සිංහල, දෙමළ ආදී වශයෙන් ජාති බේදයක් නොමැතිව ශ්‍රී ලංකාවෙ සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසනවා.Sri Lanka Latest News
ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්ත සඳහා වසර 200කට පෙර තලෙයිමන්නාරම හරහා වතුකරයට ගෙන ආ මලෛයහ ජනතාවට නිවාස, ඉඩම් ඇතුලු සියලුම සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බවයි උන්වහන්සේ කියන්නේ.
ඉන්දියාවේ සිට වසර 200කට පෙර වැවිලි කර්මාන්ත සඳහා තලෙයිමන්නාරමේ සිට මාතලේට ගෙන ආ සහෝදර ජනතාවගේ ගමන සිහි කරමින් තලෙයිමන්නාරමේ සිට මාතලේට පාගමනින් පැමිණෙන පිරිස මිහින්තලේ මංසන්ධියේ දී පිළිගනිමින් වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ ඒ බව කියා තිබුණා.
ජූලි 28 වැනිදා තෙලයිමන්නාරමේ දී සමාරම්භක සිහිකිරීම පැවති අතර ජූලි 29 වැනිදා ආරම්භ කළ පාගමනේ 09 වැනි දිනය අද වන අතර අද උදෑසන මැදවච්චිය ප්‍රදේශයෙන් ඇරැඹි දහවල් මින්තලේ ප්‍රදේශයට ළඟා වී තිබෙනවා. ‘මාන්ඹුමිගු මලෛයහ මක්කල්’ පා ගමන කිලෝමීටර 22ක් දුර එද්දී රඹෑව ප්‍රදේශී ලේකම් කාර්යාලයෙන් සහ විහාරස්ථාන ඇතුලු ස්ථාන කිහිපයකින් පිළිගෙන සංග්‍රහයන් ලබා දී තිබුණා.
පාගමනේ අද දින ගමනාන්තය වන මිහින්තලේදී මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි, මිහින්තලේ ශාන්ත අන්තෝනි පල්ලියේ එච්. බෙනට් පියතුමා, මව්ලවිවරු ඇතුළු ආගමික නායකයෝ ද, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු සිවිල් ක්‍රියාධරන් පිරිසක් විසින් පිළිගනු ලැබුවා.
“දේශපාලනඥයන් අපි අතර අසමගිය ඇති කළා. කුලවාද ඇති කළා. ආගම් බේද ඇති කළා. අපි හැමෝම ගිහි පැවදි විතරයි. වෙන කවුරුත් නෑ. කොයි කුලෙත් එකයි. කැපුවොත් රතු ලේ. දෙමළ සිංහල මුස්ලිම් පාසල් වෙනම හැදුවා අපිව වෙන් කරන්න. හරියට ලිප්ගල් තුනක් වගේ. ඒ සිංහල, දෙමළ සහ මුස්ලිම් කියන ලිප් ගල් තුනේ තමයි දේශපාලකයො උයන්නේ. අපට එකතු වෙන්න දෙන්නෑ.
මම කියන්නේ සිංහල දරුවො දෙමළ ඉගෙන ගන්න ඕනෑ. දෙමළ මුස්ලිම් දරුවො සිංහල ඉගෙන ගන්න ඕනෑ. අපි සමගි වුණොත් ඔවුන්ට කරගෙන යන බිස්නස් එක නතර කරන්න වෙනවා. අපි දෙමළ, සිංහල, මුස්ලිම් කියලා කොටවලා බලය ගන්න දේශපාලනඥයො දඟලයි. ඒක වෙන්න දෙන්න එපා. කලින් එහෙම වුණා. ආයේ ජාති, ආගම් බේද ඇතිවෙන්න දෙන්න එපා. හැමෝටම සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි” යයි මෙම පා ගමන පිළිගැනීමේ අවස්ථාවේ දී අදහස් දැක්වූ මිහින්තලේ රජමහා විහාරාධිපති පවසා තිබෙනවා.










