• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදාගම් 2500 හදන්න කලින් මම මැරුණොත් මගේ අළු මේ උදාගමේ තැන්පත් කරන්න! කියපු විදියටම ප්‍රේමදාසගේ භෂ්මාවශේෂ වියලුව වාසනාගම තැන්පත් කළා! ගම්උදා නිවාස සංකල්පය ඔළුවට ආවේ බඩල්ගම මිනිස්සු එක්ක සියඹලා ගහ යට කතාකරද්දී! විවෘත කරපු අන්තිම උදාගම නුවරළියේ 790 වැනි එකයි! තාත්තා නවත්තපු තැනින් පටන් අරන් සජිත් උදාගම්මාන 2500 සම්පූර්ණ කරලා තාත්තගේ හීනය සැබෑ කළා! ප්‍රේමදාස මහත්තයා ඉන්දියාවෙත් එක උදාගම්මානයක් හදලා විවෘත කළා! ගිය අවුරුදු 5ට කිසිම උදාගම්මානයක් හදලා නෑ! Sri Lanka Latest News

June 16, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
උදාගම් 2500 හදන්න කලින් මම මැරුණොත් මගේ අළු මේ උදාගමේ තැන්පත් කරන්න! කියපු විදියටම ප්‍රේමදාසගේ භෂ්මාවශේෂ වියලුව වාසනාගම තැන්පත් කළා! ගම්උදා නිවාස සංකල්පය ඔළුවට ආවේ බඩල්ගම මිනිස්සු එක්ක සියඹලා ගහ යට කතාකරද්දී! විවෘත කරපු අන්තිම උදාගම නුවරළියේ 790 වැනි එකයි! තාත්තා නවත්තපු තැනින් පටන් අරන් සජිත් උදාගම්මාන 2500 සම්පූර්ණ කරලා තාත්තගේ හීනය සැබෑ කළා! ප්‍රේමදාස මහත්තයා ඉන්දියාවෙත් එක උදාගම්මානයක් හදලා විවෘත කළා! ගිය අවුරුදු 5ට කිසිම උදාගම්මානයක් හදලා නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘හිතවත් සහෝදර සහෝදරියනි, අද මා ඉමහත් සතුටට පත්වූ දිනයක්. මෑතකදී අප ආරම්භ කළ උදාගම් ව්‍යාපාරය යටතේ පළමු වරට මෙම ගම්මානය තුළදී පමණක් නව නිවාස සියයක් ඉදිවුණා. මේ ගමේ නව නිවාස දුටු මොහතේ මා බෙහෙවින් සංවේදී වුණා. මේ ගම්මානය ගම්උදාව ව්‍යාපාරයේ නවවැනි උදාගමයි. ඒ වනවිට තමුන්නාන්සේලාගේ දායකත්වයෙන් මේ ‘වසනාගම’ තුළ නව නිවාස සියයක උදාව දැකගැනීමට අප වාසනාවන්ත වූවා. මගේ ප්‍රාර්ථනාව මේ උදාගම් ව්‍යාපාරයේ 2500 වැනි උදාගම මෙරට බිහිවන තුරු මා ජීවත් වීමයි. දෛවයේ සරදමකින් එම ප්‍රාර්ථනාව ඉටුවීමට පෙරදී මා දිවි තොරවීමක් සිදුවුවහොත්, මගේ සිරුරේ භෂ්මාවශේෂ මේ සුන්දර වූ භූමියේ තැන්පත් කරන්න…’
(වාසනාගම පෙම්දස් පැතුම)
Sri Lanka Latest News

අගමැති ආර්. ප්‍රේමදාස මහතා මෙම අදහස පළකළේ 1979 අප්‍රේල් මස 07 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව මැතිවරණ කොට්ඨාසයේ වාසනාගම ආදර්ශ ගම්මානය එම ගම්වැසි ජනතාව වෙත පුදකළ අවස්ථාවේදීය.

ප්‍රේමදාස මහතා ප්‍රාර්ථනා කළ පරිදි ඔහු දිවිය, උදගම් ව්‍යාපාරයේ දෙදහස් පන්සිය වැනි උදාගම උදාව තෙක් නොරැකුණු අතර, ඔහු දිවි ගමනින් සමුගැනීමට ප්‍රථම අවසන් ගම්මානය ලෙසින් උදාවූයේ, උදාගම් ව්‍යාපාරයේ 790 වැනි උදාගම ලෙසින් බිහිවූ නුවරඑළිය අඹගමුව කිරිවැල්හීන්ගමයි.

එහි උදාව සිදුවූයේ ප්‍රේමදාස මහතාගේ අභාවය සිදුවීමට දෙදිනකට ප්‍රථම 1993 අප්‍රේල් මස 29 දිනදීය. ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව ඉටුකරමින්, එතුමන් මියයෑමෙන් වසරක් ගතවීමට ප්‍රථම ප්‍රේමදාස මහතාගේ භෂ්මාවශේෂ වාසනාගම තැන්පත් කිරීම සිදුවිය.

එමෙන්ම කිසිවකු අපේක්ෂා නොකළ අයුරින්, ප්‍රේමදාස මහතාගේ ප්‍රාර්ථනය වූ උදාගම් දෙදහස් පන්සියයක උදාව, එම ව්‍යාපාරය ඇරඹි 1979 වසරට වසර හතළිහකට පසු, 2019 වසරේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පූරෝගාමීත්වයෙන් ක්‍රියාත්මක වූ ‘සැමට සෙවණ’ ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ සපුරාගැනීමට හැකි වීම සැබැවින්ම දෛවෝපගත සිදුවීමකි.

සිය පියාණන් විසින් ආදර්ශ ගම්මාන දෙදහස් පන්සියයක ඉලක්කයක සිටි බවට නිසි ලෙසින් දැනුවත් නොවුණු සජිත් ප්‍රේමදාස මහතාගේ එවක අභිප්‍රාය වූයේ, එවකට මෙරට පැවති ග්‍රාමීය නිවාස ගැටලුවට හැකිතාක් දුරට ආදර්ශ ගම්මාන වැඩසටහන තුළින් විසඳුම් සෙවීමයි.

ගම්මාන දෙදහස් පන්සියයේ ඉලක්කය
රාජ්‍ය අරමුදල් දායකත්වයෙන් ජනතාවගේ උපරිම සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ මෙකී වැඩසටහනේ සාර්ථකත්වය හේතුවෙන්, එදා පැවැති යහපාලන රාජ්‍ය සමය තුළ (2015 – 2019) දිවයින පුරා ආදර්ශ ගම්මාන 2562 ඉදිකිරීම් කාර්යයන් ආරම්භ කිරීමට හැකිවූ අතර, මෙම ගම්මාන තුළ නිවාස ප්‍රතිලාභී පවුල් ප්‍රමාණය 62,900කට එමගින් නිවාස හිමිකම ලැබිණි.

උදාගම් උදාව පිළිබඳ විද්වත් පර්යේෂණ බොහෝ සිදුවී තිබේ. ප්‍රේමදාස මහතා සිය සමාජ මෙහෙවර සහ දේශපාලන ක්‍රියාකාරම් හැටේ දශකයේදී පමණ ආරම්භ කොට ඇත්තේ, සිය ඇසුරේ සිටි කොළඹ නාගරික දුප්පතුන් සමගිනි. ඔවුන්ගේ සැබෑ දුපත්කම ඔවුන් ජීවත් වන පැල්පත තුළින් පිළිබිඹු වන බව මනාව තේරුම් ගත් ප්‍රේමදාස මහතා, 1977 වසරේ සිය මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛතම ජනතා පොරොන්දුවක් ලෙසින් ලබා දුන්නේ තමන් ජනතා බලය හිමිකර ගැනීමෙන් පසු ‘සැමට ජීවත් වීම සඳහා සුදුසු නිවසක අයිතිය’ ලබාදෙන බවයි.

77 ජනතා ජයග්‍රහණයෙන් පසු ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව වූයේ ජනතව වෙත ලබාදුන් නිවහනක හිමිකම පිළිබඳ අපේක්ෂාව ඉටුකිරීමයි. 1978 වසරේ පෙබරවාරි මස 23 දින අග්‍රාමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දුන් ප්‍රේමදාස මහතා මහාමාර්ග නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරයේ වගකීම්ද භාරගනු ලැබීය. එයට දින කිහිපයකට පසු එළැඹි අප්‍රේල් මස 01 දින කුරුණෑගල දිසාවේ සංචාරයක නිරත වූ ප්‍රේමදාස මහතා, යාපහුව ප්‍රදේශයේ ගමන් කරන අවස්ථාවකදී බඩල්ගම නමින් වූ දුගී පැල්පත් ජනාවාසයක් ඇස ගැටී එහි ගොස්, ගම මැද පිහිටි සියඹලා ගස් සෙවණේදී බඩල්ගම ගම්වැසියන් සමග කතිකාවක නිරත විය.

කුලහීන යැයි සම්මත සමාජ ජන කොටසක් වූ බඩල්ගම ගම්වැසියන්, එතෙක් සිය දිවිපෙවෙත ගෙන ගියේ අන් අය වෙතින් ඉල්ලාගත් දෙයකිනි.

නැතිබැරිකමට විසඳුම් සෙවූ උදාගම
තාවකාලිකව ඉදිවූ පැල්පත් නිවාස තුළ ඔවුන් සදාකල් දිවි ගෙවීය. බඩල්ගම තුළ හෝරා කිහිපයක් ගතකළ අගමැති ප්‍රේමදාස මහතා, නිවාසකරණය තුළින් සමාජ දුගීභාවය නැතිකරලීමේ සිය සිතැඟි සිතුවිල්ල ක්‍රියාත්මක කිරීමට වඩාත් සුදුසු බිම ලෙසින් බඩල්ගම තෝරා ගැනීමට තීන්දු කළේය.

එය යාපහුව බඩල්ගම ගම්උදාවේ සමාරම්භයයි. එතැන් සිට ගතවූයේ දෙමසකටත් අඩු කාලපරිච්ඡේදයකි. බඩල්ගම පැවැති පැල්පත් වෙනුවට නව නිවාස සමූහයක් එහි ඉදිවිය.
දහසකුත් එකක් දුෂ්කරතා මැද සදාකාලිකව පැල්පත්හි ජීවත්වූ බඩල්ගම වැසියනට උළු සෙවිලි වූ නිවසක හිමිකම ලැබිණි. වනය පීරා සිය පැලට ගිය ගම්මුන්ට තම ශ්‍රම දායකත්වයෙන් සැකසුණු බොරළු පාර හිමිවිය. වනගත සුවයෙන් වැසිකිළි කැසිකිළි සුවය ලැබූ ගම්වැසියන් හැමට නව නිවාස නිවාස හා වැසිකිළි, මුළුතැන්ගේ පහසුකම් ලැබිණි.
මේ සියල්ල එක්වූ තැන මෙරට උදාවූ ප්‍රථම උදාගම නව නිවාස 24කින් සමන්විතව 1978 ජුනි මස 24 දින ‘උදාගම’ නමින් උදාවිය.

නව උදාගම් උදාව බඩල්ගම ගම්වැසියන්ට පමණක් නොව අවට ගම්වැසි හැමට නව අත්දැකීමක් විය. සදාකාලිකව පොල්අතු ගෙපැල සෙවණේ ජීවත්වූ ‘කොටා හීන් කොල්ලා’, ‘පින්සාරා’ සහ ‘සම්පතය’ වැනි බඩල්ගම ගම්වැසියන් උදාගමේ සැබෑ උරුමකරුවන් බවට පත්වන අයුරු එදා උදාගම් මංගල්‍යය සඳහා සහභාගිවූ හැම සිත් තුටුගැන්වූ දසුනකි. එදා උදාගම් අයිතිය එහි හිමිකරුවන් වෙත ලබාදීමෙන් අනතුරුව රැස්ව සිටි ගම්මුන් ඇමතූ අගමැති ප්‍රේමදාස මහතා, ‘සදාකාලිකව පොල් අතුපැලක ජීවත් වූ බඩල්ගම ගම්වැසියන් අද උළු සෙවිලි කළ නිවහනක් තුළින් නව දිවියක් උදාකර ගෙන ඇත. ඒ නිසාම මේ ගම් පියස උදාගම නමින් නම්වූවා. මෙහි ජීවත්වන ගම් වැසි ඔබ තමුන්නාන්සේලා ස්ථිර සෙවණක ජීවත් වීම පිළිබඳ සිහිනය අද සැබෑවී තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිදුකළ පරිදි අනුගෙන් ඉල්ලගෙන ජීවත්වීම පසෙකලා ආත්මගරුත්වය හිමි ජන කොටසක් ලෙසින් දිවි ගෙවීමට අදිටන් කරගත යුතුයි’ යනුවෙන් පැවැසීය.

මෙනයින් උදාගම් උදාවත් සමගින් මුළු දිවයින පුරා ග්‍රාමිය සංවර්ධනයේ නව පිබිදීමක් ඇතිවිය.

සැබෑ ග්‍රාම සංවර්ධන පිළිවෙතක ආරම්භය
ගමේ බහුතරය දුගීන් වුවත් ඔවුන් හැම විටම පාලකයන් විසින් ලබාදෙන ආධාර පදනමින් ජීවත් වීමේ සමාජ රටාව උදාගම් ව්‍යාපාරයේ ව්‍යාප්තියත් සමගින් වෙනස් විය. ආරම්භක් ලෙසින් මසකට දිවයිනේ කවර හෝ ප්‍රදේශයක උදාගම්මාන එකක් හෝ දෙකක් උදාවිය. නමුත් ජනතාවගේ උද්‍යෝගිමත් සහභාගිත්වය හා රාජ්‍ය ආයතනික නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් දිවයිනේ දසත උදාගම් උදාව වැඩසටහනේ පසුකාලීන ක්‍රියාකරීත්වය වඩාත් වේගවත්ව සිදුවිය.

ඒ අනුව ප්‍රථම උදාගම යාපහුවේදී උදාවී දෙවසරක් ගත වූ 1980 ජූනි මස 07 දින උදාගම් ව්‍යාපාරයේ 50 වැනි ගම්මානය ලෙසින් නව නිවාස 100කින් සමන්විත උඩුදුම්බර දහම්ගම උදාවිය. 100 වැනි ආදර්ශ ගම්මානය ලෙසින් ‘සියෝදාගම’ යාපහුවේදී උදාවීට ගතවූයේ වසරකටත් අඩු කාලයකි. ඒ අනුව සියෝදාගම අගමැති ප්‍රේමදාස මහතා විසින් 1981 ජුනි මස 16 දින ජනතා අයිතියට පත්කරන ලදී.

මෙලෙසින් උදාගම් ව්‍යාපාරය යටතේ නව ආදර්ශ ගම්මාන දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර, මූලික නිවාස අවශ්‍යතාවට අමතරව නිවාසලාභීන්ගේ සමාජීය හා ආර්ථික අවශ්‍යතාවන් සපුරාලීමට අවැසි අයුරින් උදාගම් වැඩසටහන දියත් විය. ජනාවාසයක් ලෙසින් සංවර්ධනය වූ ආදර්ශ ගම්මාන ආශ්‍රිත ප්‍රජා සංවර්ධන කාර්යයන් වඩාත් විධිමත්ව ඉටුකිරීම සඳහා ප්‍රජා ශාලාවක් සෑම ආදර්ශ ගම්මානයක් ඇසුරේ ඉදිවිය. ගම්වැසියන් මෙහි රැස්වී ගමේ සංවර්ධනය සඳහා තීන්දු තීරණ ගනු ලැබීය.

එදා මෙලෙසින් ප්‍රජාශාලා නිර්මාණය, පසු කලෙක මෙරට ග්‍රාම සංවර්ධනය සඳහා දායක වූ ‘ග්‍රාමෝදය මණ්ඩල’ නිර්මාණය වීම සඳහා මෙම ශාලාවන් මහත් පිටිවහලක් විය. එමෙන්ම මෙම ආදර්ශ ගම්මානයන්හි ගම්වැසියන්ගේ ආගමික ගුණදහම් වඩාත් ප්‍රගුණ කිරීම සඳහා සෑම උදාගමක් ඇසුරේම බුදු මැඳුරක් සැකසිනි. මේ සියලු ක්‍රියාකාරම් තුළින් උදාගම් උදාව එවක ග්‍රාම සංවර්ධනය සඳහා වඩාත් ඇවැසි වූ ජනතාවට බෙහෙවින් සමීපව, කිසිදු භේදයකින් තොරව සියලු ජනකොටස් අතර වඩාත් ප්‍රචිලිත වැඩසටහනක් විය.

යුද්ධයෙන් අසරණ වූවන්ට පිහිටවූ උදාගම් සෙවණ
මෙම උදාගම් සංකල්පයේ සමාරම්භක අවධියේදී මෙරට උතුරු නැගනහිර ප්‍රදේශ ආශ්‍රිත ජනවාර්ගික යුද ගැටුම් පැවතිණි. ඒ හේතුවෙන් මධ්‍යම රජයේ සංවර්ධන කාර්යයන් එකී ප්‍රදේශවල බොහෝ විට ක්‍රියාත්මක නොවීය. එනමුත් උදාගම් ව්‍යාපාරය රටේ සෙසු ප්‍රදේශවල දියත්වීමත් සමගම උතුරු නැගනහිර ජනතාව වෙතින් තම ගම් ප්‍රදේශ සඳහා එවන් වූ ආදර්ශ ගම්මාන උදාව සඳහා ජනතා ඉල්ලුමක් විය.

මෙය වඩාත් නිවැරදිව වටහා ගත් අගමැති ප්‍රේමදාස මහතා සිය නිලධාරීන්ට දුන් උපදෙස වූයේ රටේ සෙසු ප්‍රදේශවල මෙන්, යුද්ධයෙන් බැටකෑ උතුරු නැගෙනහිර ජනතාව සඳහාද උදාගම් සංවර්ධනයේ දායකත්වය ලබාදෙන ලෙසයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙසින් යාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පිඩි ප්‍රදේශයේ උතුරුකරයේ ප්‍රථම ආදර්ශ ගම්මානය උදාවූ අතර, නව නිවාස 85කින් සමන්විත අයුරින් උදාගම් ව්‍යාපාරයේ 75 වැනි ආදර්ශ ගම්මනය ලෙසින්, 1981 වසරේ ජනවාරි මස 29 දින නිවාසලාභීන්ගේ අයිතියට පවරන ලදී. උතුරු නැගෙනහිර යුද ගැටුම් ඇරඹීමෙන් පසු අගමැතිවරයකු උතුරේ සිදුකළ ප්‍රථම නිල සංචාරය මෙය විය.

මෙයට සමගාමීව උතුරුකරයේ ආදර්ශ ගම්මාන 85ක් ඉදිකළ අතර, යාපනය නගරාසන්නයේ වෙරළ කලාපයේ ඉදිවූ නවක්කුලි ආදර්ශ ගම්මානය නව නිවාස 450කින් සමන්විත අතර, එකී නිවාස වෙතින් අඩක් යාපනය ප්‍රදේශයේ පාරම්පරික සිංහල ජනතාව විය. එමෙන්ම යුද ගැටුම් පැවැති නැගෙනහිර පළාතේද උදාගම් නිවාස සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීම සිදුවිය.

නව නිවාස 130කින් සමන්විතව අම්පාර දිස්ත්‍රික්කයේ ඉදිවූ කන්නගපුරම් ආදර්ශ ගම්මානය 1980 අම්පාර ගම්උදාව සංවත්සරය සමරමින්, ගම් උදාව ව්‍යාපාරයේ 52 වැනි ගම්මානය ලෙසින් අගමැති ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත්කරන ලදී. මෙම ගම්මානය ජනතා අයිතියට පත්කරමින් ඇරඹි නැගෙනහිර පළාතේ උදාගම් සංවර්ධනය යටතේ අම්පාර මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තුළ උදාගම් 90ක් උදාවිය.

මෙවන් ආකාරයකින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වූ ආදර්ශ ගම්මාන වැඩසටහන, නාගරික ගතිලක්ෂණයන්ගෙන් හෙබි ප්‍රදේශ ඇසුරේද ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් නාගරික ජන දිවියට හුරු ජනකොටස් වෙනුවෙන් වඩාත් පහසුකම් සහිත ආදර්ශ ගම්මාන නිර්මාණය විය.

නව ජනාවාස උදාවක්
නව නිවාස 2023කින් සමන්විත කටාන සීදුව ‘රද්දොළුගම’ ආදර්ශ ගම්මානය උදාවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. උදාගම් ව්‍යාපාරයේ 169 ආදර්ශ ගම්මානය ලෙසින්, 1982 අගෝස්තු 29 දින අගමැති ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත්කළ රද්දොළුගම උදාගම් ඉතිහාසය තුළ මෙරට බිහිවූ වැඩිම නිවාසලාභීන් ප්‍රමාණයකට හිමිකම හිමිවූ නිවාස ව්‍යාපෘතියයි.

කලින් නොදියුණු අවම යටිතල පහසුකම්වලින් සමන්විතවූ මෙම ප්‍රදේශය රද්දොළුගම ආදර්ශ නිවාස ව්‍යාපෘතියේ උදාවත් සමගින් නවීන පහසුකම් හෙබි නව නගරයක් බවට පත්විය.
මෙලෙසින්ම නිර්මාණයවූ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ රන්පොකුණගම ආදර්ශ ගම්මානය නව නිවාස 1610කින් සමන්විතව නිර්මාණයවී උදාගම් ව්‍යාපාරයේ 408 වැනි ආදර්ශ ගම්මානය ලෙසින් 1986 මැයි 25 දින අගමැති ප්‍රේමදාස මහතා විසින් නිවාසලාභීන්ගේ අයිතියට පත්කරන ලදී.

උදාගම් සංකල්පය යටතේ මෙලෙසින් ක්‍රියාත්මකවූ ආදර්ශ ගම්මාන වැඩසටහන, එවක ජාතික නිවාස සංකල්පයේ ක්‍රියාකාරීත්වයත් සමගින් මූලික වෙනස්කම් සමගින් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක විය.

1978 – 1983 කාලපරිච්ඡේදය තුළ මෙරට ක්‍රියාත්මක වූ නිවාස ලක්ෂය ජාතික නිවාස වැඩසටහන රාජ්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර, එකී කාලය තුළ මෙරට බිහිවූ ආදර්ශ ගම්මාන උදාගම් ලෙසින් හැදින්විණි.

මෙයට වෙනස්වූ නිවාස සංකල්පයකට අනුගත වීම 1984-1985 වසර පහක කාලය තුළ සිදුවූ අතර, එකී කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක වූ නිවාස දසලක්ෂය වැඩසටහන පූර්ණ ජනතා සහභාගිත්වයෙන් රාජ්‍ය මග පෙන්වීම යටතේ දියත් විය. එකී කාලපරිච්ඡේදය තුළදී බිහිවූ ආදර්ශ ගම්මාන ජනතා සහභාගීත්වයෙන් නිර්මාණය වූ හෙයින් එකී ගම්මාන උදාකළ ගම්මාන ලෙසින් නම්විය.

මෙහිදී නිවාස සංවර්ධනයේ සැබෑ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ කරුණක් වූයේ ග්‍රාමීය දුපත්කම සඳහා විසඳුම් සෙවූ උදාගම් සංකල්පීය මූලධර්ම භාවිතයෙන් නාගරික දුප්පතුන් සඳහාද සහනයක් ලබදිය හැකි බවයි.

නාගරික දුප්පතුන් සඳහා පුරවර
මෙය වඩාත් නිවැරදිව වටහාගත් ප්‍රේමදාස මහතා, තමා සැබෑ ලෙසින්ම ළෙන්ගතුවූ නාගරික දුප්පතුන්ට පිහිටවීම සඳහා උදාගම් සංකල්පය යොදාගැනීමට අදිටන් කරගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් කොළඹ නාගරික දුප්පතුන්ට බිම්කොටසක අයිතිය සමගින් නිවසක අයිතිය ලබාදීමේ ‘පුරවර උදාව’ සිදුවිය. එහි ආරම්භක පියවර ලෙසින් 1985 වසරේදී කොළඹ කැලණි පාලම අසල වගුරු බිම්වල ජීවත්වූ නාගරික දුප්පතුන් සමූහයක් වෙනුවෙන් දෙමටගොඩ ‘නවගම්පුර’ උදාවූ අතර, එය පුරවර වැඩසටහනේ සමාරම්භයයි. එයට මස කිහිපයකට පසු කෝට්ටේ ජයවර්ධනපුර ප්‍රදේශයේ නාගරික අඩු ආදායම්ලාභීන් සඳහා ‘බණ්ඩාරනායකපුර’ නිවාස ක්‍රමය උදාවිය.

මෙම වැඩසටහන පසු කලෙක දිවයින පුරා නාගරික දුප්පතුන්ගේ නිවාස හා ජනාවාස ගැටලුව සඳහා විසඳුම් සෙවූ සාර්ථක වැඩසටහනක් ලෙසින් ක්‍රියාත්මක විය.

ලැයිම් කාමර වෙනුවට වතුකර ජනාවාස
වතුකරයේ වැඩකරන ජනතාව දශක ගණනාවක් අවම වූ පහසුකම් සහිත ලැයිම් කාමරවල ජීවත් වූහ. ඔවුන්ගේ සැබෑ ජීවන ගැටලු සමගින් ජීවත්වීමට සුදුසු තමන්ගේ නිවසක් යන්න සිහිනයක් පමණක් වී තිබිණි.

මෙම තත්ත්වය වඩාත් නිවැරදිව වටහාගත් ප්‍රේමදාස මහතා වතුකරයේ වැඩකරන ද්‍රවිඩ ජනතාව සඳහා මෙරට පුරවැසිකම ලබාදීමට මූලිකව කටයුතු කිරීමට අමතරව ඔවුන් ජීවත්වූ ලැයිම් කාමර වෙනුවට ජීවත්වීමට සුදුසු නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කළේය. එකී වැඩසටහන තෙයාකාරයකින් ක්‍රියාත්මක විය.

එහි මුල් වැඩසටහන ඔවුන් ජීවත්වූ ලැයිම් කාමර ජීවත්වීම සඳහා වඩාත් සුදුසු නිවාස ලෙසින් පරිවර්තතනය කිරීමයි. දෙවන වැඩසටහන වූයේ, වතුකරය තුළින් වගාවට නුසුදුසු බිම් කොටස් තෝරා එහි වතුකර වැඩකරන ජනතාව වෙනුවෙන් නව ජනාවාස උදාකරලීමයි. යෝජිත වූ තෙවැනි වැඩසටහන වූයේ වතුකරය ඇසුරේ ජීවත්වන සිංහල ජනතාව සහ වතුකරයේ වැඩකරන ද්‍රවිඩ ජනතාවට සමීපව ජීවත් විය හැකි නිවාස ක්‍රම උදාගම් සවරූපයෙන් වතු ආශ්‍රිතව ඉදිකිරීමයි.

මෙකී වැඩසටහන් ත්‍රිත්වයම එදා ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී සාර්ථකව ක්‍රියාත්මකවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් වතුකරයේ වැඩකරන ද්‍රවිඩ ජනතාව සිංහල ජනකොටස් අතර මනා සංහිඳියාවක් ගොඩනැගීය.

මෙලෙසින් ක්‍රියාත්මක වූ උදාගම් ව්‍යාපාරය යටතේ 1978 – 1993 කාලපරිච්ඡේදය තුළදී ප්‍රේමදාස මහතාගේ පුරෝගාමීත්වයෙන් දිවයින පුරා ගම, නගරය හා වතුකරය ඇසුරේ ක්‍රියාත්මක වූ උදාගම් ව්‍යාපාරය යටතේ ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් අවසන් වරට ජනතා අයිතියට පත්කරගනු ලැබුවේ 790 වැනි ආදර්ශ ගම්මානය ලෙසින් බිහිවූ නුවරඑළිය අඹගමුව කෝරළේ ‘කිරිවැල්හීන්ගම’යි. නව නිවාස 58කින් සමන්විත මෙම උදාගම ප්‍රේමදාස මහතාගේ අභාවයට දෙදිනකට ප්‍රථම එනම්, 1993 අප්‍රේල් මස 29 දින ජනතා අයිතියට පත්කරන ලදී.

යාපහුව උදාගම ජනතා අයිතියට පත්කළ දින සිට තමන් වෙත කවර වගකීම් පැවරුණුද උදාගම ජනතා අයිතියට පත්කිරීමේ සත්ක්‍රියාවට ප්‍රේමදාස මහතා නිරතුරුව මුල් තැනක් දුනි.

මෙවන්වූ නව සමාජ අත්දැකීමක් එක්කල උදාගම් ව්‍යාපාරය විදෙස් රටවල සහ ජාත්‍යන්තර ආයතන තුළ වැඩි ප්‍රසාදයක් හිමිකරගත් නිවාස සංවර්ධන වැඩසටහනක් විය. එකී රටවල් සංවිධාන වෙතින් විවිධ වූ අනුග්‍රහ මෙන්ම ලොව පළමු වරට හඳුනාගත් මෙම ජන සහභාගීත්ව නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා විවිධවූ විද්වත් පිරිස් මෙරටට නිරතුරුව පැමිණියහ.

දඹදිව බුද්ධගයාගම උදාව
මේ සියලු ක්‍රියාකාරම් හා සමගාමීව උදාගම් සංකල්පය විදෙස් රටවල නිවාස ගැටලුව විසඳීම සඳහා දායක කරගැනීමට එවක ජනාධිපති ප්‍රේමදාස මහතා තීරණය කිරීමත් සමගින් මෙරටින් බැහැරව ඉදිවූ ප්‍රථම හා එකම උදාගම ඉන්දියාවේ බුද්ධගයාවේ ‘බුද්ධගයාගම’ ලෙසින් නිර්මාණය විය.

වසරක කාලපරිච්ඡේදයක් තුළදී බුද්ධගයාව ඇසුරේ ජීවත්වූ තාවකාලික නිවාසලාභීන් සමූහයක් වෙනුවෙන් නිර්මාණයවූ ‘බුද්ධගයාගම’ 1993 වසරේ අප්‍රේල් මස 13 දින ජනතා අයිතියට පත්කළ අතර, එම ඉන්දියානු සංචාරය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අවසන් විදෙස් නිල චාරිකාව විය.

උදාගම් සාහිත්‍ය නවෝදය
උදාගම් ව්‍යාපාරය තුළින් නිවාස අපේක්ෂිත පවුල් ලක්ෂ ගණනකට නිවාස හිමිකම ලැබිණි. එමෙන්ම ජනතා සහභාගීත්වයෙන් නිවාස හා ජනාවාස සංවර්ධනය පිළිබඳ උගත් පාඩම් බොහෝය. නිවාසකරණයට බැහැරවූ සමාජ ක්‍රියාකාරම් රැසක් උදාගම් උදාව තුළින් සිදුවිය. ප්‍රේමදාස මහතාගේ නිසි අධීක්ෂණය මෙම වැඩසටහනේ සෑම ක්ෂේත්‍රයක් හා බැඳී පැවතිණි. මෙතෙක් රාජ්‍ය දායකත්ව සංවර්ධන වැඩසටහනක නොදුටු සියලු පාර්ශ්වයන්හි කැපවීම, ඉලක්කගත ක්‍රියාකාරම් ගම්උදාවේ දැකගත හැකි විය.
එමෙන්ම ගම්උදාව වැඩසටහන හේතුවෙන් නව සාහිත්‍ය ප්‍රබෝධයක් ඇතිවිය.

රාජ්‍ය සංවර්ධනයේදී නොතිබුණු වාග් මාලාවක් උදාගම් ක්‍රියාදාමය තුළින් පාරිභාෂික වචන සඳහා මෙතෙක් රාජ්‍ය සංවර්ධන වැඩසටහනක් විවෘත කිරීම යන්න සාම්ප්‍රදායික යෙදුම විය. නමුත් උදාගමක් විවෘත කිරීම එකී සම්ප්‍රදායෙන් බැහැරව, වඩාත් ආකර්ෂණීය වූ ‘ජනතා අයිතියට පත්කිරීම’ යන යෙදුම හා සමගින් වේ.

එමෙන්ම නිර්මාණය වූ උදාගම්මානයන්හි නාමකරණයේදී නිරතුරුව එකී ගම්මානය හා බැඳුණු සුවිශේෂ සිදුවීමක් මුල්කොට ගම නම්විය.
බළන්ගොඩ වෝල්ටයිල්ස් කම්හල ඇසුරේ ඉදිවූ උදාගම ‘බිතුගල්ගම’ ලෙසින් නම්වීමත්, කටාන ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත ජනකොටසක් වෙනුවෙන් නිර්මාණය වූ උදාගමක් ‘නයනාලෝකගම’ ලෙසින් නම්කිරීමත්, කඹුරුපිටිය ප්‍රදේශයේ කවියෙකු විසින් කරන ලද උදාගම්මාන ඉල්ලීමකට උදාවූ ‘කාව්‍යෝදාගම’ මේ සඳහා දැක්විය හැකි විසඳුම් කිහිපයකි.

උදාගම් ව්‍යාපාරයට ප්‍රතිපාක්ෂික ප්‍රතිචාර
මෙලෙසින් සුවිශේෂ සමාජ වෙනස්කම් රැසක් සිදුකළ උදාගම් ව්‍යාපාරය, ප්‍රේමදාස මහතාගේ වියෝවෙන් පසු වුවද කවර ප්‍රතිපාක්ෂික දේශපාලන දර්ශනයකින් හෙබි කණ්ඩායමක් මෙරට බලයට පත්වුවද, ජනතාවගේ සැබෑ ඉල්ලීම වූයේ තම නිවස හා ජනාවාස ගැටලුව සඳහා උදාගම් ව්‍යාපාරය තුළින් විසඳුම් ලබාදෙන ලෙසයි.
ප්‍රේමදාස මහතාගේ වියෝවයෙන් පසු එවක පැවැති රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය හෙබවූ සිරිසේන කුරේ මහතාගේ මූලිකත්වයෙන් උදාගම් ව්‍යාපාරය තව දුරටත් දියත්ව දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන අයුරින් උදාගම් නිර්මාණය විය.

ඉන්පසු බලයට පත් සමගි පෙරමුණු රජයේ මුල් වරට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරයට පත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ආරම්භක වශයෙන් උදාගම් ව්‍යාපාරය දැඩි ලෙසින් විවේචනය කළද, එකී වැඩසටහනේ සැබෑ ක්‍රියාකාරීත්වය හා එහි ප්‍රතිලාභී ජනතාව සැබෑ ලෙසින්ම උදාගම් ව්‍යාපාරය සඳහා දැක්වූ ළෙන්ගතුකම හේතුවෙන් උදාගම් වැඩසටහන සිය රාජ්‍ය ප්‍රතිපත්තීන් හා ගළපමින් ‘ජන උදාව’ වැඩසටහන නමින් ක්‍රියාත්මක කරන ලදී. එම රජයේම පසුකාලීනව නිවාස අමාත්‍ය ධුරයට පත් ඉන්දික ගුණවර්ධන සහ ෆේරියල් අෂ්රොෆ් අමාත්‍යවරුන් විසින්ද එයට සමීපවූ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන් දියත් කරන ලදී.

ඉන් අනතුරු පාලන සමයේ බලයට පත් රජයේ නිවාස අමාත්‍ය ධුරයට පත් විමල් වීරවංශ අමාත්‍යවරයා එතෙක් ඉදිවූ කොළඹ නාගරික ජනාවාස සඳහා වැඩි අවධානයක් යොමුකරමින් ‘ජන සෙවණ’ නමින්වූ උදාගම් වැඩසටහනට සමීපවූ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.
සජිත්ගේ අදහස් පෙරදැරිව ක්‍රියාත්මක වූ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන

මෙලෙසින් විවිධවූ වෙනස්කම් යටතේ වසර ගනණාවක් ක්‍රියාත්මක වූ මෙම නිවාස සංවර්ධන ක්‍රියාපිළිවෙත, 2015 වසරේ බලයට පත් යහපාලන රජය යටතේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරයට පත් සජිත් ප්‍රේමදාස මහතා වෙත, ග්‍රාමීය නිවාස සංවර්ධන කාර්යය වගකීම් පමණක් පැවරුණි.
ජාතික නිවාස සංවර්ධන ක්‍රියාවලියේ මෙවන් වූ සීමිත වගකීමක් පමණක් තමන් වෙත පැවරුණද ගම මුල්කොටගත් සමස්ත සමාජය වෙත එකී වැඩසටහනේ ප්‍රතිලාභ ලබාදීම සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව විය.

එකී බලාපොරොත්තු ඉටුකරගැනීම උදෙසා ‘සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන’ මුළු දිවයින පුරා සජිත් ප්‍රේමදාස මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය.
එදා තම පියා ක්‍රියාත්මක කළ උදාගම් ව්‍යාපාරය වත්මන් සමාජ අවශ්‍යතාවට අනුකූලව සංශෝධනය කරමින්, එය සමාජ අවශ්‍යතා සමග ගළපමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉතා කෙටි කලකදී සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන වඩාත් වේගයෙන් සමාජගත විය.

යුද්ධයෙන් අවතැන් වූ උතුරුකරයේ ජීවත්වූ සිංහල දරු පවුල් සමූහයක් සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ නව නිවාස සමූහයක් සමගින් ඉදි වූ ‘ඉසුරුපුර’ ආදර්ශ ගම්මානය, ජනතා අයිතියට පත්කිරීමත් සමගින්, සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ මුල්ම ගම්මානය ජනතා අයිතියට පත්කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන ලදී.

නිවාසලාභී ජනතාවගේ වත්මන් සමාජ ආර්ථික හා වෙනත් මූලික අවශ්‍යතාවන්ට මුල්තැනක් දෙමින් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ලෙසින් මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන දියත් විය.

එමෙන්ම මෙවන් වූ ගම්මාන සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වීමේදී අදාළ නිවාස ව්‍යාපෘතිය අවට සියලු නිවාස අවශ්‍යතාව පවත්නා ජනකොටස් සඳහා විසිරි නිවාස වැඩසටහන යටතේ නිවාස පහසුකම් ලබාදීම තුළින්, මෙවන් වූ ආදර්ශ ගම්මානයක් බිහිවීමේදී එකී සමස්ත ප්‍රදේශයේම කැපීපෙනෙන නිවාස සංවර්ධනයක් සිදුවිය. මෙලෙසින් 2015 වසර ආරම්භයේ ඇරඹි සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන 2019 වසරේ අගෝස්තු මාසය දක්වා ක්‍රියාත්මකවූ අතර, එමගින් එකී වැඩසටහනේ දායකත්වයෙන් ඇරඹි මුළු ආදර්ශ ගම්මාන ප්‍රමාණය 2,562කි.

මෙවන්වූ වාර්තාගත ආදර්ශ ගම්මාන ප්‍රමාණයක් ඉදිකළ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන, 2019 වසර අවසානයේ නතරවීමත් සමගින්, පසුගිය වසර පහක (2020 – 2025) කාලය තුළදී කිසිදු ආදර්ශ ගම්මානයක උදාවක් සිදුවී නැත.

1978 වසරේ යාපහුව උදාගම උදාවීමෙන් ඇරඹි උදාගම් ව්‍යාපාරය යටතේ වෙනස් වූ දේශපාලනික ප්‍රතිපත්තීන් යටතේ වුව මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන 2019 වසර දක්වා ක්‍රියාත්මක විය.

එතුළින් අදාළ කාලපරිච්ඡේදය (1978 – 2019) තුළ බිහිවූ සමස්ත ආදර්ශ ගම්මාන ප්‍රමාණය 3500 ඉක්මවයි.
එවන් වූ ජන ජීවිතය සඳහා බෙහෙවින් සමීප ජනාවාස සංවර්ධන වැඩසටහනක් නතර වීම සහ එකී සමාජ විසඳුම ලබාදීම සඳහා වෙනත් විකල්පීය වැඩසටහනක් ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවීම තුළ එදා උදාගම් පහස ලද ජනතාව වත්මන් නිවාස ගැටලුව සඳහා විසඳුම් ලබාදෙන නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහනක් නැවත දියත්වන තෙක් නොඉවසිල්ලෙන් බලාසිටී.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

පළාත් පාලන කොමසාරිස්තුමිය රහස් ඡන්දෙකට ගියේ ඒකාධිපති ස්වරූපයෙන්.. බලහත්කාරයෙන්! VIDEO I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රශ්නය උඩුදුවයි! දීපු දින 90 මේ සති දෙකෙන් ඉවරයි! අමෙරිකාවේ අලුත් යෝජනාවෙන් ලංකාව තවත් හිරවෙයිද? I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.