එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් රජයේ අගමැති ධුරයට පත්කරන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සමගි ජන බලගේවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එක් පාර්ලිමේන්තු ආසනයක් හිමි පුද්ගලයකු අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ නොහැකි බවයි. එසේම වාමාංශික දේශපාලනඥයන් වන විමල් වීරවංශ ඇතුළු පාර්ශ්ව සමග එක්ව කටයුතු කිරීමට වික්‍රමසිංහ මහතාට නොහැකි බවද මරික්කාර් මහතා පෙන්වා දෙනවා.
අද (29) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මරික්කාර් මහතා මේ අදහස් පළ කළා.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වන බවට වන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල පළකරමින් විවිධ පාර්ශ්ව ජනතාව නොමඟ යවමින් සිටින බව පවසන මරික්කාර් මහතා පෙන්වා දෙන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාද එවැනි පුවත් නිර්මාණ කිරීමේ දක්ෂයකු බවයි.
වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැනුම සහ දේශපාලන අත්දැකීම් උපයෝගී කරගනිමින් වර්තමානයේ රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩගැනීම උත්සාහ කිරීම පිළිබඳවද එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මරික්කාර් මහතාගෙන් විමසා සිටියා.
එහිදී මරික්කාර් මහතා සඳහන් කළේ හතර වතාවක් අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාට, තමාගේ ආර්ථික දැනුම සහ දේශපාලන දැනුම භාවිතයෙන් රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි වූ බවයි. එවැනි තත්ත්වයක් තුළ ඔහු නැවත අගමැති ධුරයට පත්කිරීමක් ගැන අසත්‍ය පුවතක් නිර්මාණය කරමින් ජනතාවගේ අදහස් වෙනත් දිශාවකට යොමුකිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවද එස්.එම්. මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.










