උදාවෙන්නේ මාර්තු මාසය. දැන් පෙබරවාරි මාසය ඉවරයි. මාර්තු මාසය උදාවෙනකොට අපි කලබල වෙන්න ඕනෙද? ඔව්, මාර්තු මාසය උදාවෙනකොට අපි කලබල වෙන්න ඕනේ. රටක් විදිහට මාර්තු මාසය කියලා කියන්නේ අපිට මුහුණ දෙන්න තියෙන බරපතළ අර්බුදයක් ගැන මාසයක්. ඒ තමයි විදුලි අර්බුදය. ඔබට මතක නම් ගෝඨාභය රාජපක්ෂ පැය 13ක් විදුලිය විසන්ධි කිරීමේ තීරණය අරගෙන සම්පූර්ණයෙන්ම ගෙදර යන තැනටම මේ දේශපාලන ව්‍යාපාරය වෙනස් කරගන්නේ මාර්තු මාසයේ. මාර්තු මාසයේදී විදුලි නිෂ්පාදනය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් රට ඇතුළේ නිර්මාණය වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට කලින් සඳහන් කරන්නේ ජල විදුලිය ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය කරන්න මාර්තු මාසයේදී බැරිවෙන එක. මේ ජල විදුලිය ක්‍රමවත්ව නිෂ්පාදනය කිරීම ආරම්භ වෙන්නේ ආයෙත් අප්‍රේල් මාසයේ වැටෙන වැස්සත් එක්ක.Sri Lanka Latest News
මාර්තු මාසය වෙද්දී සාමාන්‍යයෙන් තිබුණු සම්ප්‍රදාය තමයි පෙබරවාරි මාසයේදී වැහි නැති තත්ත්වයකට මුහුණ දෙමින් සාමාන්‍යයෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන විදුලියට සහාය දක්වන ජලාශවල ජලය පහළ වැටෙනවා. ඒත් එක්කම එම ජලාශවල තියෙන ජලය ජලාශවලින් නිකුත් කිරීම ප්‍රමාණාත්මකව අඩුවෙන්න නියමිතයි. එහෙම අඩු වුණාට පස්සේ විදුලි අර්බුදයක් නිර්මාණය වෙනවා රට ඇතුළේ. එතකොට තමයි පැයක්, දෙකක්, තුනක්, හතරක් සමහර වෙලාවට පහක් හයක් කරන්ට් එක කපන්න සිද්ධ වෙන්නේ.
දැන් වාසනාවට මේ වසරේදී එහෙම ප්‍රශ්නයක් අපිට දකින්න ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම උඩරටට යම් වර්ෂාපතනයක් වාර්තා වෙනවා. ඉස්සර අපේ ගම්වල මිනිස්සු කිව්වේ ‘නවම් හර නව මෝලක් වැටෙනවා’ කියලා. ඒ කියන්නේ නවම් මහේ වැහි නැති කාලගුණයත් එක්ක වියළි දේශගුණයට මුහුණ දීලා පොල්අතු නවයක් වැටෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ වැස්ස නැහැ, වතුර නැහැ. ඒ නිසා මේ අර්බුදය නිර්මාණය වෙනවා කියලා. කොහොම වුණත් මේ වසරේදී නම් පොළොන්නරුවට, අනුරාධපුරයට ඒ වගේම උඩරට ප්‍රදේශවලට යම් වර්ෂාපතනයක් වාර්තා වුණා. ඒ නිසා විදුලි අර්බුදය එතරම්ම දරුණුවට දැනෙන එකක් නැහැ කියලා අපිට හිතාගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා.
හැබැයි මාර්තු පළමුවැනිදා වෙනකොට ලංකාවේ දකුණු අප්‍රිකාවෙන් ගෙනාපු ගල් අඟුරු අවසන් වෙනවා. මේ අර්බුදකාරී ගල් අඟුරු තොගය විදුලි නිෂ්පාදනයට ලක්විජය බලාගාරය තුළදී පාවිච්චියට පටන් අරගන්නේ මාර්තු මාසයේ පළමුවැනිදායින් පස්සේ කියලා තමයි ‘මව්රට’ අපිට දැනගන්න ලැබුණේ. මාර්තු පළමුවැනිදායින් පස්සේ මෙන්න මේ ප්‍රමාණාත්මකව අගයෙන් අඩු යැයි කියන මේ ගල් අඟුරුවලින් නිෂ්පාදනය කරන විදුලියේ ප්‍රමිතිය සහ අඛණ්ඩතාව කුමන ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියලා අපිට යම් තැතිගැන්මක් දැනෙනවා.
ඒකෙ තියෙන තවත් බරපතළ ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවට එම අර්බුදය නිර්මාණය වුණොත් ආයෙත් මුහුණ දෙන්න වෙන්නේ පරණ පුරුදු ඩොලර් අර්බුදයටම තමයි. ඒකට හේතුව මේ රටේ පවතින ඩීසල් හිඟය. අපිට ඩීසල් නැහැ. අපිට ඩොලර් විදිහට ඩීසල් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ රටේ බලාගාර විශාල ප්‍රමාණයක් අපි පවත්වාගෙන යන්නේ ඩීසල් බලාගාර විදියට. අපි දන්නවා අවසාන වශයෙන් ලංකාවේ ඩීසල් බලාගාර විවෘත කළා. ඒස් ඇඹිලිපිටිය වගේ බලාගාර, ඒවට රජයේ අනුමැතිය ලබාදීම පවා ප්‍රශ්නගතයි සමහර අවස්ථාවලදී. නමුත් ඒවා ඒ විදිහටම සිද්ධ වුණා කිසිදු ගැටලුවකින් තොරව.
දැන් නිර්මාණය වෙන්න යන්නේ මෙන්න මේ අර්බුදය. ඒ නිසා මාර්තු පළමුවැනිදා තීරණාත්මකයි. අපි බලාගෙන ඉන්නවා. අපි විශ්වාස කරනවා, අපි දන්නවා මේ වෙනකොට යම් යම් කණ්ඩායම් විවිධ මත පළකරමින් ඉන්නවා. සමහර වෙලාවට විදුලි ඉංජිනේරුවන් පවා අපිට පේනවා දෙපැත්ත බෙදිලා එක එක කතාන්දර කියන ආකාරය. විදුලි ඉංජිනේරුවන්ට ප්‍රකාශ දෙකක් තියෙන්න විදිහක් නෑ. හොඳ නම් හොඳයි නරක නම් නරකයි. හොඳ සහ නරක කියලා අගයන් දෙකක් ඇත්තටම පවතින්න විදිහක් නෑ.
නමුත් දැන් විදුලි ඉංජිනේරු එක් කණ්ඩායමක් කියනවා ලක්විජය බලාගාරයට කාලයක් තිස්සේ මේ විදිහට ප්‍රමිතියෙන් තොර විදුලිය පාවිච්චි කරලා නෑ ඒගොල්ලෝ, ඒ නිසා ඒගොල්ලන්ට මේක අර්බුදයක් බවට පත්වෙන්න නියමිතයි කියලා. තවත් කණ්ඩායමක් පෙට්‍රල් සම්බන්ධ උදාහරණයක් අරගනිමින් කියනවා ප්‍රමිතිය මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ කියලා. අපි දන්නෑ කොයිදේ හරිද කොයිදේ වැරදිද කියලා අපි ඉංජිනේරුවෝ නෙමෙයි අපිට ඉංජිනේරුමය දැනුමක් නෑ. ගල් අඟුරු සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා ඇති කියලා අපිට යම් විදිහකට හිතෙනවා මේ රටේ විවිධ අය කියන තර්කික කාරණා එකිනෙක අධ්‍යයනය කරලා බැලුවම. නමුත් ගල් අඟුරු කියලා කියන්නේ අපි හොඳාකාරවම දන්න කාරණය. අපි පිටරටින් ගේන දෙයක්. ඒ නිසා ඒවා ප්‍රමිතියක් විදිහටයි. එහෙම නැතුව කොහේ හරි තියෙන එකක් අරන් ඇවිල්ලා ඒවා හිතුවක්කාර විදිහට පාවිච්චි කරන්න කාටවත්ම බෑ.
අපි දැක්කා එක් තැනකදී රජයේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙක් වෙච්ච ලාල්කාන්ත මහත්තයත් යම් කාරණයක් මතු කරනවා ගල් අඟුරු සම්බන්ධව. ඔහු කියන්නෑ ගල් අඟුරු සියයට සියයක් හොඳයි ප්‍රමිතිගතයි කියලා. ඔහු කියනවා යම් ගැටලුවක් තියෙනවා වෙන්න ඇති වගේ එක කතාවක්. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා මාර්තු පළමුවැනිදා අතිශය තීරණාත්මකයි. මාර්තු පළමුවැනිදායින් පස්සේ ලංකාවට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අර්බුදයකටද කියන එක ගැන අපි බලාගෙන ඉන්නවා.
මාර්තු මාසය හැම වෙලාවකම විදුලිය සම්බන්ධව අතිශය තීරණාත්මක කාලයක්. 2019 ආණ්ඩුව පෙරළෙන්න බලපාපු විශාලතම පෙරළිය වෙන්නෙත් මාර්තු මාසය. ඒකට බලපාන්නේ මාර්තු මාසයේ විදුලිය විසන්ධි කිරීමත් එක්ක. පැය 13ක විදුලි විසන්ධියකට රට එකවර යනවා. ඒත් එක්කම තමයි මාර්තු 08 වැනිදා මිරිහානේ ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිටට ඇවිල්ලා මිනිස්සු අරගල කරන්න පටන් ගන්නේ, කෑගහන්න පටන් අරගන්නේ. අපි කියන්නෑ එහෙම දෙයක් වෙනවා කියලා. එහෙම දෙයක් විය යුතුයි කියලත් කියන්නෑ. අරගලවලින් සහ අර්බුදවලින් මහ පාරේ ගැටලු විසදන්න බෑ. නමුත් මේ වෙලාවේ මේ විදුලි අර්බුදය සම්බන්ධව වඩාත් උනන්දුවෙන් දේශපාලනික නොවන කෝණයකින් බලලා කටයුතු කරනවා නම් තමයි වඩා හොඳ.
විශේෂයෙන්ම විදුලි ඉංජිනේරුවන්ටත් අපි ඒක මතක් කරනවා. ඔබේ රාජකාරිය විදුලිය ලබාදීම, ඔබේ වෘත්තිය සහ ඔබේ හැකියාව ඔබේ පරිචය පාවිච්චි කළ යුත්තේ විදුලිය අඛණ්ඩව නිෂ්පාදනය කිරීමට මිසක් ආණ්ඩුවට හෝ පක්ෂයකට හෝ කණ්ඩායමකට කඩේ යන්න නෙමෙයි කියලයි අපි ඔබට ආදරයෙන් කියන්නේ.

ජීවන පහන් තිළිණ










