රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු කාරක වූ බහුතරයක් පිරිසගෙන් සමන්විත කමිටුවක් මගින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵල බැවින් තමන් එම කමිටුවෙන් ඉල්ලා අස්වන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් පවසා තිබෙනවා. ඔහු මේ පිළිබඳව කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත්තේ ඊයේ (10) දිනයේ යි.Sri Lanka Latest News
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.
කථානායකතුමනි,
මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමයි
ඉහත විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස මාගේ නමද එම විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ඉදිරිපත් කරනු ලැබ තිබිණි. කෙසේ වුවද ආණ්ඩු පක්ෂයෙන් මෙම කාරක සභාව වෙත යෝජනා කරනු ලැබ ඇති නම් පිළිබඳව මේ වන විට ගොඩනැගී ඇත්තේ මතභේදාත්මක තත්වයක් බව නොරහසකි.
රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු කාරක වූ බහුතරයක් පිරිසගෙන් සමන්විත කමිටුවක් මගින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵලය. මේ තත්වය තුළ එවැනි කමිටුවක් නියෝජනය කිරීම අර්ථ විරහිත වන බැවින් මම එම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි.
විජිත හේරත්
පාර්ලිමේන්තු මන්ත්‍රී
2023.07.10”










