අතීතයේ මෙන්ම වර්තමානයේදීත් පාලකයන් සහ මාධ්‍යකරණය අතර සහයෝගීතාව මෙන්ම මත ගැටුම් ඇතිවූ අවස්ථා බොහෝය. එවන්වූ කාලපරිච්ඡේද මතකයට නැංවීමේදී ‘ප්‍රේමදාස සහ මාධ්‍යකරණය’ පිළිබඳ නිතැතින් සිත්ගැන්වේ. Sri Lanka Latest News
එදා ප්‍රේමදාස මෙහෙවර මොන තරම් ජනතා හිතකාමී වුවද, ඒ දෙස විවේචනාත්මක ඇසකින් බලමින්, එය නිර්දය ලෙස විවේචනය කරන මාධ්‍යකරුවන් පිරිසක් සිටි අතර, එවන් මාධ්‍යවේදීන් පිරිසක් නිර්මාණය වූයේ එකී මාධ්‍ය ප්‍රකාශන රසවිඳීම සඳහාද සැලකිය යුතු පිරිසක් සිටීමයි.
මේ සියලු අභියෝග වඩාත් නිවැරදිව තේරුම් ගත් ප්‍රේමදාස මහතා, තම සේවය අගයන හා විවේචනය කරන මාධ්‍යකරුවන් වෙත සමාන සැලකුම් දෙමින් කටයුතු කළේය.
විවේචනාත්මක පුවත් සඳහා ක්ෂණික ප්‍රතිචාර
මෙරට සිටි පාලකයන් අතරින් වඩාත් ප්‍රායෝගික නායකයකු වූ ප්‍රේමදාස මහතා නිරතුරුව මාධ්‍ය තුළින් ලබාදෙන පණිවුඩය සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වූ අයෙකි. ඔහු සමාජ මෙහෙවර සිදුකළ කාලපරිච්ඡේදයේදී වඩාත් උදෑසනින් පාඨකයන් වෙතට පුවත් ගෙනයනු ලැබූවේ ‘පුවත්පත’යි.
ප්‍රේමදාස මහතා පුරුද්දක් ලෙසින් හිමිදිරි උදයේ එදින පුවත්පත් සියල්ල පරිශීලනය කොට, එතුළින් තම පාලන හා තම ආයතනික නිලධාරීන්ට බලපාන, වගකියන පුවත් හඳුනාගෙන, ඒ පිළිබඳ හිමිදිරි උදයේම අදාළ වගකිව යුත්තන් දුරකතනයෙන් දැනුවත් කිරීම සිදුකරයි. එපමණකින් සෑහීමකට පත්නොවන ප්‍රේමදාස මහතා, පුවත්පත් වාර්තාවේ සඳහන් කරුණු නිවැරදි කිරීම සඳහා ගනු ලැබූ පියවර පිළිබඳ එකී පුවත්පත වෙත එදිනම වාර්තා කිරීමේ පුරුද්දක් විය. එවන්වූ මාධ්‍ය ක්‍රියාදාමයකට වඩාත් එල්ලවූ ප්‍රේමදාස මහතාගේ මහජන මෙහෙවර යටතේ නිවාස අවැසි ජනතාව සඳහා නිවාස පහසුකම් සැපයූවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.
එහි මාධ්‍ය අංශයේ වගකීම් වසර දහයක (1984 -1993) කාලයක් ප්‍රේමදාස මහතා ඇසුරේ ඉටුකළ මා, එමගින් ලැබූවේ වින්දනාත්මක අභියෝගයකි. එකී සේවා කාලපරිච්ඡේදය තුළදී අප මෙන්ම එහි මාධ්‍යකරණයේ නිරත වූ සෙසු නිලධාරීන්ද වරින් වර හිමිදිරි උදෑසන සිට ප්‍රේමදාස මහතා වෙතින් ලැබුණු දුරකතන ඇමතුම් ඇතුළු වෙනත් රාජකාරි පණිවුඩ තුළින් කියැවුණේ මාධ්‍ය තුළින් ප්‍රකාශිත නිවාස සංවර්ධනය පිළිබඳ ජනතා මෙහෙවර නිවැරදි කිරීම පිළිබඳවයි.
බොහෝ දේශපාලකයෝ සිය වගකීම් දරන විෂය ක්ෂේත්‍රය පිළිබඳ නිරතුරුව විවේචන එල්ල වීම නොරිස්සූහ. නමුත් ප්‍රේමදාස මහතා එවන්වූ සෑම විවේචනයක් පිළිබඳ සැලකිලිමත්වී සොයාබලමින් එකී විවේචනයේ සත්‍යතාවක් තිබේ නම් එය නිවැරදි කිරීමට පියවර ගත් අතර, ඉන් නොනැවතුණු ප්‍රේමදාස මාධ්‍ය ක්‍රියාවලිය තුළින් එකී පුවත නිවැරදි කිරීමට ගනු ලබන පියවර පිළිබඳ මාධ්‍ය වෙතින් නිරතුරුව ජනතාව දැනුවත් කිරීම සිදුකරයි.
මාධ්‍ය වාර්තාවන් තුළින් කාර්යක්ෂම වූ නිලධාරි මෙහෙවර
සිය මාධ්‍ය වාර්තාව පිළිබඳ අගමැතිවරයාගේ ක්ෂණික ප්‍රතික්‍රියාව පිළිබඳ වඩාත් ආකර්ෂණය වූ මාධ්‍යකරුවන් නිරන්තරයෙන් ප්‍රේමදාස ජනතා මෙහෙවරේ අඩුපාඩු පෙන්නුම් කිරීම සමගින් එය නිවැරදි කිරීම සඳහාද කටයුතු කිරීම සිදුවිය. එනමුත් මෙම කාර්යය නුහුරු නුපුරුදු අදාළ සංවර්ධන කාර්යයන්හි නිරත වූ නිලධරයන්ට මෙය එක්තරා ආකාරයක අභියෝගයක් විය. නිලධාරීන් වෙත මෙවන්වූ අඩුපාඩු මාධ්‍ය තුළින් පෙන්නුම් කිරීමක් හේතුවෙන් අදාළ කාර්යය වඩාත් නිවැරදිව කඩිනමින් සිදුකිරීමට නිලධාරීන් වඩාත් යොමුවිය.
ප්‍රේමදාස මහතා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ උදාගම් ව්‍යාපාරය මුල්කොටගත් සෙසු සංවර්ධන කාර්යයන්හි දීපව්‍යාප්ත ක්‍රියාකාරීත්වයේ විවිධ වූ අඩුලුහුඬුතාවන් කඩිනමින් නිවැරදි කිරීම සඳහා ප්‍රේමදාස මහතා මෙම වැඩපිළිවෙළ අනුගමනය කළේය. ඔහුගේ ඇවෑමෙන් බලයට පත් සෙසු පාලකයන්ද අඩු වැඩි වශයෙන් මෙම ක්‍රියා පිළිවෙත අනුගමනය කළද, එකී වැඩසටහන වඩාත් ප්‍රතිඵලදායක වූයේ ප්‍රේමදාස යුගයේදීය.
ප්‍රේමදාස මහතා මෙවන් ආකාරයකින් මාධ්‍ය සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන අතරතුර, වෙනත් කවර හෝ දේශපාලකයකු මාධ්‍ය භාවිතය තුළින් සිදු නොකළ කාර්යයක් ඉටුකර ගැනීමට උත්සාහ ගත්තේය.
නිර්භයව සැබෑව වාර්තා කිරීමට දුන් උපදෙස
ඔහු සමගින් මාගේ රාජකාරි දිවිය තුළ මෙවන්වූ අත්දැකීම් වේ. 1984 අප්‍රේල් මස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අභිනවයෙන් ස්ථාපිත වූ තොරතුරු ප්‍රචාරක අංශයේ කළමනාකරු ලෙසින් පත්වීම් ලබා දින කිහිපයකට පසු එක්තරා දිනක පෙරවරුවේ කොළඹ සුචරිත නිවසට පැමිණ, අගමැති ප්‍රේමදාස මහතා හමුවන ලෙස මා දැනුවත් කළ අතර, එය මා අගමැති ප්‍රේමදාස මහතා මුණගැසුණු මුල්ම අවස්ථාව විය.
මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මගේ අත්දැකීම් හා පළපුරුද්ද පිළිබඳ තොරතුරු විමසීමෙන් අනතුරුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාධ්‍ය නිලධාරී ලෙසින් මවිසින් ඉටුකළ යුතු කාර්යභාරය පිළිබඳ එදා ප්‍රේමදාස මහතා ප්‍රකාශිත අදහස මෙලෙසින් අදද මා මතකයේ වේ.
‘ඔබ සේවය කරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුකරන නිවාස සංවර්ධන කාර්යයන් තුළින් මගේ කීර්තිනාමය වර්ධනය කිරීමට කටයුතු කිරීම අවශ්‍ය නැහැ. මට අවශ්‍ය එම අධිකාරිය විසින් සිදුකරන සැබෑ ජනතා මෙහෙවර පිළිබඳ ඇත්ත ඇති හැටියෙන් ඔබ අංශයෙන් ජනතාව වෙතට වාර්තා වීමයි.’
‘එනමුත් එය කාර්යාලය තුළ රැඳෙමින් වාර්තා කළ නොහැකියි. හැම විටම ක්ෂේත්‍රය වෙත ගොස්, නිවාස සංවර්ධනයේ සැබෑ අරගලය එහි සිට වාර්තා කළ යුතුයි. එවිටයි එම මාධ්‍ය වාර්තාව පිළිබඳ ජනතාව ගේ විශ්වාසයක් ගොඩනැගේ.’
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක අංශයේ වගකීම් දරනතාක් කල් මවිසින් ප්‍රේමදාස මහතාගේ මෙම උපදෙස පරිදි කටයුතු කළ අතර, එකී නිවාස සංවර්ධන වැඩසටහන පිළිබඳ ජනතා විශ්වාසය එමගින් වර්ධනය විය. එවක රජය විසින් ක්‍රියාත්මක කළ නිවාස සංවර්ධන වැඩසටහන් නිරන්තරයෙන් විවේචනයට ලක්කළ මාධ්‍යවේදීන් සඳහා ප්‍රේමදාස මහතාගේ විශේෂ සැලකිල්ලක් පැවැති අතර, තම දායකත්වයෙන් ක්‍රියාත්මක සංවර්ධන කාර්යයන්හි ඇත්ත ඇති හැටියෙන් දැනගත්තේ මෙකී මාධ්‍යවේදීන් වෙතිනි.
විවේචනාත්මක මාධ්‍යවේදීන් සමගින් සමීප ඇසුරක්
මෙලෙසින් නිවාස සංවර්ධන වැඩසටහන පිළිබඳ විවේචනාත්මක ලෙසින් අදහස් දක්වන මාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කොට ඔවුන් සමගින් සම්බන්ධීකරණයක් ගොඩනැගීම මා වෙත පැවරුණු වගකීමක් විය. අගමැති ප්‍රේමදාස මහතා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය දැරූ කාලපරිච්ඡේදයේ අයවැය කාරකසභා අවස්ථාවකදී මෙම මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සිදුවූ සිදුවීමක් මා මතකයට නැගේ.
එවන්වූ කාරකසභා අවස්ථාවක නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ විවාදය දැකබලා ගැනීමට මෙකී මාධ්‍යවේදීන් කැඳවන ලෙස ප්‍රේමදාස මහතා අපවෙත ලබාදුන් උපදෙසින් ඔවුන් කැඳවීම සිදුවිය.
මෙදින මැතිසබයේ විවාදය දැකබලා ගැනීමට අවස්ථාව සැලසීමෙන් පසු එම මාධ්‍යවේදීන් ඇමතු ප්‍රේමදාස මහතා,
‘අද අප ආරාධනයෙන් ඔබගේ පැමිණීම අගය කරනවා. ඔබ වැඩි දෙනෙක් නිරතුරුව අප නිවාස සංවර්ධන වැඩසටහනේ අඩුපාඩු මාධ්‍ය වෙත වාර්තා කළ අය. ඒ සියලු වාර්තා පළවූ දිනදී උදෑසනින් බලා ඒවා නිවැරදි කිරීමට පියවර ගැනීමට අප කටයුතු කළා. එමගින් බොහෝ සංවර්ධන කාර්යයන්හි සැබෑ තත්ත්වය දැනගැනීමටත්, එය නිවැරදි කිරීමටත් අප සැමට අවස්ථාව සැලසුණා. මෙම වැදගත්වූ ඔබ කාර්යභාරය ඉදිරියේදීත් එලෙසින්ම සිදුකරන ලෙස ඉල්ලා සිටිනවා…’ යැයි පැවැසීය.
අසරණ වූවන්ට සෙවණ පිහිට
එමෙන්ම දෛනික පුවත්පත්හි පළවන, අනුග්‍රහයක් ලැබිය යුතු අසරණ වූවෙක් පිළිබඳ සංවේදී පුවත් දුටු විගසින් ඒ සඳහා අවශ්‍ය ආධාර අනුග්‍රහ කඩිනමින් ලබාදීමට ප්‍රේමදාස මහතා පියවර ගත්තේය. මෙවන් අවස්ථාවන් රැසක් දෛනිකව ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙතින් එවක වාර්තා විය. එකී වාර්තාවන් බොහොමයකට දෛනික හෝ සතිඅන්ත පුවත්පත් වාර්තාවන් පදනම් විය. එවන් පුවතක් පුවත්පත්හි දුටු විගස, එකී පුවතේ පෞද්ගලිකවම සටහනක් යොදන ප්‍රේමදාස මහතා, ඔවුන්ගේ දිවිපෙවෙත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහන සෙවණ අරමුදල සහ වෙනත් පරිත්‍යාගශීලීන් වෙතින් ලබාදී, එකී සත්ක්‍රියාව දියත්කොට නැවත තමන් වෙත වාර්තා කරන ලෙස, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් දෙයි.
ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි වහා ක්‍රියාත්මක වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය හෝරා කිහිපයක් තුළදී එකී අසරණභාවයට පත්වූ අය හෝ පවුලේ සාමාජිකයන් සොයා අවශ්‍ය සහාය ලබාදීම ආරම්භ කරයි. ඉන් අනතුරුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාධ්‍යකරණයේ නියුතු අප වගකීම වූයේ ඉහත පුවත පළකර තිබූ මාධ්‍යවේදියා සොයා ප්‍රේමදාස උපදෙසින් මෙම කාර්යය සිදුකරන බවත්, එකී පුවත පළකිරීම පිළිබඳ අදාළ මාධ්‍යවේදියා වෙත තුති පුදකිරීම සිදුකිරීමයි. ඉන් අනතුරුව එකී කාර්යය ඉටුවන තෙක් නිරන්තර පසුවිපරම, එම කාර්යභාර නිලධාරීන් හා මාධ්‍යවේදීන් විසින් සිදුකරයි.
එවක මෙවන්වූ සහන හිමිවූවන් බොහෝය. එයින් කිහිපයක් පමණක් මෙලෙසින් සඳහන් කරමි.
● 1986 සැප්තැම්බර් මස 09 දින ‘දවස’ පුවත්පතේ පළවූ හබරණ ප්‍රදේශයේ පැල්පතක අසරණ වූ පස් දෙනකුගෙන් යුතු පවුලක් තමන් වෙත ස්ථීර සෙවණක පිහිටක් ඉල්ලා සිටි පුවත දුටු අගමැති ප්‍රේමදාස මහතා ඔවුන් සඳහා පිහිටවීමට වහා පියවර ගත්තේය.
● 1986 දෙසැම්බර් මස 14 දින ‘සිළුමිණ’ පුවත්පතේ පළවූ ‘හිසට සෙවණක් සොයන සිවු නිවුන් දරු පවුලක්’ නම් පුවත පිළිබඳ වහා අවධානය යොමුකළ ප්‍රේමදාස මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හා සෙවණ අරමුදලේ දායකත්වයෙන් ඔවුන්ට ස්ථීර නිවහනක හිමිකම ලබාදුණි.
● 1987 මැයි මස 11 දින ‘ඩේලිනිවුස්’ පුවත්පතේ පළවූ, පාදයක් අහිමිව පැල්පතක සිට සිය පවුලේ හයදෙනකු ජීවත් කරවන දිරිය දියණිය පිළිබඳ පුවත ප්‍රේමදාස මහතා කියවීමෙන් පසු සෙවණ අරමුදල් දායකත්වයෙන් ඇයට නිවසක් ඉදිකර දීමට කටයුතු යෙදිණි.
● 1990 මැයි මස 24 දින ‘ඩේලිනිවුස්’ පුවත්පතේ පළවූ එක් දැරියක් පෝලියෝ රෝගයෙන් පෙළෙන තුන් නිවුන් දරු පවුලක් ජීවත් කරවීම සඳහා දිරිය මාතාවක් විසින් ගනු ලැබූ උත්සාහය පිළිබඳ පුවත දුටු ප්‍රේමදාස ජනාධිපතිවරයා, ඔවුන් සඳහා සෙවණ අරමුදලේ අනුග්‍රහයෙන් නිවහනක් ඉදිකිරීම සඳහා වහා පියවර ගත්තේය.
මෙවන් වූ ආකාරයට දෛනික පුවත්පත්වල පළකෙරුණු පුවත් වාර්තා සඳහා ප්‍රේමදාස මහතා පෞද්ගලිකව අවධානය යොමුකිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් සහන ලැබූවෝ බොහෝය. ඔවුන් හැම දෙනකුම එම සහන හිමිකරුවන් වූයේ ප්‍රේමදාස මහතා දෛනිකව මෙවන් සංවේදී පුවත් සඳහා අවධානය යොමුකිරීම හේතුවෙනි.
භේදයකින් තොරව සියලු මාධ්‍යකරුවන්ට සහන
මාධ්‍යවේදීන් සමගින් මෙවන් සමීපවූ සබඳතාවක් පැවැත්වූ ප්‍රේමදාස මහතා, ඔවුනගේ සේවා මෙහෙවර වර්ධන හා සේවා සුරක්ෂිතතාව සඳහාද නිරන්තරව පියවර ගනු ලැබීය.
මෙයට අමතරව මාධ්‍යවේදීන් මුහුණ දුන් නිවාස ගැටලුව සඳහා ඉතා දීර්ඝ කාලයක සිට තම ශක්ති ප්‍රමාණයෙන් විසඳුම් ලබාදීම ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලදී.
ඔහු විසින් මුල් යුගයේ ඉදිකරනු ලැබූ කොළඹ මාලිගාවත්ත නිවාස ක්‍රමය ඇතුළු සෙසු නිවාස ක්‍රම හැමෙකකම ‘මාධ්‍යවේදීන් සඳහා නිවාස’ වෙන් කිරීමක් සිදුවිය.
මෙලෙසින් ප්‍රේමදාස මහතාගේ සමස්ත ජනතා මෙහෙවර තුළ මාධ්‍යකරුවාට සුවිශේෂ සැලකිල්ලක් දැක්වීමට ඔහු නිරතුරුව කටයුතු කළේය. ඔහුගේ සමස්ත සමාජ මෙහෙවර සමීපව අධීක්ෂණය කිරීමේදී මෙය වඩාත් නිවැරදිව වටහාගත හැකි වේ.
නිරන්තරව තම මෙහෙවර අගය කරන, විවේචනය කරන සහ නිර්පාක්ෂික වූ සියලු මාධ්‍යකරුවන් වඩාත් නිවැරදිව හඳුනාගනිමින්, ඔවුන් සැමට එක ලෙසින් සමීපව කටයුතු කිරීම මෙන්ම, ඔවුන් වෙතින් සැලකිය යුතු පිරිසකට මතකයේ රැඳුණු අනුග්‍රහයක් ලබාදීම ප්‍රේමදාස මහතා අනුගමනය කළ වඩාත් සාධාරණ වූ ක්‍රියාපිළිවෙත යැයි මට හැඟේ.

ලක්විජය සාගර පලන්සූරිය










