මාධ්‍ය ජීවිතයට අත්පොත් තබද්දී මගේ ගුරු වූයේ රටම හඳුනන එවක ගත්කතුවරයකු මෙන්ම අග්‍රගණ්‍ය පුවත්පත් කතුවරයකු වූ ගුණදාස ලියනගේ සූරීන්ය. 1976 දශකයේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ පදවිය දැරූයේ ‘ගුලි’ ලෙස හැඳින්වූ ගුණදාස ලියනගේ. සෑම දිනකම ඔහුගේ ලංකාදීප කර්තෘ මණ්ඩලයට ගිය අවස්ථාවේ සිට මා වෙහෙසුණේ මුල් පිටුවට සුදුසු පුවත් සෙවීමටය. එම දශකයේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරුවේ පාලිත විදානගමාච්චි සහ පී.ආර්. වික්‍රමසිංහ යන මහත්වරුන්ය. ප්‍රවෘත්තියක් වැරැදුණහොත් පාලිතගෙන් තරමක බැණුම් අසා බේරුණත්, ගුලිගෙන් ලැබෙන ප්‍රහාරය ඊට වඩා දැඩි විය. වදින තැනට වදින්නට ප්‍රවෘත්ති ලියන්න මා හට පන්නරය ලබාදුන්නේ ගුලිය. (Sri Lanka Latest News)
වදින තැනට වදින්නට ප්‍රවෘත්තියක් සම්පාදනය කිරීමේදී එය, එහි ප්‍රතිඵලය ලැබෙන තුරු අවසානය දක්වා පසු විපරම් කරමින් අවසාන ප්‍රතිඵලය දක්වා යායුතු අන්දම මගේ පත්තර මනසට ඇතුළු කර දුන්නේ ඔහුය. ඒ අතීත දැනුම් සම්භාරය මගේ සිරුර පුරා අදටත් දිවයන්නකි. ඒ අවධියේ ටයිම්ස් පාලන අධිකාරියේ සිදුවී තිබූ වෙනස්කම් මත ලංකාදීපය පාලනය කළේ එවක සිලෝන් ටුවර්ස් ආයතනයේ හිමිකරුවකු වූ එදිරිවීර මහතා බව මගේ මතකයේ රැඳී පවතී. ඇතැම් අවස්ථාවල පත්තරයට ලියූ මුල් පුවත රැගෙන ප්‍රවෘත්ති කර්තෘවරයා මා ගුලි ළඟට යැව්වේය. ඔහු උපැස් යුවල දමාගෙන ඒ පුවත කියවා බැලුවේ මුල සිට අගටය. අග සිටද මුලටය. මා ලබාදුන් සමහර ප්‍රවෘත්ති ඔහු කියවද්දී ඇතැම් අවස්ථාවලදී ඔහුගේ මුහුණුවර ක්ෂණිකව වෙනස් විය. ඒ අවස්ථාවේදී මා හට බැණවැදී කර්තෘ කාමරයෙන් පන්නා දැමූ අවස්ථාද එමටය. ඒ පන්නන්නේ තාවකාලිකවය. ඔහුගේ කේන්තිය සෝඩා බෝතලයක සැර යන තරමය.
දිනක් මා ගෙනගිය ප්‍රවෘත්තියක් හරි මැදින් දෙකට ඉරා කුණු කූඩයට දැමූ අවස්ථාවක් මගේ මතකයේ රැඳී ඇත. එසේ ඉරාදැමූ ප්‍රවෘත්තිය ගුලි විසින් ආපසු කුණු කූඩයෙන් එළියට ගන්නේ මා ඔහුගේ කාමරයෙන් පිටවීමට පෙරය. නැවතත් මා ඔහු ළඟට කැඳවා ඉස්සරහා වාඩිකරවාගෙන ප්‍රවෘත්ති ලියන කඩදාසි මා හට ලබාදෙමින් පයිප්පයෙන් දුම්රොටු යවමින් දෙකට ඉරූ ප්‍රවෘත්ති කොළය හරියට පැහැදිලි වන සේ බද්ධ කරගනී. ඉන් පසු ඔහු මා හට පවසන්නේ ‘ප්‍රේමලාල් මේ නිවුස් එකේ හොඳම ටික තියෙන්නේ අන්තිමට. ඇයි ඒක අවබෝධ කරගන්නේ නැත්තේ? පත්තර දිනපතා කියවන්න. දැන් කමක් නෑ. මම කියවන්නම්, ඔයා ලියන්න…’ ඒ, ගුලිගේ මාධ්‍යවේදියකු හදන නිහතමානී වදන් රැල්ලයි. එසේ කියා ගුලි මා ලියූ ප්‍රවෘත්තියට ශක්තිය දෙමින් වදින තැන්වලට වදින්න ලියන හැටි කියා දුන්නේය.
මේ යුගයේ බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමාරයා යැයි ඇතැමුන් ඒ දිනවල පැවැසූ අනුර බණ්ඩාරනායක විදේශ අධ්‍යාපනය හමාර කොට පැමිණි අවධියයි. අනුරට දේශපාලනයට පිවිසෙන්නට පත්තරයක් අවශ්‍ය විය. එවක අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේද අනුදැනුම මත එදිරිවීර මහතා ඒ සඳහා අනුග්‍රහය ලබාදී තිබුණේ ලංකාදීප පත්තරයෙන්ය. ලංකාදීපයේ කර්තෘ ගුලිය. සමහර දිනවල අනුර පසුදා පිටවන ලංකාදීප පත්තරයේ මුල් පිටුව බලන්නට ටයිම්ස් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ කාමරයට පැමිණියේ හවස් යාමයේය. එසේ ආවේ ආරක්ෂක නිලධාරියකුද සමගය. ඒ අවධියේ ලංගම බස් රථ පාලනය වූ මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ එකම සභාපතිවරයාව සිටියේ ජේ.සී.ටී. කොතලාවල නොහොත් ජැක් කොතලාවලය. ජැක් කොතලාවලට ඒ වනවිට දේශපාලන උණක් වැලඳී තිබිණි. එවක ප්‍රවාහන ඇමැතිව සිටි කේ.බී. රත්නායක ජැක්ගේ සමීප මිත්‍රයෙකි. ඒ නිසාදෝ එවක සිරිමා රජය බිඳවැටීගෙන යද්දී 1976 අවසාන භාගයේ පැවැති මහ මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආසනයක් වෙනුවෙන් තරග කිරීමේ ආශාව ජැක් තුළ විය. ඒ වනවිට එම ආසනය නියෝජනය කළේ හිටපු නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය බී.එච්. බණ්ඩාරය.
මම දිනක් ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ප්‍රවෘත්තියක් සොයමින් සිටියදී ඊට පෙර මා දැන හැඳිනගෙන සිටි නියෝජ්‍ය ඇමැති බී.එච්. බණ්ඩාරගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ‘ප්‍රේමලාල් ඉක්මනටම මගේ අමාත්‍යාංශයට ඇවිත් මාව හමුවෙන්න. හොඳ නිවුස් එකක් මම ඔයාගේ අතටම දෙන්නම්…’ ඔහු කියා සිටියේය. ඔහුගේ අමාත්‍යාංශය තිබුණේ කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරය ආසන්නයේ පිහිටි ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ලේය. මම කෙටි වේලාවක් ඇතුළත ඇමැති කාමරයට ගියෙමි. ඒ වනවිටත් ඔහු මා එන පෙරමග බලා සිටියේය. ඒ අවස්ථාවේ ඔහු අත තිබූ අගමැතිනියට ගෙනගොස් භාරදීමට සූදානම් කර තිබූ ලිපියක පිටපතක් මා වෙත දුන්නේය. එහි සඳහන් වූයේ තමාට නොදන්වා ජැක් බදුල්ලේ සංවිධායක කිරීමට යන බවට වූ පැමිණිල්ලකි. ලිපිය ලබාදෙමින් බණ්ඩාර කීවේ ජැක් තමා සමග දේශපාලන සටනකට සූදානම් වන බවය. මම ඒ ලිපිය රැගෙන ලංකාදීප පත්තරයේ ගුලිගේ කාමරය වෙත කඩිනමින් ගියෙමි. ලියුම බැලූ ගුලි කඩදාසි ටිකක් මා අතට දී ලියුමට අදාළ ප්‍රවෘත්තිය පෙළගැස්වීය.
‘ඇමැතිට නොදන්වා ජැක් බදුල්ලේ රැස්වීමක් සංවිධාන කරලා. බී.එච්.ගෙන් අගමැතිනියට හදිසි පැමිණිල්ලක්. දෙදෙනා අතර සීතල දේශපාලන සටනක්…’
බී.එච්. සහ ජැක් අතර පවතින දේශපාලන ගැටුම උග්‍ර වන ආකාරයට ඒ සිරස්තලය පසුදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළවිය.
ලියුමේ පිටපතක් මට ලබාදී අගමැතිනිය හමුවීමට ගොස් ආපසු පැමිණි බී.එච්.ගෙන් නැවත මට දුරකතන ඇමතුමක් ලැබිණි. එහිදී ඔහු මා සමග කීවේ මේ දේශපාලන ගැටුම නතර නොකළහොත් තමන් ඇමැති පදවියෙන් ඉල්ලා අස්වන බව අගමැතිනියට දැනුම් දී පැමිණි බවයි. ඉහත පළකළ ප්‍රවෘත්තිය ලංකාදීපයේ පළවූ දිනයේම උදෑසන ගුලිගේ කාමරයේ සිටින කාර්යාල සහායකයා මට කීවේ ගුලි මට කතාකරන බවයි. මම එහි යන විටත් ගුලි දුරකතන සංවාදයක යෙදී සිටියේය. ඒ, අනුර සමගය. මා කාමරයට ඇතුළු වනවාත් සමගම ගුලි පැවැසුවේ දුකරතනයෙන් කතාකළ අනුර බණ්ඩාරනායක මා සොයන බවයි. එසේ කියූ ගුලි, ඔහුගේ අත තිබූ දුරකතන රිසීවරය මා අත තැබීය. දුරකතනයේ රැඳී සිටි අනුර තල් අත්තට බොරලු වැටෙන්නාක් මෙන් මා හට බැණගෙන ගියේය.
‘මොනවද ප්‍රේමලාල් මේ කරන්නේ? ඔයා දේශපාලනය ගැන දන්නේ නැත්නම් ගුලිගෙන් අහගන්න. ඇයි අපේ ජැක්ට පහර ගහන්නේ? එයා අපේ මිනිහෙක්. මෙහෙම පහර ගහන්න එපා. ඔයාට ඔය නිවුස් එක දුන්නේ බී.එච්.ද? නැත්නම් වෙන කවුරුවත්ද?’
අනුරගේ එම දුරකතන ඇමතුම මට ප්‍රශ්න පත්‍රයක් මෙන් විය. මම අනුරට කීවේ මෙම ප්‍රවෘත්තිය දුන් කෙනා හෙළිකළ නොහැකි බවයි. ඒ පිළිතුරෙන් ඔහු කෝපයෙන් දුරකතන ඇමතුම විසන්ධි කළේය.
එදිනම සවස මට යළි අනුරගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. එයින් කියැවුණේ,
‘ජැක්ගේ ලේකම්වරයෙක් තව සුළු වෙලාවකින් ලංකාදීප කර්තෘ මණ්ඩලයට ඔයාව හොයාගෙන එනවා. ඒ ආවාම ඔහු සමග ජැක් ළඟට යන්න…’ කියාය. එය නියෝගයක් මෙන් විය. මම ඒ ඇමතුම ගැන කල්පනා කරන්නට වීමි. අනුරගේ කීම අසා එය කරනවාද, නැත්නම් රැකියාව අතහැර ගෙදර යනවාද යන්න ගැන මගේ හිතේ දෙගිඩියාවක් ඇතිවිය. ප්‍රශ්න ගොඩකට පටලැවී ගුලි ළඟට ගිය මම, අනුර මට දුන් නියෝගය ගැන ගුලිට පැමිණිලි කළෙමි. එවිට ගුලි කීවේ, ‘රස්සාව දාලා ගෙදර යන්න එපා. දේශපාලනයත්, දේශපාලකයොත් තාවකාලිකයි. ඔයා ඒ කිව්ව විදියට ජැක් හමුවෙන්න යන්න. එයා කියන දේවල් නොකර, පොරොන්දු නොවී ආපහු එන්න. හැබැයි එයාව අන්දවගෙන ඔයාට ගන්න පුළුවන් ප්‍රවෘත්තියක් ගන්න පුළුවන් විදියට මිත්‍ර වෙන්න…’ යනුවෙනි. ඒ අනුව මම ලංකාදීපයට පැමිණි ජැක්ගේ ලේකම් සමග කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි ජැක්ගේ නිවෙසට යන විටත් ජැක් මා බලාපොරොත්තුවෙන් දොරටුව අසලට වී සිටියේය. නිවෙසට ඇතුළු වන විටම අතට අත දී කතාකළ ජැක් මට කියා සිටියේ දේශපාලනය තුළත් මාධ්‍ය තුළත් තමන්ට සතුරන් නොමැති බව විශ්වාස කරන බවයි. එදා ජැක් මා සමග මිත්‍ර වුවද මා ඔහුගෙන් අනුරටත් හොරා රහසෙන් වැඩ ගත්තෙමි.
එවක හිටපු ප්‍රවාහන අමාත්‍ය කේ.බී. රත්නායක, ජැක්ගේ සමීපතම මිත්‍රයා නිසා මම ජැක් හරහා කැබිනට් රහස් දැනගැනීමේ මාධ්‍ය ව්‍යාපෘතිය පණපොවා ගත්තෙමි. එදා සිට මම සෑම බදාදා දිනකම සවස කැබිනට් ඇමැති මණ්ඩලයේ ගන්නා තීරණ පත්තරයට වාර්තා කළෙමි. අද මෙන් එදා ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු නොපැවැත්විණි. එදා සිට ජැක් සමග මා ගොඩනගාගත් රහස් සබඳතාව මගේ සමීප මාධ්‍ය මිත්‍රයකුටවත් නොකියන තැනට මම වගබලා ගත්තෙමි.

ප්‍රේමලාල් විජේරත්න










