සාමකාමී විරෝධතාවලට සහභාගී වීමට සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට අපේ පුරවැසියාට ඇති අයිතියට සහය පළ කරමින් ලංකාවේ ලොකුම ඇඟලුම් ආයතනයක් වන MAS සමාගම නිවේදනයක් නිකුත් කළේය.
එමෙන්ම සිදුවන සිදුවීම් සැලකිල්ලට ගනිමින්, වත්මන් ආර්ථික හා සමාජ අර්බුදය සාමකාමීව සහ තිරසාර ලෙස විසඳීමට ඉක්මන් හා තීරණාත්මක ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවයද MAS ආයතනය නැවත අවධාරණය කර ඇත.
එම නිවේදනය මෙසේය.
වගකිවයුතු සංවිධානයක් ලෙස, වෙනසක් සහ යහපාලනයක් සඳහා වන ඉල්ලීමට අපි කොන්දේසි විරහිතව සහාය දෙන අතර, නීතිමය සහ ව්‍යවස්ථාපිත නියමිත ක්‍රියාවලියට ගරු කරමින් ජනතාවගේ හඬට අවනත වී ඒ අනුව ක්‍රියා කරන ලෙස ජාතියේ නායකයින්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමු.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ සේවා යෝජකයා සහ අපනයනකරු ලෙස, MAS ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා අපගේ කාර්යභාරය දැඩි ලෙස දනිමු. මේ සඳහා, අපගේ 92,000ක් ආශ්‍රිතයන්ගේ, ඔවුන්ගේ පවුල්වල සහ රටෙහි ජීවනෝපාය ආරක්ෂා කිරීම සඳහා අපගේ කැපවීම් බාධාවකින් තොරව අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට අපි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
ඇඟලුම් කර්මාන්තය අපගේ ඉතිහාසයේ බොහෝ කැලඹිලි සහිත සහ තීරණාත්මක සංධිස්ථාන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වී ඇත. එක්ව, අපට මෙම අර්බුදය ජය ගත හැකි බවත්, අපේ රට වඩා හොඳින් ගොඩ නැගීමට කල්පවත්නා වෙනසක් ඇති කළ හැකි බවත් අපට විශ්වාසයි.
සෑම විටම මෙන්, අර්බුදයෙන් වඩාත් අහිතකර ලෙස පීඩාවට පත් වූවන්ට සහය වෙමින් අපගේ සමාජ සත්කාර වැඩසටහන් හරහා මෙම දුෂ්කර කාලය තුළ දීප ව්‍යාප්ත අපගේ ප්‍රජාවන්ට MAS සහාය දක්වයි.
සියලුම ශ්‍රී ලාංකිකයින්ට – ආරක්ෂිතව සහ ශක්තිමත් වන්න.
වෙනස් කිරීමට ධෛර්යය.










