මොනරාගල කොටියාගල මයිල්ල පර්වතයේ පිහිටි පුරාණ රුහුණු රටට අයත් ලෙන් විහාරයක් ලෙස කොටියාගල මයිල්ල ලෙන් විහාරය හැඳින්විය හැකිය. මෙම විහාරයේ ඇති නටබුන් පරීක්ෂා කිරීමේදී අනුරාධපුර යුගයේ ඉදිකළ විහාරස්ථානයක් බව පෙනීයයි. මොනරාගල පොතුවිල් සියඹලාණ්ඩුව මාර්ගයේ ඇතිමලේ (මහාවංශයේ සඳහන් උරුවෙල නගරය හා වැව කොටියාගල අසල වූ ඇතිමලේ බව හඳුනාගෙන ඇත) හා සැතපුම් භාගයක් පමණ වූ ඇතිමලේ වැව් බැම්ම හරහා කොටියාගල ගම්මානයට පිවිස එතැන් සිට සැතපුම් දහයක පමණ දුරක් ගෙවා ගම්මානය මැදින් වනය හරහා මයිල්ල පර්වත විහාරයට ළගා විය හැකිය. ගමන් මාර්ගයේ දුෂ්කර බව හේතුවෙන් යතුරුපැදියක් හෝ අත්ට්‍රැක්ටරයක් වැනි වාහනයක් භාවිත කිරීම යෝග්‍ය වේ. 1967 වසරේදී පුරාවිද්‍යා ඕවර්සියර් කෙනකු වූ එම්.එච්. මාර්ෂල් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසුව මෙම ලෙන් විහාරය පිළිබඳ ලෝකයට කරුණු අනාවරණ විය.Sri Lanka Latest News
අනුරාධපුර යුගයට අයත් සැතපෙන පිළිම වහන්සේ නමක්, එමෙන්ම අනුරධපුර යුගයට අයත් බිතුසිතුවම් සහ චෛත්‍යක් පැවතීම හේතුවෙන් ශාසනික වශයෙන් වැදගත් ස්ථානයක් වූ මෙම මයිල්ල පර්වත විහාරයේ දැනට ශේෂව ඇත්තේ පුරාණ ගල් ලෙන් පමණි. එහි කටාරම් කොටා තිබෙන අතර දිගින් අඩි 73ක්ද පළලින් අඩි 42ක්ද වන මෙම ලෙනෙහි සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත. එම සැතපෙන පිළිම වහන්සේ අනුරාධපුර යුගයට අයත් බවට ඇතැමුන් මත පළකර ඇති අතර, මයිල්ල පර්වත විහාරයේ පිළිමවහන්සේ ගඩොල්වලින් මූලික හැඩය මතු කර මැටි බදාම ආදිය යොදා නිර්මාණය කර තිබේ. සුදු මකුළු මැටි තට්ටුවක් ආලේප කොට නිමාකර ඇති ඉතා විශිෂ්ට නිර්මාණයක් වූ එහි සිවුර සිරුරට ඇළුණු ආකාරයට දක්වමින් සජීවී කලා ලක්ෂණයන් ගෙන් යුක්තව නිමවා ඇත. අද වනවිට මෙම විහාරයේ පිළිම වහන්සේ විනාශ වී ඇති නමුත් එම පිළිම වහන්සේගේ මුහුණෙන් කොටසකුත් ශරීරයේ උඩ කොටසත් ඉතිරිව තිබේ. ප්‍රධාන ලෙනට බටහිරින් තවත් කුඩා ලෙන් හතරක් පිහිටා ඇත.
මෙම පර්වතය මුදුනෙහි දාගැබක් පැවති බවට සාධක හමුවන අතර, මේ වනවිට නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බැවින් පස් ගොඩක් පමණක් දක්නට ලැබේ. මුල් කාලීන ලක්ෂණ සහිත චෛත්‍යයේ ඡත්‍ර ගල ගැලවී ගොස් පිළිම වහන්සේ ඉදිරියේ වැටී තිබෙනු දක්නට ලැබෙන අතර ගම්වාසීන් වර්තමානයේ එය මල් ආසනයක් ලෙස භාවිත කරයි.
මෙම විහාරයේ ඉතාම වැදගත් අංගයක් ලෙස ලෙන් විහාරයේ වියනෙහි පවතින ඉපැරණි බිතු සිතුවම් දැක්විය හැකිය. ලුසියානෝ මරන්සි විසින් මෙම චිත්‍ර සංරක්ෂණ කර ඇත.
රෝහණයේ ඇති පැරණිම සිද්ධස්ථානවලින් එකක් වන මෙහි චිත්‍ර අයත් වන්නේ අනුරාධපුර යුගයටය. එම සිතුවම් දැඩි සේ විනාශ වී ඇත. ඒවා පිළිබඳ ඇතැමුන් කාල නිර්ණය සම්බන්ධයෙන් විවිධ අදහස් දරන අතර මෙය 3 හෝ 4 සියවස්වලට අයත් බව ඇතැමුන්ගේ මතයයි. තවත් අය මෙය 8වැනි සියවසට අයත් බවට මත පළකරන අතර මයිල්ල පර්වතය පිළිබඳ වැඩිදුර අවධානයක් යොමු වී නොමැත.
මෙහි බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයට ඉහළින් අලංකාර සැරසිල්ලක් දැකිය හැකිය. ඒ සඳහා සාම්ප්‍රදායික කලා මෝස්තර යොදාගෙන ඇති අතර එහි තනි රතු බදාමයක් සහිත පසුබිමේ සුදු පාටින් සැරසිලි මෝස්තර යොදා තිබේ. එක් තැනක වෘත්තාකාර මෝස්තර ද අලියකුගේ රූපයක් ද දැකිය හැකිය. ඒ සඳහා භාවිත කර ඇත්තේ රතු හා සුදු පාට පමණක් වන අතර, එහි තවත් කොටසක උද්‍යානයක් මෙන් චිත්‍රණය කර ඇත. එයින් කියැවෙන්නේ කුමක්ද යන්න නිශ්චිතව සොයාගෙන නැති අතර එහි නෙළුම් මල්, කොළ, පොහොට්ටු ආදිය පිරුණු පොකුණක් දක්වා තිබේ. ඇතුන්, බූරුවන්, මුවන් ආදී සතුන් ද එහි නිරූපිත අතර ඊට නුදුරින් විමානයක් වැනි මණ්ඩපයක් දැකිය හැකිය. ඒ තුළ පුද්ගල රූප කිහිපයක් ද චිත්‍රණය කර ඇත. ඒවායෙන් නිරූපණය වනුයේ බෝධිසත්ත්ව යුවළක් බව ඇතැමුන් ගේ මතය වන නමුත් ඒ මතය තහවුරු කර නැත. ඉතා සියුම් රේඛාවන් ගෙන් විසිතුරු කළ අලංකාර රූප කිහිපයක් තිබෙන අතර සීගිරි අප්සරාවන්ට බෙහෙවින් සමාන රූපයක් දැකගත හැකිය. සීගිරි චිත්‍ර වල මේ වන විට අපට දැක ගත හැකි වන්නේ සීගිරි අප්සරාවන්ගේ උඩුකය රූප වුවත් මෙහි සම්පූර්ණ කාන්තා රූපය නිරූපණය කර තිබීම විශේෂත්වයකි. මෙම විහාරයේ ඇති චිත්‍රවල අනෙක් වැදගත් කරුණ නම් ශීර්ෂාවරණය, ඔටුන්න, ග්‍රීවාබරණ, හස්තාභරණ, වස්ත්‍ර ආදියේ ඇති සියුම් නොකැඩුණු රේඛාවලින් චිත්‍රණය කර තිබීමයි. එමගින් කලා කරුවාගේ ප්‍රතිභාව මැනැවින් පෙන්නුම් කෙරේ.
මෙම විහාරය කිසිවකුගේ අවධානයට ලක් නොවීම හේතුවෙන් කැලෑවට යටවී ගොස් ඇති අතර නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක්වීම හේතුවෙන් සියලු ඉදිකිරීම් විනාශයට පත්ව තිබේ. මයිල්ල පර්වත විහාරය පිහිටා ඇති කොටියාගල ගම පසුගිය කාලයේ දී විවිධ ත්‍රස්ත උවදුරුවලට ලක්වුණු ගම්මානයක් වන අතර, හේන් ගොවිතැන ජීවන උපාය කරගත් සිංහල බෞද්ධ පවුල් කිහිපයක් ඵමණක් දැනට මේ ගම්මානයේ ජීවත් වේ.
කාලයේ වැලිතලාවෙන් වැසීගොස් ඇති මෙවැනි පෞරාණික වටිනාකමකින් යුත් සිද්ධස්ථාන හැකි ඉක්මනින් සංරක්ෂණය කොට අනාගත පරපුරටත් දායාද කිරීමේ වගකීම අප සතුව පවතී. එබැවින් මේ පිළිබඳ ඔබේත් මගේත් යුතුකම ඉටුකිරීමට අප්‍රමාදී වීම සම්බුද්ධ ශාසනය තවත් චිරාත් කාලයකට මෙසිරිලකෙහි ආරක්ෂා කරගැනීමට කරන්නා වූ මහඟු මෙහෙයක් වනු ඇත.










