මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඇති වත්කමකින්, මුදල් ත්‍යාග ලෙස විගාමිකයෙකු ලද අරමුදල්වලින් සංක්‍රමණික දීමනාව යටතේ එවන අරමුදල් ආපසු සියරට යැවීම අත්හිටුවා තිබේ.
එමෙන්ම විගාමිකයින්ගේ අරමුදල් ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 10,000ක් හෝ ඒ සමාන ප්‍රමාණයක් දක්වා සීමා කර ඇති අතර පොදු අවසරය යටතේ විගාමිකයින් සඳහා සුදුසුකම් ලත් සංක්‍රමණික දීමනාව අදාළ කාලය තුළ අමෙරිකානු ඩොලර් 30,000 හෝ ඒ සමාන උපරිමයක් දක්වා සීමා කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
විගාමිකයින් අර්ථ සාධක අර්මුදල්, විශ්‍රාම වැටුප් හෝ එවැනි ප්‍රතිලාභ ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 30,000ක් හෝ ඒ හා සමාන උපරිමයකට යටත් කිරීමට අදාළ ගැසට් නිවේදනයෙන් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවෙන් පිටත වෙනත් රටක නේවාසික හෝ තාවකාලික නේවාසික වීසා ලබා ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රතිමුඛ ප්‍රේෂණ හෝ විදේශ විනිමය නිකුත් කිරීම අමෙරිකානු ඩොලර් 20,000ක උපරිමයක් දක්වා ද සීමාකර ඇති බව සඳහන්ය.










