ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති නව යෝජනාවේ ඡන්ද විමසීමේදී ලංකාව පරාජයට පත්විය.
අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මලාවී, උතුරු මැසඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් එක්ව මෙම යෝජනාව ගෙන එනු ලැබීය.
නව යෝජනාවට, මීට පෙර සම්මත කර ගැනුණු යෝජනාවල කරුණු මෙන්ම නව වගන්ති කිහිපයක්ද ඇතුළත්ය.
හමුදාකරණය ඉහළයාම, රාජ්‍ය පාලනය විනිවිදභාවයකින් තොරවීම, බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා දඩුවම් නොපැමිණවීම වැනි කරුණු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ ඇතුළත් අතර එම තත්ත්වය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය, සංහිඳියාව සහ තිරසර සාමය හා සංවර්ධනයට ප්‍රධාන බාධකය වී ඇතැයි එහි දැක්වෙයි.
මෙරට මානව හිමිකම් තත්ත්වය කෙරෙහි දූෂණය දැඩි අහිතකර බලපෑමක් ඇතිකර ඇති බව එහි සඳහන්ය.
සාමකාමී විරෝධතා, ප්රජාතන්තවාදී පද්ධතීන් ශක්තිමත් කිරීමට ඉවහල්වන බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන ගෙන ආවද ඒ යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම තවදුරටත් සිදුවන බවද යෝජනාවේ දැක්වෙයි.
එමෙන්ම මෙරට වර්තමාන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමේදී ඊට මුල්වූ වර්තමාන හා හිටපු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවත්, එහිදී ස්වාධීන, අපක්ෂපාති සහ විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් යෝජනා කර තිබේ.
රජය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කරලීම උදෙසා මැතිවරණයකට යායුතු බවට සිවිල් සමාජය හා විරෝධතාකරුවන් සිදුකරන ඉල්ලීමද අවධාරණය කර තිබේ.