මහර බන්ධනාගාරයේ රැඳවූවන් පසුගිය කාලයේ පැවැත්වු විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා 11 දෙනෙකු මරණයට පත්වීම අපරාධයක් බවට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළා.
එම අපරාධයට සම්බන්ධ සියලු බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරුණා.
මරණකරුවන්ට වෙඩි වැදි ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සදහා හෝ මානූෂිය මෙහෙයුමක් සදහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැති බවයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා සදහන් කලේ.
මරණකරුවන්ට වෙඩි වැදි ඇති ආකාරය අනුව සැලකීමේ දී කලහාකාරී අයුරින් හැසිරුණු බව කියන රැඳවූවන් විසුරුවා හැරීමට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබුවේ දැයි සැක මතුවන බව අදාළ නඩු විභාගයේ දී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.
කැරැල්ල මැඩ පැවැත්වීමට ඔවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තැබීමට අණදුන් බවට මෙම නඩු විභාගයේ දී සාක්ෂි ඉදිරිපත් වුණා. එහෙත් කිසිදු රැඳවූවෙකුගේ දණ හිසින් පහළට වෙඩි වැදී නොතිබූ බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කලේ.










