ප්‍රවීන ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය කළේ 1989 ජුලි 31 අද වැනි දිනකය.Sri Lanka Latest News
ප්‍රේමකීර්ති අල්විස් සියලු හැකියාවකින් පරිපූර්ණ මාධ්‍යවේදියෙකි. මරදානේදී 1947 ජුලි 03 සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් උපන්නේය. ඔහුගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඝාතනය වන විට දෙදරු පියෙකි. සුරංගි අල්විස් දියණිය වූ අතර සහ සම්පත් අල්විස් පුත්‍රයා විය. ඔහු 1989 ජුලි 31 පස්වරු 8.30ට ඝාතනය වන විට 42 හැවිරිදිය. බිරිඳ වූයේ නිර්මලා අල්විස්ය. පුතු සම්පත්ගේ වයස ඒ වන විට මාස 11කි. රජරට සේවයේ සිට කොළඹට පැමිණි ප්‍රේමකීර්ති විසින් සිදු කල ප්‍රවෘත්තිමය වැඩසටහන සහ රූපවාහිනි සැරිසර වැඩසටහන එකල අතිශයින් ජනප්‍රිය විය.
ප්‍රේමකීර්ති ගුවන්විදුලියේ සහන නිවේදකයෙකු ලෙස 1967 දෙසැම්බර් 17 බැදුණු අතර ඝාතනය වන විට ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් සම්පාදකවරයෙකි. එකල ප්‍රේමකීර්ති සහ බණ්ඩාර විජේතුංග ඇතුළු ගුවන්විදුලි සහ සිනමා කලාකරුවන් සමඟ නාරාහේන්පිට රන්දෝලියේ සහ නුගේගොඩ පුබුදුහි නිරතුරුව හමු වූ අයුරු ලේඛකයාට තවමත් මතකය. ප්‍රේමකීර්තිගේ ආදාහනයට බොරැල්ල කනත්තේදී ලේඛකයා සහභාගි විය. ඒ බොහෝ අය ඊට සභාගීවීමට පවා බිය ගත් කාලයකි.
හෝමාගම කටුවාන පාරේ නිවසින් පැහැර ගත් ප්‍රේමකීර්ති ද අල්විස් ප්‍රශ්න කිරීම සඳහා යැයි කියමින් කැරළිකරුවන් ඔහු මහ මගට ගෙන ගොස් හෝමාගම හන්දියට යාබදව වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් 1992 දෙසැම්බර් 17 කොළඹ මහාධිකරණය සමන් ප්‍රියංකර ගමගේ නැමති පුද්ගලයෙකුට දඬුවම් ලබාදී තිබේ. සමන් ප්‍රියංකර ගමගේට ඒ අනුව බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.
ජවිපෙ 2වැනි කැරළි සමය අවසන් වන විට එනම් 1986 සිට 1990 දක්වා මාධ්‍යවේදී 16ක් ඝාතනය වූ අතර 100කට ආසන්න සංඛ්‍යාවකට පැහැරගෙන යෑම්, ප්‍රහාරයන්, වධ බන්ධන, තර්ජන, බලපෑම්, රැකියා අහිමිවීම්, දේශපාලන රැකවරණය පතා විදේශගත වීම් ඇතුළු බොහෝ තාඩන පීඩන වලට මුහුණ දීමට සිදුවිය. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 16 දෙනා ගෙන් ජවිපෙ කැරළිකරුවන් විසින් 9 දෙනෙකුද අතුරු හමුදා කණ්ඩායම් සහ ප්‍රා සංවිධානය මගින් 7දෙනෙකුද ඝාතනය කල බවට චෝදනා විය.
ස්වාධීන රූපවාහිනියේ නිසි බලධාරි සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති තනතුර මෙන්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරද හෙබ වූ තේවිස් ගුරුගේ කැරළිකරුවන් විසින් ඝාතනය කළේ 1989 ජුලි 23ය. නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ පාලම මතින් උදෑසන වෙළෙඳසැලකට තනිවම යමින් සිටියදී 65 හැවිරිදි ඔහු මරා දමා තිබිණි. තේවිස් ගුරුගේ එසේ ගියේ උදෑසන සිය ආහාරය සඳහා ආප්ප ගෙන ඒමටය. ටී.56 ස්වයංක්‍රීය ආයුධයකින් වෙඩි තැබීම සිදුකල අතර වෙඩි උණ්ඩ 5ක් ඔහුගේ සිරුරේ විය. ගුරුගේ හදිසි නීතිය යටතේ පැන වූ පුවත් වාරණයේ බලධාරියා වශයෙන් පත්වූයේ 1989 ජුලි 5දාය.
දකුණු ආසියාවේ පැරණිතම ගුවන්විදුලිය වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එකල රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ අතර එහි දෙවැනි නිවේදකයා වුයේ 1949දී බැදුණු තේවිස් ගුරුගේය. ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ඔහු මාධ්‍යවේදීන් අතර ඉතා ජනප්‍රිය පාලකයෙකු විය. පසුව 1983දි ඉන් විශ්‍රාම ලැබිය. පසුකාලීන ප්‍රකට ගුවන්විදුලි මාධ්‍යවේදීන් වූ බොහෝ දෙනාගේ ගුරුවරයා ඔහුය. තේවිස් ගුරුගේ ආදානය බොරැල්ල කනන්තේදී 1989 ජුලි 25 සිදුකරන ලදී.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘවරයා වූ කුලසිරි අමරතුංග වෙඩිතබා ඝාතනය කළේ 1989 අගෝස්තු මස 13ය. ඒ රත්මලානේ ධර්මාරාම පාරේ සිය නිවසේ උදෑසන 8.35ටය. කැරළිකරුවන් දෙදෙනෙකු නිවසට ඇතුළු වී දුරකථනයේ වයර් කපා උරයේ එල්ලා තිබූ බෑගය ඇර මිලිමීටර් 7 රිවෝල්වරයකින් ඔහුට වෙඩි තබා මරා දමා තිබිණි. කැරළිකරුවන් පැමිණෙන විට කුලසිරි අමරසිංහ පුවත්පතක් බලමින් සිටි අතර වෙඩි තැබූ පසු කැරළිකරුවන් පාපැදියක නැගී කෙටි දුරක් ගොස් යතුරුපැදිවලට නැග පලා ගියහ.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වශයෙන් සේවය කල ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ කුලසිරි අමරතුංග මිය යන විට 55හැවිරිදි දෙදරු පියෙකි. එතෙර රටවල් ගණනාවක ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔහු සේවය කර තිබිණි. ලාංකේය රේඩියෝ නාට්‍ය කලාවේ පදනම ශක්තිමත් කල ඔහු නෙවිල් ජයවීරගේ සරසවි මිතුරෙකුද විය. ඉතිහාසය සහ දර්ශනවාදය පිළිබදව ඔහුට පුළුල් දැනුමක් තිබිණි. ගුවන්විදුලිය තරංගනී සඟරාවේද කලක ඔහු කතුවරයා වශයෙන් සේවය කළේය.
ගුවන්විදුලියේ සිවි දෙනෙකු කැරළිකරුවන්ගේ ඝාතන ලැයිස්තුවේ විය. ඒ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් හඩ්සන් සමරසිංහ, ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානි පාලිත පෙරේරා, වැඩසටහන් නිෂ්පාදක ප්‍රේමකීර්ති ද අල්විස්, ගුවන්විදුලි පුහුණු ආයතනයේ වසන්ත ලංකාතිලකය. මරණ තර්ජන වලින් බේරීමට හඩ්සන් සමරසිංහ වැල්ලවත්තේ ඔමිගා ඉන් හෝටලය ඇතුළු ස්ථාන කිහිපයක නවාතැන් ගත් අතර පාලිත පෙරේරා රුක්මල්ගම සිය නිවස අතහැර ගොස් තිබිණි. වසන්ත ලංකාතිලක දෙමටගොඩ නිවසින් බැහැර විය. ප්‍රේමකීර්ති ද අල්විස් පමණක් සිය වාසස්ථානය වෙනස් නොකලේය. පාලිත පෙරේරා නෑකමින් ප්‍රේමකීර්තිගේ බාප්පාය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න










