ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට වඩා දැනට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ දක්ෂ විය හැකි බව නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ස්කොට් ස්ටයිරිස් පවසනවා.
පතිරණ මෙවර IPL තරග වාරයේදී චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් තරග 6කදී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.
JioCinema හිදී අදහස් දක්වමින් ස්ටයිරිස් පැවසුවේ 20 හැවිරිදි වේග පන්දු යවන්නා මාලිංගට වඩා හොඳ විය හැකි බවයි.
පතිරණ මෙම තරග වාරයේ කඩුල්ලක සාමාන්‍ය 27.57ක් ලෙසත් පන්දුවාරයක සාමාන්‍ය්‍ය 8.27ක් ලෙසත් පන්දු යවා ඇති අතර අවසන් පන්දුවාර කිහිපය සාර්ථක ලෙස යවමින් සිටින ආකාරයක් දැකගත හැකිය.
“මාලිංගට වඩා පතිරණ හොඳ වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මේක ටිකක් ලොකු කතාවක් කියලා මම දන්නවා. මොකද එහෙම දෙයක් කියන්න තාම කල්වැඩියි ”යනුවෙන් ස්ටයිරිස් පැවසීය.
පතිරණ මාලිංග තරම් නිවැරදි නොවන නමුත් පිතිකරුවන්ට හිසරදයක් වන වේගයක් ඇති පන්දු යවන්නකු බව පැවසූ නවසීලන්ත ක්‍රීඩකයා, ඔහු පැයට කිලෝමීටර 145ක වේගයෙන් පන්දු යවන විට මාලිංග පවා ඔහුගේ උපරිමයෙන් සිටි බව පැවසීය.
මාලිංග IPL තරඟාවලියේ මෙතෙක් තරඟ 122කදී කඩුලු 170ක් දවාගත් හොඳම පන්දු යවන්නෙකු ලෙස සැලකේ.
“ඔහු තවමත් මාලිංග තරම් නිවැරදි නැහැ, නමුත් මාලිංග පැයට කිලෝමීටර් 145ක වේගයෙන් පන්දු යවන විට ඔහුගේ උපරිමයෙන් සිටියා. ඒවගේම එයාට අවුරුදු තුනක් හතරක් විතර එහෙම තිබ්බා.”ස්ටයිරිස් වැඩිදුරටත් පැවසීය.
පතිරණ ශ්‍රී ලංකාව සහ IPL යන දෙඅංශයෙන්ම විශිෂ්ට ක්‍රීඩකයෙකු බව පැවසූ ස්ටයිරිස්, ඔහුට කඩුලු දවා ගැනීම සදහා ස්වාභාවික වේගයක් තිබීම වාසියක් වී ඇති බව පැවසීය.
මතීෂ මෙම වාරයේදී මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වෙන් කිහිප වතාවක් පැයට කිලෝමීටර් 150 සීමාවට ළඟා වෙමින් පන්දු යවා තිබේ.










