තමන් නිවැරදිව නොදන්නා ඉංග්‍රීසි බසින් ජාත්‍යන්තර සමුළු ඇමතීම තුළින් අපහසුවට පත්වූ දේශපාලන නායකයන් පිළිබඳ කතිකාවක් මේ දිනවල සමාජගතවී ඇත. මෙවන් වූ කාර්යයකදී තමන් හට නිවැරදි ඉංග්‍රීසි කථනය පිළිබඳ ස්වයං විශ්වාසයක් නොමැති නම් ඒ සඳහා භාෂා පරිවර්තක සහාය ලබාගැනීමේ හැකියාව වර්තමානයේ වේ.
එනමුත් හැට හැත්තෑව දශකයේ ජාත්‍යන්තර සමුළු ක්‍රියාකාරීත්වයේදී ලොව ඇමතූ ජාත්‍යන්තරව පිළිගත් භාෂාවන් පමණක් භාවිත කළ අතර, එහිදී බහුතර භාවිතය වූයේ ඉංග්‍රීසි භාෂාවයි. ඒ අනුව එවක වූ කවර හෝ ජාත්‍යන්තර සමුළුවක ශ්‍රී ලාංකික නියෝජනය, ඉංග්‍රීසි දැනුම හා කථන හැකියාවෙන් පරිපූර්ණ විය. Sri Lanka Latest News
ස්වකීය උත්සාහයෙන් ඉංග්‍රීසි දැනුම ප්‍රගුණ කිරීම
ප්‍රේමදාස මහතා සිංහල බසින් අධ්‍යාපන දැනුම ලබා සිය සමාජ මෙහෙවර සහ දේශපාලන කාර්යයන් සඳහා ප්‍රවිෂ්ට වීමෙන් පසු ඉංග්‍රීසි දැනුම ප්‍රගුණ කළ නායකයෙකි. සිංහල බස පිළිබඳ හසළ දැනුමත් සමගින්, තමන් ජීවත් වූ කොළඹ පරිසරය තුළ ඇසුරු කළ එකල ද්‍රවිඩ හා මුස්ලිම් ජන සමාජ ඇසුරෙන් ප්‍රේමදාස මහතා ද්‍රවිඩ බස ප්‍රගුණ කළහ.
එමෙන්ම ඔහු සිය ඉංග්‍රීසි දැනුම, තම උත්සාහයෙන් ප්‍රගුණ කළ පුද්ගලයෙක් විය. 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් තරග කළ එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්වුවද, මැදකොළඹ පළමු මන්ත්‍රී ලෙසින් ජයග්‍රහණය කළේ ප්‍රේමදාස මහතාය.
මුල්ම විදෙස් සංචාරයේදී පොදුරද මඬුල්ලේ මුල් පුටුව
එම මහජන නියෝජනය හිමිවී මාස කිහිපයක් ගතවීමේදී ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සහභාගිත්වයෙන් අන්තර් පාර්ලිමේන්තු සමුළුව ඔස්ටේ්‍රලියාවේ පැවැති අතර, ඒ සඳහා විපක්ෂ නියෝජිතයකු ලෙසින් ප්‍රේමදාස මහතා නම් විය.
එහිදී අදහස් දැක්වීමේදී ප්‍රේමදාස මහතා සිදුකළ විශේෂිත සඳහනක් වූයේ ‘පාර්ලිමේන්තු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ, මහජන නියෝජිත කාර්යභාරය’ පිළිබඳවයි. මෙම සමුළුව ඔහුගේ ප්‍රථම ජාත්‍යන්තර සමුළු සහභාගිත්වය විය. එවක සමුළුව සඳහා ඔහු දැක්වූ ක්‍රියාශීලී සහභාගිත්වය හේතුවෙන් මෙම සමුළු සැසියේ සභාපති ධුරයට ප්‍රේමදාස මහතා තේරී පත්විය. එය සැබෑ ලෙසින්ම විරල ගෞරව හිමි වීමකි. විපක්ෂය නියෝජනය කරන ආධුනික මන්ත්‍රීවරයකු මෙවන් වූ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සැසිවාරයක සභාපති ධුරයට පත්වීම එතෙක් මෙතෙක් සිදුනොවුණු තරම් වේ.
මෙවන් වූ ජාත්‍යන්තර සම්මේලන හා විදෙස් නියෝජිතයන් මුණගැසීමේදී තම රටට හා ජනතාවට ඵලදායී අයුරින් කටයුතු කර තම රටට ගෞරවයක් හිමිකර ගැනීම ප්‍රේමදාස මහතාගේ නිරන්තර අභිප්‍රාය විය. එය ඔහු විසින් සනාථ කළ මතක රැඳුණු අවස්ථා කිහිපයකි.
1977 මැතිවරණ ජයග්‍රහණයෙන් නොබෝ දිනකින්, ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, කිසිදු නිශ්චිත බලයක් නොමැතිව අමාත්‍ය බලයට පමණක් සීමා වූ අගමැති ධුරය ප්‍රේමදාස මහතාට හිමිවිය. මෙම තනතුර සහ එයට හිමි බලය පිළිබඳ විවිධ වූ විවේචන පැවැතියද එයින් නොසැලුණු ප්‍රේමදාස මහතා, මෙරට තුළදී මෙන්ම ජාත්‍යන්තරය ඉදිරියේ පවා රටට ගෞරවයක් හිමිකරදෙන අයුරින් කටයුතු කළේය.
ජගත් සමුළුවේ ලෝක නායකයන්ට අභියෝගයක්
1980 වසරේදී ජාත්‍යන්තර නිවාස වසරක් පිළිබඳ යෝජනාව ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍යවරයා ලෙසින් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 35 වැනි සැසිවාරය සඳහා ඉදිරිපත් කරන ලදී. එකී යෝජනාවට අනුකූලව ‘1987 වසර නිවාස නැත්තවුන් සඳහා නිවාස සැපයීමේ ජාත්‍යන්තර නිවාස වසර’ ලෙසින් නම් විය.
ආසියාතික රටක් නියෝජනය කළ, විධායක නොවන රාජ්‍ය නායකයකු විසින් ජගත් නිවාස හා ජනාවාස ගැටලුව විසඳීම සඳහා ගෝලීය වශයෙන් ඵලදායී යෝජනාවක් ජගත් සංවිධානය වෙත ඉදිරිපත් වූ විරල අවස්ථාවක් ලෙසින්, මෙය හඳුන්වා දිය හැකි වේ. ජගත් සංවිධානයේ නායකයන්ට අනුකූලව මෙවන් වූ යෝජනා ඉදිරිපත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාන්‍ය සම්ප්‍රදායක් විය. එනමුත් එකී සම්ප්‍රදායෙන් බැහැර වෙමින්, සංවර්ධනය වන රටක් ලෙසින් ශ්‍රී ලංකාවේ ආත්ම ගෞරවය සුරකමින්, සංවර්ධිත රටවලට අභියෝග කරමින්, ප්‍රේමදාස මහතා එදින සිදුකළ ප්‍රකාශය මෙලෙසින් ජගත් යෝජනාවේ සඳහන් වේ.
‘සංවර්ධනය වන රටවලින් අප ඉල්ලා සිටිනුයේ ලෝක මට්ටමේ පුණ්‍යාධාර නොවේ. පුණ්‍යාධාර තුළින් දුප්පත්කම තුනී කළ හැකි යැයි අපි විශ්වාස නොකරමු. දුප්පත්කම දුරලිය හැක්කේ සූරාකෑම නැති කිරීමෙන් පමණි. සියලු දෙනාම හා සියලු රටවල් සමාන තත්ත්වයකට ගෙන ඒම කළ නොහැකිය. නමුත් සෑම දෙනකුටම සෑම රටකටම සමාන අවස්ථා ලබාදිය හැකිවේ.’
මෙකී යෝජනාව ඉදිරිපත් කිරීමත් සමගින්, ජාත්‍යන්තර මාධ්‍යයේ පුළුල් දැනුවත් වීමක් අගමැති ප්‍රේමදාස ප්‍රකාශය සඳහා හිමිවිය. එය ඔහු විසින් නිවාස වසරක් පිළිබඳ යෝජනාව පමණක් නොව, විශේෂයෙන් එදා ඔහු ජගත් සංවිධානය ඇමතීමේදී සංවර්ධිත රටවලට සිදුකළ අභියෝගයක් ද විය.
මෙවන් වූ ආකාරයට ජාත්‍යන්තර හමුවීම්වලදී නිර්භයව අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා, එවන් වූ අවස්ථාවකදී තම රටට ජනතාවට ඵලදායී වූ උපරිමය ඉටුකිරීමට නිරතුරුව උත්සාහ කළේය.
1979 වසරේ ජූලි මාසයේ සැම්බියාවේ ලුසාකා නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති ප්‍රේමදාස මහතා සහභාගි විය.
වික්ටෝරියා වේල්ල ඉදිකිරීමේ බි්‍රතාන්‍ය ආධාරය ලබාගැනීමට සමත් වේ
මහා බි්‍රතාන්‍යයේ අගමැති මාග්‍රට් තැචර් මහත්මියගේ මූලිකත්වයෙන් පැවැති මෙම රාජ්‍ය නායක සමුළුවේදී එහි සමුළු වගකීම් හැරුණුකොට අගමැති තැචර් මහත්මිය හමුවී එවක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත වූ මහවැලි ව්‍යාපාරයේ වික්ටෝරියා වේල්ල ඉදිකිරීම සඳහා ආධාර ලබාගැනීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාව පැවැත්වීමේ වගකීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් අගමැති ප්‍රේමදාස මහතා වෙත පැවරූ අතර, එකී සාකච්ඡාවන්, බි්‍රතාන්‍ය අගමැතිනිය සමගින් සාර්ථකව සිදුකර, වික්ටෝරියා වේල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය මුළු මුදල ආධාර මුදලක් ලෙසින් මහා බි්‍රතාන්‍යයෙන් ලබාගැනීමට ප්‍රේමදාස මහතා සමත් විය.
ඉංග්‍රීසි බස්වහර භාවිතය පිළිබඳ අත්දැකීම් සමගින් නොබියව එයට මුහුණ දීමේ දැඩි ආත්ම ශක්තියක් ප්‍රේමදාස මහතා සතු විය. එවන් වූ තත්ත්වයක් තුළ අභියෝග සඳහා නිරතුරුව මුහුණ දුන් ප්‍රේමදාස මහතා, 1983 වසරේ අප්‍රේල් මස 13 දිනදී, ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. පුවත්පත් සමාජයේ මාධ්‍ය හමුවීම සඳහා සහභාගි වූ අතර, ප්‍රවීණ ජගත් කීර්තිධර මාධ්‍යවේදීන් රැසකගේ නොනවතින ප්‍රශ්න කිරීම්වලට ඔහු සාර්ථක ලෙසින් මුහුණ දුන් බව, එම අවස්ථාව ආවරණය කළ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබිණි. සෙසු කාර්යයන්හිදී මෙන්ම මාධ්‍යකරණයේදී නව අභියෝග සඳහා මුහුණ දෙමින් එය ජයගැනීම සඳහා ප්‍රේමදාස මහතා නිරතුරුව උත්සුක විය.
ටෙලිප්‍රොම්ප්ටර් භාවිතයේ මුල්ම ශ්‍රී ලාංකිකයා
80 දශකය ආරම්භයේදී බටහිර රටවල රාජ්‍ය නායකයන් විද්‍යුත් කථන යන්ත්‍ර හෙවත් ‘ටෙලිප්‍රොම්ප්ටර්’ (ඔැකැචරදපචඑැර) භාවිත කරන ලදී. මනා තාක්ෂණික භාවිතයකින් හා පුහුණුවකින් පසු මෙම උපකරණ භාවිතයෙන් තමන්ට අවශ්‍ය කතාව වඩාත් නිවැරදිව මෙමගින් ප්‍රකාශ කළ හැකිවේ.
1985 වසරේ අප්‍රේල් මස ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ ජනාවාස කොමිසමේ වාර්ෂික සැසිවාරයේදී අගමැති ප්‍රේමදාස මහතා සමුළුව ඇමතීම මෙම ටෙලිප්‍රොම්ප්ටර් භාවිතයෙන් සිදුකළ අතර, මෙරට රාජ්‍ය නායකයකු ටෙලිප්‍රොම්ප්ටර් භාවිතයෙන් ජාත්‍යන්තර සමුළුවක් ඇමතූ මුල්ම අවස්ථාව මෙය වේ.
බලයක් නොමැති අගමැති ලෙසින්, සාර්ථක විදෙස් රාජ්‍ය නායක හමුව
ප්‍රේමදාස මහතා තමන් අග්‍රාමාත්‍ය ධුරය දරමින් විදෙස් සංචාරයන්හි නිරත වූ සෑම අවස්ථාවකදීම සිය සංචාරක රාජ්‍යයේ ඉහළ විධායකයා මුණගැසී තම රටට සහ ජනතාව වෙනුවෙන් කවර හෝ සහයක් හිමිකර ගත්තේය. ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වී මුල්ම චීන රාජ්‍ය සංචාරය 1979 වසරේ අගෝස්තු මාසයේදී සිදුවිය. එම අවස්ථාවේදී චීන ජනරජ සමූහාණ්ඩුවේ සභාපති හුවා ගොෆෙං මහතා හමුවී සාකච්ඡා කිරීමට අගමැති ප්‍රේමදාස මහතාට අවස්ථාව හිමිවිය.
ඉහත සඳහන් අයුරින් 1979 වසරේ, ජූලි මස සැම්බියාවේ ලුසාකා නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ප්‍රේමදාස මහතා ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම මෙහෙයවමින් සහභාගි වූ අතර, එකී සමුළුවේ සභාපති ධුරය දැරූ මහා බි්‍රතාන්‍යයේ අගමැති මාග්‍රට් තැචර් මහත්මිය සමගින්, සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් මහවැලි වික්ටෝරියා වේල්ල ඉදිකරලීම සඳහා මුළු වියදම රාජ්‍ය ආධාර මුදලක් ලෙසින් ලබා ගැනීමට ප්‍රේමදාස මහතා සමත් විය.
එමෙන්ම 1980 වසරේ මුල්වරට ප්‍රේමදාස මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සමුළුව අමතා කතා කරමින් ජාත්‍යන්තර නිවාස වසර යෝජනාව ඉදිරිපත් කිරීමත් සමගින් ලෝක රාජ්‍ය නායකත්වයේ ආකර්ෂණය ශ්‍රී ලංකාවට යොමුවිය.
එහිදී සිදු වූ සුවිශේෂ සිදුවීම වූයේ, එවක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ආචාර්ය කර්ට් වෝල්ඩ්හයිම් මහතා, ප්‍රේමදාස මහතා පෞද්ගලිකව හමුවී ජගත් නිවාස යෝජනාව සඳහා ස්තුතිය පළ කිරීමයි.
අසූව දශකය ආරම්භයේ ආසියාකරයේ වඩාත් ආකර්ෂණීය නායකත්වයක් එවක ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය සතු විය. කලාපීය බලය සමගින් ඉන්දියානු ශක්තිය පිළිබඳ සෙසු රටවල රාජ්‍ය නායකත්වයට සමගාමීව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයේ එකඟතාවන් බොහෝ දුරට ගොඩනැගී තිබුණද, මෙරට ජනවාර්ගික ගැටලුව වැනි අභියෝගවලදී ඉන්දියානු ප්‍රතිපත්තිය පිළිබඳ සිය අවංක අදහස ප්‍රේමදාස මහතා නිර්භයව ප්‍රකාශ කළේය. මෙය වඩාත් නිවැරදිව වටහාගත් ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය, 1981 වසරේ ඔක්තෝබර් මාසයේ ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී අගමැති ප්‍රේමදාස මහතා සමගින් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වේ.
එදා මෙන් අදත්, කිසියම් වූ රටක රාජ්‍ය නායකත්වයකට වුවද ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීම පහසු කටයුත්තක් නොවේ. මෙවන් වූ අපහසු වූ අභියෝග සඳහා මුහුණ දී කෙසේ හෝ ජයගෙන, එහි උපරිම වාසිය සිය රට වැසියනට ලබාදීම ප්‍රේමදාස මහතාගේ නිරතුරු අධිෂ්ඨානය විය. එම අපේක්ෂාව ඉටුකරමින්, 1983 වසරේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙසින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වූ ප්‍රේමදාස මහතා, එවක ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා ධවල මන්දිරයේදී නිල වශයෙන් හමුවී සාකච්ඡා කළ අතර, එය, එදා අද කාලපරිච්ඡේදය තුළදී මෙරට අග්‍රාමාත්‍යවරයකු, වොෂින්ටනයේ ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයකු හමුවූ විරල අවස්ථාවක් ලෙසින් හඳුන්වා දිය හැකිවේ. මෙහිලා සඳහන් කරනු ලැබුවේ ප්‍රේමදාස මහතා අගමැති ධුරය දැරූ කාල පරිච්ඡේදය තුළදී ඔහු විසින් රාජ්‍යතාන්ත්‍රික ලෙසින් හමුවූ රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු පමණි.
මෙයට අමතරව ඔහු සිදුකළ විවිධ වූ රාජ්‍යතාන්ත්‍රික සංචාර හා සාකච්ඡාවලදී තවත් බොහෝ රාජ්‍ය නායකයන් හමුවීම සහ එමගින් මෙරටට ඵලදායී වූ දායකත්ව ලැබූ අවස්ථා බොහෝය.
ප්‍රේමදාස මහතා විධායක බලයක් නොමැති කැබිනට් අමාත්‍ය ධුරයක් දරමින් අගමැති ධුරයේ වසර දහයක (1978-1988) කාලයක් කටයුතු කළ අතර, මෙරට විධායක ජනාධිපති ධුරයට පත්වූ ඔහුගේ සේවය වසර පහකට (1989-1993) සීමා විය.
ප්‍රේමදාස මහතාගේ මෙම ද්විත්ව මෙහෙවර කාලය එකිනෙක සැසඳීමේදී ඔහු මෙරට ජන ජීවිතය නගාසිටුවීම සඳහා වඩාත් මතකයේ රැඳුණු සේවාවක් ඉටුකරනු ලැබුවේ, අගමැති ධුරය දැරූ කාලපරිච්ඡේදය තුළදී බව පෙනී යයි. එමෙන්ම ඔහු අගමැති ලෙසින් සිය මෙහෙවර ඉටුකිරීමේදී රටක ප්‍රධාන විධායක නායකත්වයට හිමි ගෞරවය හා ඇගයුම විදෙස් රාජ්‍ය නායකත්වයෙන් හිමිකර ගත්තේය.
එකී මෙහෙවර ඉටුකරලීම, 1988 වසරේ පැවැති අභියෝගාත්මක ජනාධිපති මැතිවරණයෙන් ප්‍රේමදාස මහතාට විශිෂ්ට ජනතා ජයග්‍රහණයක් හිමිකර දීමට බෙහෙවින් හේතු විය.

ලක්විජය සාගර පලන්සූරිය










