රටට බත සපයන ගොවියට දිගින් දිගට ම වත්මන් රජය පහර පිට පහර ගහන මොහොතක කෘෂිකර්ම ඇමතිවරයා විසින් අද සමහරු වී රු. 150ට ඉල්ලන බවට ප්‍රශ්න කරන බවත් වී කිලෝවට රු. 150ක සහතික මිලක් ලබා දෙන බවට පසුගිය මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කකා කිව්වේ වත්මන් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා බවත් කෘෂිකර්ම ඇමතිවරයා විසින් ගොවියාට තනියම රජවෙන්න බැරි බව දැන් කිව්වත් එදා විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ ගොවියා රජකරවනවා කියා රට පුරා රැස්වීම් පවත්වා ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවගේ ඡන්ද ලබා ගෙන බලයට පැමිණි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
අදක්ෂ අකාර්යක්ෂම දුර්වල වැඩබැරි මේ රජයට ගොවි ජනතාවගේ වගා කටයුතු සඳහා අවශ්‍ය ගුණාත්මක පොහොර සේම, පොහොර සහනාධාරය නිසි පරිදි ලබා දීමට නොහැකි වී ඇති බවත් අද වෙළෙඳපොළේ ගොවි උපකරණ මිල ඉහළ යාම, කෘමි නාශක නොමැති වීම හා මිල ඉහළ යාම, ගුණාත්මක බීජ නොමැති වීම සේම අලි මිනිස් ගැටුම ඇතුළු වන සත්ත්ව ගැටුම් මැද ගොවි ජනතාව සිය කණ කර උගස් කර ගොවිතැන් කළත් අද ගොවිතැනට වැයවන වියදමට සරිලන ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ තරම් දුෂ්කරතා රැසකට මුහුණ දෙන ගොවියා රජකරවන්න රජයට නොහැකි වී ඇති සේම වුවමනාවක්ද නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රජය කළේ ගොවියා රජ කරවනවා වෙනුවට කුඹුරට බැස ගොවියා රවටා ජන්දය ගෙන ජනාධිපතිකම් අගමැතිකම් හා මැතිඇමතිකම් ලබා ගෙන රජවීම බවත් මෙවැනි විනාසයක් ගොවි ජනතාවට කරන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මාධ්‍ය මේ ගැන ප්‍රශ්න කරන විට කැමරාව වහන්න කෘෂිකර්ම ඇමතිවරයා කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂයේ සිටින විට කැමරා සොය සොයා මාධ්‍යවේදීන් සොය සොයා ගොස් ගොවියා ශක්තිමත් කරන බව පැවසුවත් අද ගොවියා කසිප්පුකාරයා වී කෘත්‍රිම ගොවියා වී ඇති බවත් රජය මේ යන්නේ වැරදි මාර්ගයක බවත් ගොවියාට අපහාස කරන්න කරන්න රජයේ දේශපාලන ආත්මය විනාශ වන බවත් මෙය ජනතාව ලබා දුන් විශ්වාසය කඩ කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම ගොවියාට අපහාස නොකර ගොවියාට පොරොන්දු වූ දේවල් කරන ලෙසත් වී සඳහා රු.150ක සහතික මිල නීතියක් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද ගොවියා රජකරවන යුගය ඇත්තටම බිහි කරන්නේ සමගි ජන බලවේගය බවත් ගොවියාගේ සැබැ දුක හදුනා ගෙන ගොවි ගැටලුවලට නියමිත විසදුම් ලබා දෙන බවත් රජයට නොහැකි නම් ඒ වගකීම සමගි ජන බලවේගය බාර ගෙන ගොවියාට සේම ජනතාවට සුඛිත මුදිත රටක් ගොඩනගන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










