කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයෙකු පහර දී සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් සිටිය දී බේරාගත් බව පොලිසිය පවසනවා. මෙම පැහැරගැනීම සිදුකර ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරන් දෙදෙනෙකු විසින් බවයි කියන්නේ. පසුගිය 11 වෙනිදා රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් මෙම දෙදෙනාව අත් අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
කුරුණෑගල, මැල්සිරිපුර පදිංචි 22 හැවිරිදි වියේ වූ තරුණයෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති අතර ඔහු කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක සේවය කළ අයෙක්.
කටුනායක, 18 කණුව, වී මෝළ පාරේ ස්ථානයක දී සුදු පැහැති වෑන් රථයකින් පැමිණි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරුවරු දෙදෙනා තරුණයාට පහර දී වෑන් රථයට දමා ගෙන පළා ගොස් තිබුණා. මේ සිදුවීම දුටු ප්‍රදේශවාසීන් පිරිසක් මේ බව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුවයි මෙම ගැලව ගැනීම සිදුකර ඇත්තේ.
පොලිසිය කඩිනමින් තරුණයා පැහැරගත් ස්ථානයට පැමිණි පසුව එම ස්ථානය අවට ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර පැහැරගත් වෑන් රථය හදුනා ගෙන තිබුණා. පසුව එම රථයේ පැමිණි රියැදුරන් නවාතැන් ගෙන සිටි ආඩිඅම්බලම, පීල්ලවත්ත ප්‍රදේශයේ දෙමහල් කුළී නිවස පොලිසිය විසින් වටලා තිබෙනවා.
එම අවස්ථාවේ පැහැර ගැනීමට ලක් වූ තරුණයාට පහර දී කාමරයක බැද දමා තිබූ බව පැවසෙන අතර මෙම පැහැර ගැනීම සිදු කළ රියැදුරුවරුන් දෙදෙනා හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව පොලිසිය කියනවා.
මෙම පැහැර ගැනීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු 33 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් රියැදුරුවරයා 39 හැවිරිදි හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ තුළ කුළී රථ ධාවන කටයුතු වල නිරත වී සිටින අතර, ප්‍රදේශය පුරා හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක ද නිරත වී සිටින බව පොලිසිය පවසනවා. මෙම හෙරොයින් බෙදාහැරීමේ ජාලයේ සිදු වූ සිදුවීමක් පිළිබඳව, වැරදීමකින් මෙම තරුණයා පැහැරගෙන පහර දී තිබූ බවයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
A5 News Sri Lanka