පුංචි ඡන්දයේ පරාජය ගැන මාලිමාව ඇතුළේ ලොකු විග්‍රහයක්!
පළාත් සභා ඡන්දය ලබන අවුරුද්දට කල් දමයි!
ඡන්ද දිනන්න මෙහෙම ගියොත් බෑ!
එංජිමේ වෙනස
මාලිමා ආණ්ඩුව ඇතුළේ මාලිමාවත්, ජවිපෙත් අතර ගැටුමක් මෝදු වෙමින් පවතින බව ‘රාජ්‍ය රහස්’ තීරය පළමු වරට රටට අනාවරණ කළේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට සති 3ක් ඉක්ම ගිය තැනය. ඒ වනවිටත් මාලිමා ආණ්ඩුව ඇතුළේ මෝදු වෙමින් තිබූ යම් යම් මතගැටුම් රටට අනාවරණ කරමින් අප කියා සිටියේ නුදුරේදීම මෙම ගැටුම පුපුරා යෑමේ අවදානමක් ඇතැයි කියාය. අප කී එම අනාවැකිය තහවුරු කරමින් මීට මාසයකට පමණ ඉහතදී ආණ්ඩුවේ ප්‍රබලතම අමාත්‍යවරයා වශයෙන් සැලකෙන බිමල් රත්නායක මහතා රාජ්‍ය මාධ්‍ය වෙත පැමිණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා සමග කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිම වෙනස් කිරීමට කාලය පැමිණ ඇතැයි කියාය. තමාගේද ඇතුළුව අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් සිදුකිරීමට ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව කී බිමල්, ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් විය හැකි බවද එහිදී සඳහන් කර සිටියේය. මෙහිදී බිමල් නොකියා කීවේ අගමැති හරිනි අමරසූරියගේ තනතුරද බොහෝ දුරට වෙනස් වීමේ ඉඩක් මතුව ඇති බවකි. බොහෝ දෙනා බිමල්ගේ මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය දුටුවේ ආණ්ඩුව ඇතුළේ මාලිමාව සහ ජවිපෙ අතර ඇති මතගැටුම ප්‍රසිද්ධියේම එළියට පැන්න අවස්ථාවක් ලෙසටය. මීට අමතරව ජවිපෙට 60 වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයාද ප්‍රසිද්ධියේම කියා සිටියේ ආණ්ඩුව ඇතුළේ විවිධ කව ඇති බවත්, ඇතැමුන් ජවිපෙ ඉතිහාසය අමතක කොට ගමනක් යායුතු බවට යෝජනා කරන බවත්ය. එසේ වුවද ජවිපෙ ඉතිහාසය අමතක කොට ඉදිරියට යෑමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය. එකල ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයද බොහෝ දෙනා දුටුවේ ජවිපෙ සහ මාලිමාව අතර ඇති මතගැටුමේ එක් අවස්ථාවක් ලෙසටය.Sri Lanka Latest News
කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇන්ජිම වෙනස් කරන බවට ඇමැති බිමල් රත්නායක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට දින කීපයක් ගතවීමට මත්තෙන් ආණ්ඩුවේ තවත් ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු වූ සුනිල් හඳුන්නෙත්තිත්, නලින්ද ජයතිස්සත් ප්‍රසිද්ධියේම මාධ්‍ය ඉදිරියට පැමිණ කියා සිටියේ කිසිදු අයුරකින් අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් සිදු නොවන බවත්, අවම වශයෙන් එවැනි සාකච්ඡාවක් හෝ ආණ්ඩුව ඇතුළේ සිදුව නොමැති බවත්ය. හඳුන්නෙත්තිගේත්, නලින්ද ජයතිස්සගේත් මෙම ප්‍රකාශයන් බොහෝ දෙනා දුටුවේ පැහැදිලිවම බිමල් රත්නායකට ලබාදුන් පිළිතුරු ලෙසටය. ඒ අනුව මාලිමාව හා ජවිපෙ අතර පමණක් නොව, හරිනි මුල් කරගෙන ජවිපෙ ඇතුළේත් ගැටුමක් පවතින බව මේ ප්‍රකාශ හරහා පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
මේ ආකාරයට හරිනි මුල් කරගෙන ආණ්ඩුව ඇතුළේ ලොකු මතගැටුමක් මතුව ඇති ආකාරයක් එළියට දැකගන්නට පැවැතියදී ජනාධිපතිවරයා තීරණය කොට තිබුණේ ඉකුත් මස තුන්වැනි සතියේ ආරම්භ වූ පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටය. මෙම ප්‍රකාශයේදී අගමැති හරිනි සම්බන්ධයෙන්ද විශේෂ සඳහනක් කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද දැනගන්නට ලැබිණි. ඒ අනුව අපද එම පුවත ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට කටයුතු කළෙමු. කෙසේ වෙතත් තුන්වැනි සතියේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිය පාර්ලිමේන්තු අසුනේ අසුන් ගත්තද කිසිදු විශේෂ ප්‍රකාශයක් කිරීමට කටයුතු නොකළේය. ව්‍යවස්ථානුකූලව මාස තුනකට වරක් හෝ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය යන වගන්තියට අනුව ජනාධිපතිවරයා එදින පාර්ලිමේන්තුවට පැමිණි ආකාරයක් ඒ අනුව දැකගත හැකි විය.
අනුර නිහඬ වුණේ ඇයි?
ඒ අනුව ජනාධිපතිවරයා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රකාශය සිදු නොකළේ ඇයි? ජවිපෙ සහ මාලිමාව අතර පැවැති මතගැටුම දෙපාර්ශ්වය විසින් සමතයකට පත්කරගත් නිසාද? මේ කිසිවක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් කිසිදු පාර්ශ්වයකින් වාර්තා කොට නොමැත.
කෙසේ වෙතත් එවැනි පසුබිමක් පැවැතියදී ඉකුත් සති අන්තයේ නැවතත් ජවිපෙට සම්බන්ධ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වර්තා කොට තිබුණේ පසුගිය සඳුදා දිනයේ පැවැති විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවකි. බොහෝ දෙනා සිතා සිටියේ ඉකුත් මස තුන්වැනි සතියේ පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සිදු නොකළ විශේෂ ප්‍රකාශය මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී බොහෝ දුරට සිදුකරනු ඇති බවකි. ඒ අනුව පසුගිය සති අන්ත පුවත්පතේ විශේෂ පුවතක් ලෙස අප එම පුවතද වාර්තා කිරීමට පියවර ගත්තෙමු. නමුත් ජනාධිපතිවරයා එදින පාර්ලිමේන්තුවට හෝ නොපැමිණීම විශේෂ සිදුවීමක් විය.
සඳුදා ආවේ නෑ
ඒ අනුව සඳුදා දිනයේදී අඩුම තරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට හෝ නොපැමිණීමට පියවර ගත්තේ ඇයි? බොහෝ දෙනා සැක මතුකරන්නේ කිසිවකුත් නොසිතූ ආකාරයට සභා වාරය ආරම්භ වී මොහොතක් ගතවීමෙන් පසු සජබ මන්ත්‍රීවරයකු වූ මුජිබර් රහුමාන් මහතා හදිසියේම පත්තු කළ දේශපාලන බෝම්බය ඊට හේතුව යැයි කියාය. ඒ ආකාරයට මුජිබර් පාර්ලිමේන්තුව හමුවේ පත්තු කළේ එසේ මෙසේ දේශපාලන බෝම්බයක් නොව, ආණ්ඩුව පවා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආකාරයේ දේශපාලන බෝම්බයකි. එනම්, වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කිසිදු පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බව කියන කන්ටේනර් බහාලුම් 323 සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව භාරදුන් අවසන් වාර්තාවය. මීට දින ගණනාවකට ඉහතදී මෙම කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට එය සකස් කළ කමිටුව කටයුතු කොට තිබුණද, අවම වශයෙන් එය භාරදුන් බවක් හෝ එහි සඳහන්ව ඇති කරුණු මොනවාදැයි කියා හෝ ආණ්ඩුව පැත්තෙන් කිසිදු වචනයක් පිටවී තිබුණේ නැත. නමුත් මීට සති දෙකකට පමණ ඉහතදී ආණ්ඩුවේ මුදල් කාරකසභාව හමුවේ පැවැති සාකච්ඡාවකදී රේගු කොමසාරිස්වරයකු මුදල් කමිිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී තිබුණේ අදාළ කමිටු වාර්තාව සකස් කිරීම අවසන් අදියරේ පවතින බවත්, ඉදිරි දින කීපය ඇතුළත එම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව ඇති බවත්ය. ඒ අනුව අදාළ වාර්තාව ආණ්ඩුවට භාරදී තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ආණ්ඩුව පැත්තෙන් එළියට ආ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
මේ ආකාරයට රහසිගතව පැවැති වාර්තාවක් මුජිබර් රහුමාන් හදිසියේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හරහා එක්වරම ආණ්ඩුව කැලඹී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව යම් හෙයකින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියහොත් මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහුටද ඊට පිළිතුරු ලබාදීමට සිදුවනු ඇති නිසා ජනාධිපතිවරයා එය මගහැරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුවට නොපැමිණි බවක් බොහෝ දෙනාගේ අදහස වී තිබිණි. එසේත් නොමැති නම් ජනාධිපතිවරයා කිරීමට සූදානම් වෙමින් සිටින විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ යම් මතගැටුමක් නැවත වතාවක් මතුවීම ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ගමන ආපසු හැරවීමට සමත් වූවාදැයි සැක සහිතය.
තවත් අර්බූදයක්
මීට අමතරව සඳුදා දිනය වනවිට තවත් අලුත් අර්බුදයකට ආණ්ඩුව මුහුණ දී සිටියේය ඒ, නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් හිස් වූ මන්ත්‍රී ආසනයට නියෝජිතයකු පත්කිරීම මුල් කරගෙනය. හර්ෂණ සූරියප්පෙරුම මාලිමාව නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයකු වීම නිසා මාලිමා ප්‍රධානීන් ජවිපෙට දැනුම් දී තිබුණේ එම පුරප්පාඩුවට මාලිමාව නියෝජනය කරන ජාතික ලැයිස්තුවේම සිටින අයකු පත්කළ යුතු යැයි කියාය. නොඑසේ නම් හර්ෂණ සූරියප්පෙරුම වැනිම වූ ආර්ථික විශේෂඥයකු එම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයට පත්කළ යුතු යැයි කියාය.
මාලිමාව මේ ආකාරයෙන් හර්ෂණගේ මන්ත්‍රී ධුරයට මාලිමා නියෝජිතයකු පත්කළ යුතු බව කියද්දී ජවිපෙ සිටියේ මීට හාත්පසින්ම වෙනස් ස්ථාවරයකය. ජවිපෙ මතය වී තිබුණේ ප්‍රබල ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ හර්ෂණගේ ඉවත් වීමෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට ජවිපෙ ප්‍රබලයකු පත්කළ යුතු යැයි කියාය. එහිදී නම් දෙකක් යෝජනා වී තිබූ අතර, ඉන් එකක් වී තිබුණේ ගාල්ලෙන් තරග කොට පරාජයට පත්වූ නීතිඥ උපුල් කුමරප්පෙරුමය. අනෙක් නම වී තිබුණේ කොළඹින් තරග කොට පරාජයට පත්වූ විමල් කැටිපෙආරච්චිගේය. ඒ අනුව පසුගිය 26 වැනිදා මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා මාලිමා සහ ජවිපෙ නියෝජිතයන් රැස්වී දීර්ඝව සාකච්ඡා කළද ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අවසන් එකඟතාවකට එළඹීමට නොහැකි වීම විශේෂ සිදුවීමකි. ජනාධිපතිවරයා සඳුදා දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ මෙම විශේෂ ප්‍රකාශය නොකළේද මේ හේතුව නිසා බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. තවත් සමහරුන් කියන්නේ එවැනි ප්‍රකාශයක් නොකරන ලෙස ජවිපෙ ටිල්වින් පාර්ශ්වයෙන් දැඩි බලපෑමක් එල්ල වීම නිසා එය අතරමග නතර වූවා යැයි කියාය.
ඒ කොයිහැටි වෙතත් පසුගිය සඳුදා දිනයේදී මුජිබර් පාර්ලිමේන්තුවේදී පත්තු කළ දේශපාලන බෝම්බය මේ වනවිට ආන්දෝලනාත්මක තැනකට ගමන් කරමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. දැනට පවතින තත්ත්වය අනුව මෙවර අප ඒ සම්බන්ධයෙන් විශේෂ අනාවැකියක් සිදුකිරීමට සූදානම්ය. ඒ, මෙම කන්ටේනර් ප්‍රශ්නය සහ අවසන් කමිටු වාර්තාවෙන් හෙළිකර ඇති කරුණු මත එය ලේසියෙන් අවසන් වන ප්‍රශ්නයක් නොවන බවය. ආණ්ඩුව මේ වනවිට පසුගිය ආණ්ඩු කීපයකදීම සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සොයමින් සිටින නිසා මේ ආණ්ඩුව සමයේදීම සිදුව ඇතැයි කියන මෙම දූෂණ චෝනාවෙන් ආණ්ඩුවට ලේසියෙන් ගැළවීමට නොහැක. එම නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආණ්ඩුව පැත්තෙන් නියත වශයෙන්ම සිදුකළ යුතු බව බොහෝ දෙනාගේ අදහසය. එසේ නොමැති වුවහොත් එය හරියට තමන්ගේ ඇහේ පොල් පරාලයක් තිබියදී අනුන්ගේ ඇසේ ඇති පොල් කෙන්ද සොයන්නාක් හා සමාන වන බව අමුතුවෙන් කිව යුතු නැත.
ආණ්ඩුවට එල්ල වී ඇති මෙම චෝදනාව කෙතරම් බරපතළද කියනවා නම් වරෙක යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පරීක්ෂා නොකර පිටමං කරන ලද කන්ටේනර් බහාලුම්වල පැවැතියේ එල්.ටී.ටී.ඊ, සංවිධානයේ අවි ආයුධ යැයි කියාය. මෙම ප්‍රකාශය කෙතරම් බරපතළ එකක්ද කියනවා නම් පළමු වතාවට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අර්චුනාගෙන් ප්‍රශ්න කිරීමටද පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් අර්චුනා පසුව පාර්ලිමේන්තුවේදී කතානායකවරයා හමුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් පවා මතුකොට තිබුණේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් කිසිදු ආකාරයකින් අභියෝගයට ලක් කිරීමට නොහැකි නිසාය. එමෙන්ම ඊට පසුව පසුගිය සඳුදා දිනයේදී අර්චුනා නැවත වතාවක් මෙම කන්ටේනර් 323 සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමාගේ ජීවිතයට ආරක්ෂාව ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් අදාළ කන්ටේනර්වල තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් සුවිශේෂ හෙළිදරව්වක් කිරීමට තමන් සූදානම් යැයි කියාය. එමෙන්ම උදය ගම්මන්පිලත්, දයාසිරි ජයසේකරත් මෙම කන්ටේනර් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදහස් දක්වා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන්ද කැඳවා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කොට තිබිණි. එවැනි කැඳවීම් සිදුකරනවා විනා, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ගන්නවා විනා අවම වශයෙන් කිසිදු අවස්ථාවක මේ කන්ටේනර් රථ ගෙනාවේ කවුද, ඒවායේ තිබුණේ මොනවාද යන්න පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරිණි.
කන්ටේනර් ප්‍රශ්නය
කෙසේ වෙතත් මුජිබර් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවසන් වාර්තාවට අනුව පැහැදිලිවම දක්වා ඇත්තේ රතු ලේබලය යටතේ තිබූ කන්ටේනර් රථ 100කට අධික ප්‍රමාණයක් කිසිදු පරීක්ෂාවකට ලක් නොකර රේගුවෙන් පිටමං කිරීමට නිලධාරීන් පියවර ගෙන ඇති බවකි. එපමණක් නොව, කහ ලේබලය යටතේ ඇති කන්ටේනර් රථ රැසක්ද එසේ පරීක්ෂා නොකොට නිදහස් කොට ඇති බව එම වාර්තාවේ සඳහන්ව තිබිණි. ඒ අනුව රේගු නිලධාරීන්ගේ අතින් විශාල අතපසු වීමක් සිදුව ඇති බව මෙම වාර්තාව මගින් පැහැදලිවම අනාවරණ කොට තිබිණි. ඒ අනුව දැන් සියලු දෙනාම බලා සිටින්නේ පැවැති රජයන්වලදී සිදුව ඇතැයි කියන හොරකම්වලට එරෙහිව කටයුතු කරන මෙම ආණ්ඩුව මේ සිදුවීම සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්දැයි කියාය.
මුජිබර්ට ආවේ ඇතුළෙන්මද?
කෙසේ වෙතත් මේ වනවිට බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී ඇත්තේ සති කීපයකට කලින් ආණ්ඩුවට භාරදී තිබූ අතිශය රහසිගත වාර්තාවක් විපක්ෂ මන්ත්‍රීවරයකු වූ මුජිබර් රහුමාන්ගේ අතට පැමිණියේ කෙසේදැයි කියාය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකු විසින් කිසියම් කරුණක් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරනු ලැබූ කමිටුවක් එහි අවසන් වාර්තාව ලබාදෙන්නේ ජනාධිපතිවරයා අතටය. එසේත් නැතිනම් ජනාධිපති ලේකම් කාර්යාලයටය. ඒ අනුව ප්‍රශ්නගත කන්ටේනර් 323 සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ අවසන් වාර්තාවද ලැබිය යුත්තේ ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයටය. එසේ නම් එම වාර්තාව මුජිබර් අතට ලැබිය යුත්තේ එක්කෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ තැනකින් විය යුතුය. එසේත් නොමැති නම් අදාළ කමිටුවේ සිටින ප්‍රබලයකුගෙන් විය යුතුය.
ඒ කොයිහැටි වෙතත් මේ වාර්තාව මුජිබර්ගේ අතට ලැබුණේ පසුගිය සෙනසුරාදා සවස් වරුවේය. රටම කතාකරන සිදුවීමක අතිශය රහසිගත වාර්තාවක් තමන්ට ලැබුණු වහා මුජිබර්ද විශාල තැතිගැන්මකට ලක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව වහාම මුජිබර් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කතාකොට තමන්ට මේ වාර්තාව ලැබුණු බවත්, එහි බරපතළ කරුණු ගණනාවක් අනාවරණ කොට ඇති බවත්, සඳුදා දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියේදී එම වාර්තාව රටටම දැනගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවත්ය.
මුජිබර් මෙසේ කියද්දී සජිත්ද යම් කලබලයකට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, මුජිබර්ගේ අතට ලැබී ඇත්තේ නිවැරැදි වාර්තාවක්ද, එසේත් නැත්නම් බොරු වාර්තාවක්ද පළමුව තහවුරු කරගත යුතු නිසාය. ඒ අනුව සජිත් දිගින් දිගටම මුජිබර්ගෙන් මෙම වාර්තාව ලැබුණු ආකාරය සහ එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට අවශ්‍ය තොරතුරු විමසා සිටියේය. මුජිබර්ද අදාළ වාර්තාව තමන් අතට ලැබුණු ආකාරය මුල සිට අකුරක් නෑර සජිත්ට හෙළිදරව් කර සිටියේය. ඒ අනුව එහි සත්‍යතාව තහවුරු කරගත් සජිත් මුජිබර්ට කියා සිටියේ සඳුදා දිනයේදී අතිවිශේෂ හෙළිදරව්වක් ලෙස මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නැයි කියාය. එමෙන්ම අදාළ වාර්තාව සම්බන්ධයෙන් සජබයට සම්බන්ධ ප්‍රබල නීතිවේදීන් කීප දෙනකු හමුවී ඉතා රහසිගත සාකච්ඡා වටයක් පැවැත්වීමටද සජිත් සහ මුජිබර් කටයුතු කළහ.
බෝම්බය පත්තු කළා
ඒ අනුව සඳුදා දිනයේදී අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුව පමණක් නොව, මුළු රටම හෙල්ලී ගිය ආකාරයක් දැකගත හැකි විය. එම කමිටු වාර්තාව මගින් කිසිදු භෞතික පරීක්ෂාවකින් තොරව රතු කන්ටේනර් බහාලුම් නිදහස් කිරීම නිවැරැදි තීරණයක් නොවන බවත්, ඒ හරහා පිළිගත් ක්‍රියාපටිපාටිවල අපගමනයක් සිදුව ඇති බවත්, රතු ලේබල් යටතේ පමණක් නොව කහ ලේබල් යටතේ ඇති බහාලුම් 158ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවත් තහවුරු කොට තිබිණි. ඒ අනුව මුජිබර් කියා සිටියේ මෙය විශාල වංචාවක් බවත්, කොටින්ම කියනවා නම් එය මහබැංකු බැඳුම්කර වංචාවද ඉක්මවා යන පන්නයේ සිදුවීමක් බවත්ය.
ඒ අනුව අපටද කීමට ඇත්තේ ඉදිරි කාලයේදී මෙම සිදුවීම සම්බන්ධ සියලු දෙනාට බරපතළ නීතිමය තත්ත්වයකට මුහුණ දීමට සිදුවනවා යැයි කියාය. විශේෂයෙන්ම ඊට සම්බන්ධ නිලධාරීන් සහ ව්‍යාපාරිකයන්ට ඒ පිළිබඳ වගකීම ගැනීමට සිදුවනු ඇති බවද මෙහිදී නොකියාම බැරිය.
බිමල් ඇඟ බේරගත්තාද?
කෙසේ වෙතත් අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු වරාය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන බිමල් රත්නායක මහතා පිටකොටුව බස් නැවතුම්පළට ගොස් ආසන පටි පැලඳීම සම්බන්ධයෙන් බස් රියැදුරන් දැනුවත් කරද්දී මාධ්‍ය මේ පිළිබඳවද බිමල්ගෙන් විමසා සිටියේය. එහිදී බිමල් සිනාසෙමින් කියා සිටියේ අදාළ කමිටුව පත් කළේ ජනාධිපතිවරයා විසින් බවත්, කමිටු වාර්තාව අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා ඊට අදාළ ක්‍රියාමාර්ග ගනු ඇති බවත්ය.
කෙසේ වෙතත් කන්ටේනර් සිද්ධිය මුලින්ම රටට වාර්තා වූ අවස්ථාවේදී මාධ්‍ය බිමල්ගෙන් විමසද්දී බිමල් කියා සිටියේ මීට තරමක් වෙනස් කතාවකි. එහිදී බිමල් කියා සිටියේ වරාය තමන් යටතේ පැවැතියද රේගුව පවතින්නේ මුදල් අමාත්‍යාංශය යටතේ යැයි කියාය. බිමල් එහිදී නොකියා කීවේ ජනාධිපතිවරයා යටතේ රේගුව පවතින බවත්, යම් සිදුවීමක් සිදුව ඇත්නම් ජනාධිපතිවරයා එහි වගකීම ගත යුතුව ඇති බවත්ය. බිමල්ගේ මේ කතාව සමාජ මාධ්‍ය මගින් එදා පට්ට ගසා තිබුණේ බිමල් මේ සිද්ධිය අනුරගේ පිට තබා තමන්ගේ ඇඟ බේරාගැනීමට කටයුතු කොට ඇතැයි කියාය.
බිමල් මේ ආකාරයට අදහස් දක්වද්දී කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා තවත් අමුතුම කතාවක් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත්තේය. එහිදී මාධ්‍යවේදීන් නලින්දගෙන්ද එම ප්‍රශ්නය විමසද්දී නලින්ද කියා සිටියේ අදාළ කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කළ එකක් බවත්, එහිදී නිලධාරීන් අතින් යම් වැරැද්දක් සිදුව ඇත්නම් ඔවුන්ට විරුද්ධව ජනාධිපතිවරයා නීතිමය පියවර ගනු ඇති බවත්ය. එමෙන්ම නලින්ද තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරමින් කියා සිටියේ මීිට පෙරද පැවැති රජයන් යටතේ කන්ටේනර් 1000කට වඩා නිදහස් කොට ඇති බවට තොරතුරු මේ වනවිට අනාවරණ වී ඇති බවකි.
මෙහිදී ප්‍රශ්නය වන්නේ ඒ අයුරින් කන්ටේනර් 1000කට වඩා කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇත්නම් එය කැබිනට් මාධ්‍ය හමුවේදී රටට අනාවරණ කිරීමද, එසේත් නැත්නම් වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමද යන්නය. මන්ද යත් එසේ කන්ටේනර් 1000ක් නිදහස් කොට ඇත්නම් ඒවායින් රට ඇතුළට ආවේ මොනවාද යන්න පිළිබඳ ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. එවැන්නක් පිළිබඳ ඉතා සැහැල්ලුවෙන් කතාකරනවාට වඩා වහාම ඒ පිළිබඳ ක්‍රියාත්මක වීම පළමුවෙන්ම කළ යුත්තකි. මන්ද ඒවායින් රටට ආවේ නීති විරෝධී භාණ්ඩද, මත්ද්‍රව්‍යද, අවිආයුධද යන්න සොයා බැලීම රජයේ වගකීමය. මහබැංකු සොරකම, ශ්‍රීලන්කන් වංචා මෙන්ම දාහේ දෙදාහේ ලක්ෂයේ කුඩා කුඩා සොරකම් ගැන පමණක් නොව, මේ ආකාරයේ වංචා පිළිබඳවද සොයා බලා ඊට සම්බන්ධ නිලධාරීන් රටට හෙළිකිරීම ආණ්ඩුව පැත්තෙන් සිදුවිය යුත්තකි. මේ ලේසියෙන් අත් නොහැරිය යුතු බව අප මුල සිටම කියා සිටින්නේ ඒ නිසාය.
නිලධාරීන්ද වැරදි?
එමෙන්ම මේ වනවිට සිදුවන බොහෝ අකටයුතුකම් සම්බන්ධයෙන් නිලධාරීන් පිට වරද පැටවෙන ආකාරයක් දැකගන්නට ලැබීමද විශේෂය. උදාහරණයක් ලෙස ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැඳවියකු නිදහස් කිරීම අවසාන වූයේ එහි බන්ධනාගාර අධිකාරිවරයා පමණක් නොව, බන්ධනාගාර කොමසාරිස්වරයාද රිමාන්ඩ් බන්ධනාගාරගත කරමිනි. ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ නිදහස් කළ සිරකරු මේ ආණ්ඩුවේ සිටින ඇමැතිවරයකුගේ හිටපු ලේකම්වරයකු වශයෙන් කටයුතු කොට ඇතැයි කියාය. නිදහස් කළ එම සිරකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවද විමල් එහිදී කියා සිටියේය. පෙනෙන ආකාරයට නම් වරායේ කන්ටේනර් ප්‍රශ්නයද මේ වනවිට අවසන් වීමට නියමිතව ඇත්තේ එහි නිලධාරීන්ගේ කර පිටින් ගොස්ය. නමුත් ඊට උපදෙස් දුන්නා නම් ඒ කවුද, එම කන්ටේනර්වල තිබුණේ මොනවාද, එම කන්ටේනර් කාට අයත් ඒවාද යන්න සොයාබැලීම ආණ්ඩුවේ වගකීමකි.
හඳුන්නෙත්ිට වෙච්ච දෙයක්
කන්ටේනර් ප්‍රශ්නය ඒ ආකාරයට ඇදී යද්දී පසුගිය සතියේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් තවත් විශාල අකරතැබ්බයකට මුහුණපෑවේය. ඒ, වෙන කවුරුවත් නොව සුනිල් හඳුන්නෙත්තිය. මෙවර චීනයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ හඳුන්නෙත්ති එහි පැවැති සාකච්ඡා මණ්ඩපයකදී නිවේදිකාව විසින් ඉංග්‍රීසි භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්නයකට ඉංග්‍රීසියෙන්ම පිළිතුරු ලබාදී තිබූ ආකාරය පසුගිය සතියේ සමාජ මාධ්‍යයේ මහත් ආන්දෝලනයකට ලක්ව තිබිණි. බොහෝ සමාජ මාධ්‍යවල සටහන්ව තිබුණේ හඳුන්නෙත්ති ඒවාට උත්තර දෙන්නේ ‘යන්නේ කොහොද මල්ලෙ පොල් තාලයේ ඒවා යැයි කියාය. හඳුන්නෙත්තිගේ මේ සාකච්ඡාවට සමාජ මාධ්‍යයේ විශාල ප්‍රසිද්ධියක් ලැබෙද්දී හැමෝම ප්‍රශ්න කර සිටියේ එවැනි රටට ආර්ථික වශයෙන් අතිශය වැදගත් ජාත්‍යන්තර සමුළුවකට හඳුන්නෙත්ති වැනි පුද්ගලයකු සහභාගි කරවූයේ මන්දැයි කියාය. ආණ්ඩුවට සමීප සමාජ මාධ්‍යවේදීන් පවා ප්‍රශ්න කර තිබුණේ හඳුන්නෙත්ති කැඩිච්ච ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු දෙනවාට වඩා පරිවර්තකයකු රැගෙන ගොස් සිංහල භාෂාවෙන් පිළිතුරු දුන්නා නම් මීට වඩා රටට වාසියක් ලබාගත හැකිව තිබුණා යැයි කියාය.
කෙසේ වෙතත් හඳුන්නත්තිගේ මෙම වීඩියෝව සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් සංසරණය වෙද්දී හඳුන්නෙත්තිගේ තවත් වීඩියෝවක්ද සමාජ මාධ්‍යයෙන් එළියට ආවේය. එහි තිබුණේ පසුගිය ජනාධිපතිවරණයේදී මාතර පැවැති අනුරගේ මැතිවරණ වේදිකාවකදී හඳුන්නෙත්ති සජිත්ගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීම සහ ජපන් භාෂාව කතාකිරීම සම්බන්ධයෙන් සමච්චලයකට ලක්කරමින් කතාකරන ආකාරයය. එකල සජිත්ගේ ඉංග්‍රීසි කතා කිරීම වැඩියෙන්ම අපහාසට ලක්කරමින් අවඥාසහගතව කතා කළ අයකු ලෙස හඳුන්නෙත්ති ප්‍රකටව සිටියේය. ඊට එකල සමාජ මාධ්‍යවල ලොකු ප්‍රසිද්ධියක්ද ලැබිණි.
කෙසේ වෙතත් සඳුදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී හඳුන්නෙත්ති මේ වීඩියෝව සම්බන්ධයෙන් කෙටි ප්‍රකාශයක් සිදුකළේය. එහිදී හඳුන්නෙත්ති කියා සිටියේ තමන් කළ කතාව විකෘති කොට සමාජ මාධ්‍යවල පළකොට ඇතැයි කියාය.
සජිත්ටත් හිනා
හඳුන්නෙත්ති මේ කතාව කරන විට සජිත් සිටියේ කතරගම යන අතරතුර බුත්තලය. සිය බිරියගේ පාර්ශ්වයේ මියගිය ඥාතියකුගේ පින්කම් මාලාවකට සහභාගි වීම සඳහා සජිත් බුත්තල ප්‍රදේශයට ගොස් සිටියදී සජබය විසින් බලය අත්පත් කරගත් බුත්තල ප්‍රාදේශීය සභාවේ වැඩකටයුතු සම්බන්ධයෙන්ද සොයා බැලීමට සජිත් පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් එහි සිටියදී සජිත්ට ලැබුණු හදිසි දුරකතන ඇමතුමකින් කියැවුණේ සිය මව වූ හේමා ප්‍රේමදාස මැතිනිය නිවසේ සිටියදී ඇදවැටී සුළු තුවාල සිදුව ඇති බවත්, වහාම ඇය රෝහල්ගත කිරීමට කටයුතු කළ බවත්ය. එම පණිවුඩය ආ සැණින් සජිත් සියලු කටයුතු අතරමඟ නවතා දමා වහාම කොළඹ පැමිණ සිය මවගේ අසනීප තත්ත්වය සුවකර ගැනීම සඳහා වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ඇය හදිසි සැත්කමකට භාජනය කළ යුතු බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබිණි. සජිත් නැවතත් බුත්තල බලා පිටත්ව ගොස් තිබුණේ සිය මවගේ සැත්කම අවසන් වී ඇය රෝහල් කාමරයට රැගෙන ඒමෙන් අනතුරුවය.
එසේ නැවත බුත්තල ගිය සජිත් හඳුන්නෙත්තිට චීනයේ දී සිදුව ඇති අකරතැබ්බය සහ හඳුන්නෙත්ති එදා තමන්ට කළ අපහාසයන් පිළිබඳ බුත්තලදී විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය.
ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන අයිතිය කෝටි ප්‍රකෝටි පවුල්වලට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද හිමිවිය යුතු බවත්, එය මූලික හා මානව අයිතියක් බැවින් තමාට කොතරම් පහර පිට පහර ගැහුවත් සත්‍ය හෙළිදරව් වී ඇති බවත්, පසුගිය දිනවල ජාත්‍යන්තර සම්මේලනයේ දී සිදුවූ දේ ගැනවත් සිතා බරපතළ ඌනතා විෂමතාවලට විසඳුම් ලබා දීම පාලකයන්ගේ සේම මහජන නියෝජිතයන්ගේ ද වගකීම බැවින් ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසත් සජිත් මෙහිදී සඳහන් කර සිටියේය.
සජිත් කළ එම කතාවද පසුව සමාජ මාධ්‍යවල වයිරල් වී ගිය ආකාරයක් දැකගත හැකි විය.
උතුර එකතු වෙයි
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා උතුරේ විශාල සටනක් ආරම්භ කිරීමට ද්‍රවිඩ පක්ෂ තීරණය කර ඇතැයි කියාය. අප එය වාර්තා කළේ ආවාට ගියාට නොව ඒ සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් අප වෙත වාර්තා වී තිබීම නිසාය. ආණ්ඩුව මේ වසර ආරම්භයේදී රටට කියා සිටියේ මෙය මැතිවරණ වසරක් බවත්, වසර අවසාන වනවිට පළාත් පාලන මැතිවරණය පමණක් නොව, පළාත් සභා මැතිවරණයද පවත්වා අවසන් කරන බවත්ය. නමුත් මේ වනවිට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුවද ආණ්ඩුව මේ වසර අවසානයේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට තීන්දු කොට ඇති බවකි. එය ලබන වසරේ මැදභාගයේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය දේශපාලන න්‍යාය පත්‍රය මේ වනවිට ආණ්ඩුව ඇතුළේ සකස් වෙමින් ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මේ ආකාරයට පළාත් සභා මැතිවරණය මේ වසරේදී නොපැවැත්වීමට මාලිමා ආණ්ඩුවට බලපා තිබූ ප්‍රධාන හේතුව වී තිබුණේ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවවත් කිසිදු ආකාරයකින් බලාපොරොත්තු නොවුණු පරිදි ලක්ෂ 23කින් ඔවුන්ගේ ඡන්ද පදනම කඩාවැටීමය. ඒ අනුව ප්‍රසිද්ධියේ නොකීවද මාලිමා ආණ්ඩුව ඇතුළේ මේ කඩාවැටීම සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් මේ වනවිට සිදුකොට අවසානය. ඒ අනුව ඔවුන්ගේ විග්‍රහය වී ඇත්තේ යම් හෙයකින් මේ වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් දැනට පවතින ඡන්ද ප්‍රමාණයද තවත් බරපතළ ආකාරයට කඩාවැටීමේ අවදානමක් මතුව ඇති බවකි. එවැනි තත්ත්වයක් යටතේ කිසිදු පළාත් සභාවක් තනිව පිහිටුවීමට මාලිමාවට හැකි නොවනු ඇති බවත්, පළාත් සභාවන්හි බලය පිහිටුවීම සඳහා ආණ්ඩුවට අනිවාර්යයෙන්ම අනෙකුත් පක්ෂ සමග සන්ධානගත වීමට සිදුවනු ඇති බවත් ආණ්ඩුවේ මතය වී තිබේ.
එවැනි පසුබිමක් යටතේ ආණ්ඩුව මෙතෙක් දැරූ, ‘අනෙක් සියලු පක්ෂ හොරු.., අනෙකුත් පක්ෂ සමග කිසිම දවසක එකතු වෙන්නේ නෑ…, ඒ පක්ෂවල ඉන්නේ දූෂිතයෝ…’ යන සටන් පාඨය තවදුරටත් දැරීමේ අවස්ථාව මාලිමාවට අහෝසි වී යනු ඇත. දැනටමත් බහුතරය අහිමි පළාත් පාලන ආයතනවල බහුතරය ලබාගැනීම සඳහා සජබය, පොහොට්ටුව, එජාපය, රිෂාඩ්ගේ, හකීම්ගේ, තොණ්ඩමන්ගේ, පිල්ලෙයාන්ගේ පක්ෂ සමග එකතු වීම හරහා දූෂිතයන් සමග එකතු නොවන බවට වූ සටන් පාඨය අත්හැරීමට මාලිමාවට සිදුව ඇත.
ඉහළින්ම අවසරය ඇවිත්
මෙහිදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී අනෙකුත් පක්ෂ සමග එකතු වීම ඒ ඒ පළාත් පාලන ආයතනවල මාලිමා සාමාජිකයන්ට තනිව ගත හැකි තීන්දුවක් නොවේ. ඒ සඳහා වූ අවසරය අනිවාර්යයෙන්ම ඔවුන්ට ජනාධිපතිවරයාගෙන් හෝ ටිල්වින්, බිමල් වැනි ඉහළ පාර්ශ්වයන්ගෙන් හිමිවිය යුතුය. ඒ අනුව පෙනීයන්නේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා තමන් මුලින් හොරු යැයි කී අනෙකුත් පක්ෂ සමග එකතු වන ලෙසට මාලිමාවේ ඉහළින් ඔවුන්ට අවසරය ලැබී ඇති බවය. ඒ අනුව මාලිමාව මේ වනවිට වටහාගෙන ඇති කාරණය වන්නේ ඉදිරි මැතිවරණවලදී බලය අත්පත් කරගැනීමට නම් නියත වශයෙන්ම අනෙකුත් පක්ෂ සමග සන්ධානගත විය යුතු බවය.
මීටපස්ස් මාලිමාව තනියම නෑ
පළාත් පාලන මැතිවරණයේදී ලක්ෂ 23ක් ඡන්ද අඩුවීම සම්බන්ධයෙන් මාලිමාව ඇතුළේ සිදුකළ දීර්ඝ විග්‍රහයේදී ඔවුන් කරුණු 3ක් මේ වනවිට හඳුනාගෙන තිබේ. ඉන් පළමුවැන්න වී ඇත්තේ උතුරේ බලය පිහිටුවීමට නම් මේ වනවිට උතුරේ බලය අත්පත් කරගෙන සිටින දෙමළ ජාතික සන්ධානය, ගජේන්ද්‍ර පොන්නම්බලම් වැනි පාර්ශ්වයන් සමග යම් හිතවත්කමක් ගොඩනගාගත යුතු බවය. දෙවැන්න නැගෙනහිර බලය පිහිටුවීමට නම් හකීම්, රිෂාඩ්, පිල්ලෙයාන් ආදීන් සමග යම් සන්ධානයක් ගොඩනගාගත යුතු බවය. වතුකරයේ බලය අත්පත් කරගැනීමට නම් තොණ්ඩමන්, දිගම්බරම් ඇතුළු කණ්ඩායම් සමග දේශපාලන සංහිඳියාවක් නිර්මාණය කරගත යුතු බවය. ඒ අනුව මේ වනවිට මාලිමාව තීන්දු කොට ඇත්තේ අනෙකුත් පක්ෂ මෙන්ම සාම්පදායික දේශපාලනයට අනුගත වෙමින් මෙරට සියලු සුළු ජාතික පක්ෂ සමග අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමටය. අනෙකුත් සියලු ඡන්ද සජිත් සහ නාමල් අතර බෙදීයන නිසා සුළු ජාතික පක්ෂවල උපකාරය නොමැතිව බලය අත්පත් කරගැනීම කිසිසේත්ම කළ නොහැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. ඒ සඳහා වූ පෙරහුරුවක් ලෙස පළාත් පාලන මැතිවරණයේදී සුළු ජාතික පක්ෂ සමග ඒකාබද්ධව බලය පිහිටුවීම එහි පළමු පියවර ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව ඉදිරියේදී කිසිදු දේශපාලන වේදිකාවක ජවිපෙ හෝ මාලිමාව තමන් තනිවම බලය පිහිටුවන බව ප්‍රකාශ නොකිරීමට තීරණය කොට ඇති බවක් ආරංචිය. ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී මාලිමාව බොහෝ දුරට සුළු පක්ෂ සමග ඒකාබද්ධව ඔවුන් සමග සන්ධානගත වී තරග වැදීමට කටයුතු කරනු ඇත.
අනෙක් අතට මේ අවස්ථාවේදී පළාත් සභා මැතිවරණය තිබ්බොත් විශාල කඩාවැටීමකට මාලිමාව ලක්වීම අනිවාර්ය බවත්, ලබන වසර මැද වනවිට මේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදී අවම වශයෙන් 25%ක ඡන්ද ප්‍රතිශතයේ මාලිමාව තබාගත හැකි බවත් ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. එමෙන්ම මේ වසර අවසානයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය හරහා ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට විශාල ගැම්මක් ලබාගත හැකි බවද ඔවුන්ගේ අදහස වී තිබේ.
පරණ දේශපාලනය ඉවරයි
එමෙන්ම මේ වනවිට උතුරේ සිදුකොට ඇති මත විමසුම්වල තොරතුරුවලට අනුව මෙතෙක් පැවැති සාම්ප්‍රදායික නායකයන් විසිවී ගොස් අලුත් නායකත්වයක් යටතේ උතුරේ ජනතාව ඒකරාශී වෙමින් ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ. විශේෂයෙන් පසුගිය කාලයේදී පරම්පරා ගණනාවක් පුරා උතුරේ දේශපාලනය කේන්ද්‍රගත වී තිබුණේ අමිර්තලිංගම්, ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා වැනි ප්‍රබල චරිත කේන්ද්‍ර කොට ගනිමින්. නමුත් මේ වනවිට එම කිසිදු දේශපාලන චරිතයක් දේශපාලනයේ දක්නට නැත. ඒ අනුව දැනට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන එම්.ඒ. සුමන්තිරන් මේ වනවිට උතුරේ නායකත්වය තහවුරු කරගනිමින් සිටින බවය. ඔහුට ඇති ජාත්‍යන්තර සබඳතා සහ දේශපාලන අත්දැකීම්, භාෂා කිහිපයක් කතාකිරීමේ හැකියාව, සන්ධාන දේශපාලනයට ඇති වැඩි නැඹුරුව ඒ සඳහා හේතු වී ඇති බව දැනගන්නට ඇත. එමෙන්ම තරුණ දේශපාලකයකු වශයෙන් ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ පක්ෂයද වේගයෙන් උතුරේ ඉදිරියට එමින් පවතින බව ආරංචිය. ගජේන්ද්‍රන් සැලකෙන්නේ ද්‍රවිඩ ජනතා සටනේ සිටින දැඩි මතධාරියකු ලෙසටය. පසුගිය කාලයේදී සුමන්තිරන් සමග එකම පක්ෂයේ දේශපාලනය කරමින් සුමන්තිරන්ට අභියෝග කළ ශ්‍රීධරන් මෙසේ දෙමළ ජනතාව අතර දැඩි මතධාරියකු ලෙස ප්‍රකටව සිටියත්, ඉකුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදී ශ්‍රීධරන් රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් බවට චෝදනා එල්ල වීම හේතුවෙන් මේ වනවිට ඔහු උතුරේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ චරිතයක් බවට පත්ව තිබේ. ඒ අනුව දැන් දැන් ශ්‍රීධරන් සුමන්තිරන්ගෙන් ඉවත් වී ගජේන්ද්‍රන් සමග දේශපාලනය කිරීමට සැලසුම් කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වී තිබේ.
උතුරේ මේ අයුරින් සුමන්තිරන් සහ ගජේන්ද්‍රන් ඉහළට එද්දී නැගෙනහිර බලය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සම්පූර්ණයෙන්ම තමන් යටතට ගැනීම දෙමළ සන්ධානයේ ශානක්‍යයන් රාසමාණික්කම්, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් සමත්ව තිබිණි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මාලිමාවට දේදුන්නක් පෑව්වා සේ උතුරෙන් සහ නැගෙනහිරින් වැටුණු ඡන්ද මේ වනවිට ඒ දේදුන්න බැසයන ආකාරයෙන්ම නැතිවී ගොස් ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
තවත් වීරයෙක් ඇවිත්
මේ ආකාරයට මාලිමාව උතුරෙන් බැසයද්දී සුමන්තිරන්ට සහ ගජේන්ද්‍රන්ට අමතරව තවත් වීරයෙක්ද මේ වනවිට උතුරෙන් බිහිවෙමින් සිටී. ඒ, වෙන කවුරුවත් නොව රාමනාදන් අර්චුනාය. දකුණේ කවුරු කොහොම අර්චුනාට අපහාස උපහාස කළත් ඔහුගේ හැසිරීම, අදහස් දැක්වීම සහ මතවාදය අනුව උතුරේ ජනතාව මේ වනවිට ඔහුව ඉහළින් පිළිගනිමින් සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන. ඒ අනුව අර්චුනා සූදානමින් සිටින්නේ ඊළඟ පළාත් සභා මැතිවරණය ඉලක්ක කොට ගෙන උතුරේ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමටය. දැනට ගොඩනැගෙමින් පවතින දේශපාලන පසුබිම යටතේ ඔහු උතුරේ සියලු පක්ෂ එක් කොටගෙන පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ ඉඩක්ද මතුවෙමින් තිබේ. ඒ අනුව ඉදිරියේදී පළාත් සභා මැතිවරණය මුල් කොටගෙන උතුරේ ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් මතුවීමට ඇති ඉඩකඩ බොහෝය. එමෙන්ම අර්චුනාට ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාවෙන්ද විශාල තල්ලුවක් ලැබෙමින් තිබේ. බොහෝ දෙනා කියන්නේ අර්චුනාට එම පළාත් සභා මැතිවරණයේදී දෙමළ ඩයස්පෝරාව විශාල වශයෙන් උදව් උපකාර කරනු ඇති බවත්, ඒ සඳහා වෙනත් ජාත්‍යන්තර ප්‍රබල කණ්ඩායම්ද මැදිහත් වනු ඇති බවත්ය. එසේ වුවහොත් ලබන පළාත් සභා මැතිවරණයේදී දකුණ පසෙකට ඇද දමා උතුරේ විශාල සටනක් දැකබලා ගැනීමට සියල්ලන්ටම හැකියාව ලැබෙනු ඇති බව බොහෝ දෙනාගේ විිශ්වාසයය.
අනුර පරක්කුයි
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඇති නෞකාවක් ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබූ ආකාරයත්, ජනාධිපතිවරයා ඊට බොහෝ කල් වේලා ගෙන අනුමැතිය ලබාදුන් ආකාරයත් අපි වාර්තා කළෙමු. ඒ අනුව සියලු දෙනා සිතා සිටියේ නෝර්වේ රාජ්‍යයේ ධජය යටතේ ඇති මෙම එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාව සැලසුම් කර තිබූ පරිදි අගෝස්තු මාසයේ මැද භාගයේදී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වනු ඇතැයි කියාය. ඒ හරහා ඩොලර් මිලියනයක මුදලක් ලංකාවට හිමිවනු ඇතැයි කියාය.
නමුත් මේ වනවිට තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. මෙම එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාවට ලංකාවට පැමිණෙන ලෙස මුලින්ම ඉල්ලීම කරනු ලැබ තිබුණේ ඉකුත් රනිල් වික්‍රමසිංහ පාලනය යටතේය. එය එක් රටක් ඉලක්ක කොටගෙන සිදුකරන සංචාරයක් නොව, කලාපයේම පර්යේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණෙන් සිදුකරන්නකි.
කෙසේ වෙතත් ලංකා මුහුදු සීමාවට මෙම පර්යේෂණ නෞකාව පැමිණි පසු ලංකාවේ ධජයද එහි ඔසවනු ලබයි. ලංකා මුහුදු සීමාවට චීන පර්යේෂණ නෞකාවක් පැමිණීම ඉන්දියාවට සහ ඇමෙරිකාවට ගැටලුවක් වුවත් එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාවක් පැමිණීමේ කිසිදු ගැටලුවක් එම රටවල් දෙකටම නැත.
නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය පර්යේෂණ නෞකාවට ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබුණද ලංකාව පැත්තෙන් එම අවසර ලබාදීම විවිධ හේතු මත දිනෙන් දිනම ප්‍රමාද කොට තිබිණි. නමුත් අවසානයේදී ජනාධිපතිවරයා ඊට අවසර ලබාදුන්නද එය ප්‍රමාද වී ඇති බවක් දැකගන්නට ඇත්තේ අදාළ නෞකාව ලංකාව මගහැර මැඩගස්කරයට යෑමට තීන්දු කිරීමත් සමගය. ඒ අනුව ලංකාවට හිමිවීමට තිබූ ඩොලර් මිලියනයක මුදලක් අහිමි වූවා පමණක් නොව, මේ හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග යම් ආරෝවක්ද ඇතිකරගෙන තිබීම විශේෂ සිදුවීමකි.
ටිල්වින් තමයි චරිතෙ
මේ වනවිට මාලිමා ආණ්ඩුව ඇතුළේ ප්‍රධානම චරිතයක් බවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පත්ව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ බව තහවුරු වන්නේ මෙරටට පැමිණෙන ජාත්‍යන්තර නායකයන් සහ නිලධාරීන්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා මුණගැසීමට අමතරව පැලවත්ත ජවිපෙ මූලස්ථානයට ගොස් ටිල්වින්වත් හමුවීම පුරුද්දක් කරගෙන ඇති නිසාය. විශේෂයෙන්ම පසුගිය දිනවල ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුන් හමුවී ටිල්වින් හමුවීමටද පියවර ගත්තේය. එමෙන්ම පසුගිය සතියේ ලංකාවට පැමිණි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති තාඕ ම්බෙකි මහතා ජනාධිපතිවරයා මුණගැසී ටිල්වින්වද හමුවීමට පියවර ගෙන තිබිණි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ කිසිදු අයකු විපක්ෂ නායකවරයා තනිව මුණගැසීමට පියවර ගෙන නොතිබීමය. සාමාන්‍යයෙන් වෙනත් රටක රාජ්‍ය නායකයකු හෝ ඉහළ පෙළේ දූත පිරිස් ලංකාවට පැමිණෙන්නේ නම් ප්‍රොටෝකෝලයට අනුව ජනාධිපතිවරයා පමණක් නොව විපක්ෂනායකවරයා ඇතුළු විපක්ෂයේ නියෝජිතයන්ද හමුවීම සාමාන්‍ය සම්ප්‍රදායය. නමුත් පසුගිය දිනවලදී එවැන්නක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව මේ වනවිට ටිල්වින් විපක්ෂයේ නායකයන්ටත් වඩා ප්‍රබල තැනකට පත්ව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.










