබේ. ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් තොරතුරු විමසීමක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර තිබේ. එහිදී ලැබී ඇති පිළිතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සෑහීමකට ද පත්ව නැත.
අධිකරණ වෛද්‍යවරයා එම ඇට කැබැල්ල සම්බන්ධයෙන් මතුකර ඇති ගැටලු සහගත තත්ත්වය සහ ඩී.එන්.ඒ. පරීක්ෂාවට යොදාගත් බව කියන එම ඇට කැබැල්ල සම්බන්ධයෙන් ඇතිව තිබෙන ප්‍රශ්නගත තත්ත්වය මත නැවත ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකර සහරා ජෙස්මින් සැබෑ ලෙසම මියගොස් තිබේදැයි සැකහැර වෙනත් විකල්පයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් විමර්ශන නිලධාරින්ට නැති තරම්ය. ඩී.එන්.ඒ. පරීක්ෂා කිරීම් දෙකකින්ම සයින්දුමරුදු පිපිරුමෙන් මියගිය අය අතර, සාරා නොමැති බව තහවුරුවන විට එම ඩී.එන්.ඒ වාර්තා පිළිනොගෙන සාරා මියගොස් ඇතැයි දිගින් දිගටම මත ඉදිරිපත් කරන්නට වූයේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේය. තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවට අවශ්‍ය පසුබිම පවා සකස්කරන්නේ එම ආණ්ඩුවේ දේශපාලනඥයන්ය. ඒ අය කල්තියාම පළමු හා දෙවැනි ඩී.එන්.ඒ. වාර්තාවල අඩුපාඩු ඇති බව පවසමින් සාරා මියගොස් ඇති බවට මත ඉදිරිපත් කරන්නට විය. එතෙක් පාස්කු විමර්ශනවලට සම්බන්ධව සිටි නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර හතර වටේ මාරුකර යැවීමෙන් අනතුරුව අලුත් විමර්ශන කණ්ඩායමක් පත් කිරීමෙන් අනතුරුව තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයට පාර කපා තිබිණි. අතදරුවාගේ සිරුර පවා හඳුනා ගැනීමට හැකි තරමට සයින්දුමර්දු පිපිරුමෙන් පසු හැකියාව තිබුණ ද, සාරා ජෙස්මින්ගේ සිරුර හෝ සිරුරේ කොටසක් වත් බැලූ බැල්මට එදා එහි නොවීය. තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාවෙන් සාරා මිය ගිය බවට තහවුරු කරන්නට පවා තිබී ඇත්තේ කුඩා ඇට කැබැල්ලක් පමණි. වත්මන් විමර්ශන කණ්ඩායම විද්‍යාත්මක සාක්ෂි ඇතුළු විවිධ සාක්ෂි සහ තොරතුරු පදනම්කරගෙන ප්‍රශ්නගත කරනු ලබන්නේ සයින්දුමර්දු පිපිරුමෙන් සාරාගේ සිරුර වාෂ්ප වන ලෙස හානියක් කිසිසේත්ම සිදුවිය නොහැකි බවයි. තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා මිනී වළවල් හාරා සොයාගත් සාරාගේ යැයි කියැවෙන කුඩා ඇට කැබැල්ල හැරුණු කොට සාරාගේ යැයි හඳුනාගන්නට තවත් ඇට කැබිලි එහි තිබේදැයි යන්න ගැන පවා ඇත්තේ සැකයකි. පිපිරුමෙන් සාරා වාෂ්ප වන්නටත් සෙසු සෑම සිරුරක්ම හඳුනා ගැනීමට හැකි වන ආකාරයට පිපිරුමෙන් හානි වී තිබීමත් සැබෑ ලෙසම එම පිපිරුමෙන් සාරා ජෙස්මින් මිය ගියේ දැයි අදටත් ඇතිකර තිබෙන්නේ ප්‍රශ්න ගත තත්ත්වයකි.
ගයාන් කුමාර විරසිංහ -දිනමිණ










