ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. Sri Lanka Latest News
දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වී තිබේ.
පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මෙම සුහද සාකච්ඡාවේදී කියුබානු තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබුණි.
එමෙන්ම ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ ප්‍රශංසා කර ඇති මෙරට කියුබානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කියුබාව සූදානමින් සිටින බව ද ප්‍රකාශ කළ බව සඳහන් ය.
එමෙන්ම, ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව ඔහු මෙහිදී සහතික විය.
ඩෙංගු උවදුර මර්දනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ මෙහිදී පෙන්වා දුන් මෙරට කියුබානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළේය.













