ඕන්න ආයුබොවන්ඩ මෙදා වංගියේ අපිට සිද්ධ වුණා ආයෙත් ගන්තුලානවල තිබිච්ච බොහොම පැරණි දෙයක් ගැන කතාකරන්න. එහෙම කතාකරන්න වෙන්නේ ඇයි කියන එක මයෙ හිතේ මේ ලිපිය කියෝන නෝනාවරුන්ට මහත්වරුන්ට අලුතෙන් පැහැදිලි කොරන්නට දෙයක් නැහැ.Sri Lanka Latest News
හුඟක් වෙලාවට රටේ තොටේ යන එන, පත්තරවල, රූපවාහිනීවල, රේඩියෝවල තැන් තැන්වල ඇහෙන කියන දේවල් දැක්කහම, මේ කතන්දරය ලියන්න ලියුම්කාරයාට හිතෙන්ට ඇත්තේ මක්කටද කියලා ඔය ඇත්තොන්ට තේරෙන්න ඇති. මේ වෙලාවේ ඔන්න ඔය කාරණාව පැහැදිලි කරගන්න ඕනේ කියලා මට හිතුණු නිසයි මම මේ හුණ්ඩුව ගැන ලියන්ට තනන්නේ.
හුණ්ඩුව ගැන ලියන්න තනන්නේ කාටවත් රිද්දන්නවත්, කාවවත් අවුස්සන්වත් එහෙම නෙමෙයි. ඒ නිසාවෙන් මේ හුණ්ඩුව ගැන ලිව්ව නිසාවෙන් කවුරුවත් ඇවිස්සෙන්ට එහෙම එපා. හුණ්ඩුව කියන්නේ මොකක්ද කියන්ටයි, හුණ්ඩුව ගැන ටිකක් පැහැදිලි කරන්ටයි ඕනෑය කියලා මේ වෙලාවේ මට හිතුණා.
හුණ්ඩුව කියලා කියන්නේ දේශීය වෙදකමේදී එහෙම පාවිච්චි කරපු ‘පත’ කියන වචනයට, නැත්නම් ‘පත අට’ කියන කාරණාවට සම්බන්ධ වෙච්ච එකක්. පත් දෙකක් හුණ්ඩුව කියලා තමයි සාමාන්‍යයෙන් ඉස්සර ගම්තුලානවල ඇත්තෝ කිව්වේ. ඉස්සර අපේ ගම්තුලානවල ජීවත් වෙච්ච මිනිස්සු හාල් මනින්න, පිටි මනින්න වගේ දේවල්වලට මෙන්න මේ හුණ්ඩුව පාවිච්චි කරලා තියෙනවා. හුණ්ඩුවටම තමයි ඒ ඇත්තෝ ‘පෑගිරා’ කියලාත් කියලා තියෙන්නේ.
දැන් හුණ්ඩුව කියලා කියන එක අද වෙද්දී භාවිත වෙන්නේ නැහැ. අද අපේ පරිමාව මනින්නට පාවිච්චි කරන වෙන වෙන ක්‍රම තියෙන නිසාවෙන් හුණ්ඩුව අපෙන් ඈතට ගිහිල්ලා. ඈතට ගියපු හුණ්ඩුව මෑතට අරගෙන ආවේ අපේ අනුර කුමාර සහෝදරයා. එතුමාට බොහොම ස්තුතියි අපිට අමතක වෙලා ගියපු කිරුම් මිනුම් ගැන ආයෙත් මතක් කරලා දුන්නට.
හුණ්ඩුව කියන්නේ මොකක්ද කියලා කතාකරන අතරතුරේදීම හුණ්ඩුව ගැන තව තව දේවල් ටිකක් පැහැදිලි කරගන්න ඕනේ කියලා ලියුම්කාරයාට හිතුණා. හුණ්ඩුව කියලා කියන්නේ මොන වගේ උපකරණයක්ද, හුණ්ඩුවට අයිති වෙන්නේ මොන වගේ ප්‍රමාණයක්ද කියලා අපිට පහුගිය දවස්වල ඔන්න රූප පෙට්ටිවල සමහර ඇත්තෝ පැහැදිලි කරනවා දැක්කා. හුණ්ඩුව ගැන එහෙම පැහැදිලි කළේ හුණ්ඩුවක් එහෙමත් අතේ තියාගෙන.
හුණ්ඩුව කියලා කියන්නේ බොහොම පුංචි උපකරණයක්. මේ හුණ්ඩුව කියන උපකරණය නිර්මාණය කරන්න ඉස්සර යකඩ වගේ දේවල් නැත්නම් ඔය තහඩු වගේ දේවල් ගත්තායි කියලා කියනවා. සැමන් ටින් එකක් වගේ උපකරණයක් තමයි මේ හුණ්ඩුව විදියට පාවිච්චි කරලා තියෙන්නේ.
හුණ්ඩුව ගැන කතාකරද්දී මෙන්න මෙහෙම පැහැදිලි කළා නම් හොඳයි කියලා ලියුම්කාරයාට හිතුණා. ඉස්සර ඔය ඇත්තෝ අහලා ඇතිනේ ‘බුසල’ කියලා එකක් තිබුණා. ඔන්න ඔය බුසල හැදිලා තියෙන්නේ සේරු 32කින්. සේරු 32 කියන අදහස ගනිද්දී මේ සේරු 32 හැදුණේ කොහොමද කියලා හොයාගන්න එක වටිනවා. සේරු 32ට මනා දෙකක් අයිති වුණාය කියලා තමයි සඳහන් වෙන්නේ. බුසල තමයි ලොකුම මිනුම. ඔයිට සමානම ඔයිට වඩා ටිකක් අඩු එකක් තියෙනවා ‘අමුණ’ කියලා. අමුණට මලු හතරයි. එහෙම නැත්නම් පෑලවල් හතරයි කියලා කියනවා.
මලුවක්, නැත්නම් මල්ලක්, එහෙම නැත්නම් මලු එකක්, පෑල එකක් හැදිලා තියෙන්නේ බෙර දෙකකින්. බෙරය කියලාත් කිරුම් මිනුම් උපකරණයක් ඒ කාලේ තිබුණා කියලා පැරණි පොතේ පතේ සඳහන් වෙලා තියෙනවා. පුරාණ ගම්තුලානවල ඇත්තෝ බෙරය කියලා කිව්වේ අර හඬ ඇහෙන සද්ද නගන එකට විතරක් නෙමෙයි කියලායි මේ කාරණා කාරණා හොයලා බලනකොට ලියුම්කාරයාට තේරුණේ.
බෙරයට කුරුණි පහයි. කුරුණියයි ලාසයි සමානයි කියලත් සමහරු කියනවා. ලාහ කියලා කියන්නේත් කුරුණිය කියලා කියන්නේත් එක සමාන එකක් නම් ඔන්න ඔය කොහොම හරි කමක් නැහැ අපි හොයාගමුකෝ මේ ලාහ එහෙම නැත්නම් කුරුණිය කියන්නේ මොන වගේ එකක්ද කියලා. කුරුණියට නැළි හතරක් නැත්නම් සේරු හතරක් තිබ්බා කියලා පුරාණ ගම්තුලානවල ඇත්තෝ කියලා තියෙනවා.
‘තිබ’ එකක් කුරුණි හතරයි. එහෙම නැත්නම් ලාස් හතරයි කියලා සඳහන් වෙනවා. ලාහට, කුරුණියට නැළි සේරු හතර හතර අයිති වෙනවා කියලා පැහැදිලි කළානේ. නැළිය එහෙම නැත්නම් සේරුව මනා දෙකකින් සමන්විත වෙනවායි කියලා කියනවා. මනා දෙක කියන එකත් අපේ රටේ තිබිච්ච බොහොම පුංචි මිනුමක්, පුංචි පරිමාවක්. ඔන්න ඔය මනා එක හැදිලා තියෙන්නේ හුණ්ඩු එහෙම නැත්නම් පතවල් දෙකකින්. හුණ්ඩු දෙකක් එහෙම නැත්නම් පතවල් දෙකක් මනා එකක් කියලා පැහැදිලි කරනවා. හුණ්ඩුවයි පතයි සමානයි කියලා තමයි සමහරු කියන්නේ. ඔන්න ඔය පත මනින්නට පැරණි උපකරණයක් එහෙමත් තිබුණා කියලා සඳහන් වෙලා තියෙනවා.
කොහොම වුණත් ඉතින් මේ කතන්දරය ඔය විදියට පැහැදිලි වෙද්දී අපි තේරුම් බේරුම් කරගන්න තියෙන වැදගත් දෙයක් වෙන්නේ හුණ්ඩුව කියලා කියන්නේ පැරණි කාලේ අපේ ගම්තුලානවල ඇත්තෝ පාවිච්චි කරපු කිරුම් මිනුම් උපකරණවලින් එකක්. හුණ්ඩුව කියන්නේ අපි පාවිච්චි කරපු බොහොම පුංචිම කිරුම් මිනුමක්.
මයෙ හිතේ ඔය ඇත්තෝ අහලා තියෙනවානේ ‘පත අටක් එකට හිඳවන්ට’ කියලා වචනයක්. ඔය පත කියලා කියන එක අපේ ගම්වල පුංචි කෝප්පයක් විදිහට, පුංචි වීදුරුවක් විදිහට හදලා තිබුණා. මේක පිඟන් මැට්ටෙන් හදලා තිබුණා කියලා ඉස්සර පොතපතේ සඳහන් වෙලා තියෙනවා.
කොහොම වුණත් ඉතින් හුණ්ඩුව කියලා කියන එකට තව තව දේවල් එකතු වෙලා පැරැන්නෝ විවිධ වචන පාවිච්චි කරලා තියෙනවා. හුණ්ඩුවට අගින් ශරීරාංගයක නමක් එකතු කරලා ‘හුණ්ඩුක්ක’ කියලා කියනවා අපි අහලා තියෙනවා. ඒ කියන්නේත් හරිම පුංචි තැනක්, හරිම කුඩා තැනක්, හරිම ඉඩකඩ නැති තැනක් ගැන පැහැදිලි කරන්න.
ඒ නිසාවෙන් හුණ්ඩුව කියන වචනය ඔන්න ඕකයි කියලා අපි ලියලා ඉවර කරනවා. කවුරුත් මේ හුණ්ඩුව ගැන අපි කිව්වාය කියලා අමනාප වෙන්න කාරණාවක් නැහැ. පුරාණ සිංහල ගම්තුලානවල ඇත්තෝ තම තමන්ගේ දේවල් වගවිභාග කරගත්ත ආකාරය පැහැදිලි කරන්ටයි මේ හුණ්ඩුව කියන කතාව අපි ලිව්වේ.

ජීවන පහන් තිළිණ










