තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය සතියේදී බාරදී ඇත. (Sri Lanka Latest News)
මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් මෙන්ම කනිෂ්ඨ මන්ත්‍රීවරුද ඇතුළත් වෙති.
මේ සම්බන්ධයෙන් අප කතානායකවරයා මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊයේ (28)කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ලිපිය තමා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බවයි.
මෙම වාහන බලපතේ ගැටලුව විසඳීම තමාට තනිව තීරණය කළ හැකි කාරණයක් නොවේ යැයිද ඔහු සඳහන් කළේය.
එසේම මෙම කාරණය ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයටද ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ඉල්ලීමේ යෝජනාව පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීද සාකච්ඡා කර ඇත. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඊට විරුද්ධත්වය පළ කර ඇතැයි දැනගන්නට ඇත.
රට ආර්ථික වශයෙන් අගාධයක සිටින මොහොතක මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් සාමාන්‍ය රජයේ සේවකයන්ට ලබාදෙන ආකාරයේ වාහන බලපත්‍රයක් ලබාදීම පමණක් සලකා බැලිය හැකි බවත් මෙහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී තිබිණ.