මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් වර්ෂයේ දී (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,033ක් වු අතර, එය මෙහෙයුම් අදායමට වඩා විසිහය ගුණයක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.Sri Lanka Latest News
ඉකුත් වර්ෂයේ දී මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති පාඩුව රුපියල් මිලියන 22,214කි. මේ සඳහා විදේශ විනිමය අලාභය ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් වර්ෂ 06 තුළ (2017 සිට 2022) මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති අලාභය රුපියල් මිලියන 42,818ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙම ගුවන්තොටු පළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාවය මිලියනයක් පමණ වුවද ඉකුත් වසර 06 තුළම මත්තල ගුවන්තොටුපල හරහා ගමන්කොට ඇති මුළු ගුවන් මගින් සංඛ්‍යාව 103,324ක් බව විගණනය කියයි. වසර 06ටම සිදුකළ මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,612කි.
ගුවන්තොටුපල ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 36,564ක වියදමක් දරා ඇති අතර, එම මුදල පලදායි ලෙස භාවිත කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ගුවන්තොටුපළේ ඉදිකිරීම් සඳහා ලබාගත් ඩොලර් මිලියන 190ක ණය සදහා වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලියන 1,842ක මුදලක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් ගෙවා තිබුණි.
මෙම තොරතුරු සදහන් වන්නේ ගුවන්තොටුපළ සහ ගුවන්සේවා පුද්ගලික සමාගමේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.








