මාසික සභා රැස්වීම් වාර්තාව සම්මත කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ජාතික ජනබලවේගයට බලය හිමි හැටන් දික්ඔය නගර සභාවේ මාසික රැස්වීම ලබන 21 වෙනිදා දක්වා කල්තැබීමට එහි සභාපති අසෝක කරුණාරත්න මහත පියවර ගෙන තිබේ. Sri Lanka Latest News
එහි සභාපතිවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ (14) එම සභාව රැස්වීමෙන් අනතුරුව පසුගිය මාසික රැස්වීමේ වාර්තාව සභා සම්මතය සඳහා ඉදිරිපත් කෙරුණි.
එම අවස්ථාවේදී එහි උප සභාපතිවරයා ඇතුළුව නාගරික මන්ත්රීවරුන් වන අලගමුත්තු නන්දකුමාර්, එස්. ලෝගේස්වරන්, ජයශාන්, ප්රභාගර්, පී.කේ. ධර්මප්රිය යන මහත්වරුන් විසින් මෙම වාර්තාවේ විවිධ දෝෂ හා වැරදි පවතින බව පෙන්වා දෙන ලදී.
මීට පෙර ද මාසික රැස්වීම් වාර්තාවල දෝෂ පැවති බවත් මෙම තත්ත්වයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ නොදිය හැකි බව එම මන්ත්රීවරුන් අවධාරණය කළහ.
මේ සම්බන්ධයෙන් අලගමුත්තු නන්දකුමාර් මහතා ඉදිරිපත් කළ යෝජනාවක් මත එම මාසික රැස්වීම කාරක සභාවක් බවට පත් කරගෙන පවතින දෝෂ හා වැරදි පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කර ඇත.
ඉන් අනතුරුව ඔහුගේ ඉල්ලීම මත සභාපති ඇතුළු නාගරික මන්ත්රීවරුන් 15 දෙනා වෙනම ස්ථානයකට ගොස් සාකච්ඡා කිරීමට පියවර ගන්නා ලදී.
එම සාකච්ඡාවෙන් අනතුරුව එම මාසික රැස්වීම ආරම්භ වු අතර, එහිදි පසු ගිය මාසික සභා රැස්වීම් වාර්තාවේ පවතින දෝෂ හා වැරදි පිළිබඳව ලිඛිතව අද (15) දින දහවල් 12.00ට පෙර ලබා දෙන ලෙස සභාපති අශෝක කරුණාරත්න මහතා සියලුම නාගරික මන්ත්රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඉන් අනතුරුව මාසික රැස්වීම මේ මස 21 වෙනිදා දක්වා කල් දමන බවට ප්රකාශ කෙරුණි.










