තවත් මතවිමසුමක්! රනිල් ජුලි තෙක් වැඩේ අදින්න යයි!
රනිල් හමුවෙන්න යන්න කලින් බැසිල්ට ආ ඔත්තුව!
අනුර එක්ක විවාදයට සජිත් ලෑස්තියි! අනුරගෙන් සද්දයක් නෑ!
නාමල්ට එරෙහිව ප්‍රසන්නලා 12 මාතරින් වැඩ අල්ලයි!
ජනාධිපතිවරණ උණුසුම
ජනාධිපතිවරණ උණුසුම රට ඇතුළේ කෙමෙන් කෙමෙන් ඉහළ යමින් පැවැතියදී ප්‍රධාන ධාරාවේ සියලු පක්ෂ එය ඉලක්ක කරගෙන මේ වනවිට විවිධ ආකාරයෙන් වැඩකටයුතු ආරම්භ කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ. දැනටමත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සජබ අපේක්ෂකයා ලෙස රට වටා යමින් ජනාධිපතිවරණයට සූදානම් වන්නේ කාන්තා සමුළු, තරුණ සමුළු ආදිය පවත්වමිනුත්, සක්වල වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර ලබා දෙමිනුත්ය. ඒ අනුව සජිත් පසුගිය සතියේදී උතුරු කොනේ සක්වළ වැඩසටහන් කිහිපයක් සංවිධාන කරමින් වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට පියවර කොට තිබිණි. මීට අමතරව ජාතික ජන බලවේගයේ නායකයා වශයෙන් අනුර කුමාරද පසුගිය සතියේදී යාපනයේ සංචාරයක නිරත වෙමින් රැස්වීම් කිහිපයක් ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළේය. කෙසේවෙතත් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනාවරණ කළ පරිදිම ආණ්ඩුව පැත්තෙන් හෝ පොහොට්ටුව පැත්තෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්න්ධයෙන් තවමත් ඇත්තේ විශාල දෙගිඩියාවකි.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කරමින් පසුගිය සතියේ අප කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයකු වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවස්ථා තුනක් පමණක් ඉතිරිව ඇති බවකි. එහිදී අප කියා සිටියේ සජබය හෝ සජබ කණ්ඩායමක් මැයි මාසයේදී ආණ්ඩුවට එකතු කරගතහොත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කරනු ඇති බවකි. නමුත් ඒ සම්බන්ධයෙන් ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයකි. මීට අමතරව පොහොට්ටුවේ සම්පූර්ණ සහාය ලබාගතහොත් හෝ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කරගතහොත් ඒ හරහා ලොකු ගැම්මක් ගෙන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කරමින් සිටින බවක්ද අපි සඳහන් කළෙමු.
ආයෙමත් කල් ගියා
නමුත් දැනට මතුව ඇති ලොකුම ගැටලුවක් වී ඇත්තේ පොහොට්ටුව පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට සමීපව සිටින මැතිඇමැති කණ්ඩායම ජනාධිපතිවරයාගේ හැසිරීම නිවැරැදිව කියවා ගැනීමට අපොහොසත් වී තිබීමය. මන්ද යත් ජනාධිපතිවරයා මුල් අවස්ථාවේදී ඔවුන්ට කියා තිබුණේ ජනවාරියේ සිට ඡන්ද සටන පටන්ගත යුතු යැයි කියාය. ඉකුත් වසරේ අවසන් භාගයේදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි මේ බව අනාවරණ කර සිටියෙමු. ඉන් අනතුරුව ජනාධිපතිවරයා අප්‍රේල් මාසය දක්වා සිටින ලෙසත්, පසුව මැයි මාසය දක්වා සිටින ලෙසත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට දැනුම්දී ඇති බව අපි ඉකුත් සතියේ සඳහන් කර සිටියෙමු. ජනාධිපතිවරයාගේ හැසිරීම සහ අංග චලනයන් පිළිබඳ හොඳින් දන්නා පුද්ගලයන් නම් කියන්නේ ජනාධිපතිවරයා මෙසේ කල්මරමින් සිටින්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔහුටද විශාල දෙගිඩියාවක් මතුව ඇති නිසා යැයි කියාය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම දෙගිඩියාවට බලපා ඇති ප්‍රධාන හේතුවක්ද තිබේ. ඒ, වෙන මොකක්වත් නොව ජාත්‍යන්තරය පවා පිළිගත් මත විමසුම් ආයතනයක් විසින් සිදුකරනු ලැබ තිබූ මත විමසුමක ප්‍රතිඵල නිකුත්ව තිබීමය. ජනාධිපතිවරයා පවා කල් මර මර බලා සිටියේ මේ මත විමසුමේ ප්‍රතිඵල නිකුත් වන තෙක්ය. මන්ද යත් පසුගිය වසර 20ක කාලයක් පුරා ජනාධිපතිවරයා සිය දේශපාලන තීන්දු තීරණ ගැනීම සඳහා බයිබලයක් මෙන් භාවිත කළේ මෙම ආයතන මගින් සිදුකරනු ලැබූ මත විමසුම්ය. ඒ අනුව මෙම ආයතනය මගින් නිකුත් කර තිබූ මත විමසුමේ ප්‍රතිඵලය වී තිබුණේ උතුරු නැගෙනහිර පළාත් හැරුණු විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 39%ක ඡන්ද ප්‍රතිශතයක් ලබගනු ඇති බවත්, ජාතික ජන බලවේගය 20%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්ය. පොහොට්ටුවට 9%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවනු ඇති බවත්, එජාප නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා 5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත් එම මතවිමසුමෙන් අනාවරණය කොට තිබිණ. මෙම තොරතුරු අතිවිශේෂ වාර්තාවක් ලෙසින් මීට සති 4කට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරයෙන් රටටම අනාවරණ කිරීමට අපි පියවර ගත්තෙමු.
සදාචාරාත්මක හේතු මත එම ආයතනයේ නම සඳහන් නොකිරීමට අප පියවර ගත්තද, දේශපාලන ක්ෂේත්‍රයේ සිටින කිසිවකුටත්, තානාපති කාර්යාලවල සිටින කිසිවකුටත් මෙම ආයතනයේ නම අලුත් එකක් නම් නොවේ.
එනවා කියපු අය කෝ?
මීට අමතරව ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ වාඩිවූ දින සිටම ඔහු වටා සිටින පිරිස් මැතිරූ මන්තරය වූයේ සජබයෙන් විශාල පිරිසක් ජනාධිපතිවරයා සමග එක්වීමට නියමිතව සිටින බවකි. පසුගිය කාලවලදී එජාප ප්‍රධානීන් වන වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර, පී. හැරිසන් වැනි පිරිස් මාධ්‍ය හමුවේ කළ කී කතා බැලුවහොත් ඔවුන් නිතරම කියා සිටියේ සජබයෙන් 10ක් එනවා, 20ක් එනවා, 40ක් එනවා යැයි කියාය. ඒ කාලයේදීත් අප පැහැදිලිවම කියා සිටියේ සජබයෙන් කිසිදු මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා සමග එක් නොවන බවකි. කිහිප වතාවක්ම එහෙට මෙහෙට පැන පුරුදු සහ දේශපාලන ජීවිතයේ අන්තිම අඩියේ සිටින ආතක් පාතක් නැති දෙතුන් දෙනකු හැරෙන්නට එවැනි තීන්දුවක් ගන්නා කිසිදු මන්ත්‍රීවරයකු සජබයේ නොමැති බවද අපි එහිදී පැහැදිලිවම කියා සිටියෙමු.
කෙසේවෙතත් පසුගිය සතිය වන විට ජනාධිපතිවරයාට හිතවත් එක්තරා ව්‍යාපාරිකයකු දැනුම් දී ඇත්තේ ලබන මැයි මාසයේදී සජබයෙන් කණ්ඩායමක් ජනාධිපතිවරයාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. නමුත් අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ සජබ කිසිදු මන්ත්‍රීවරයකු මැයි මාසයේදී හෝ ආණ්ඩුවට එක්වීමට සූදානම් නොමැති බවකි. අප පෙර කී ආකාරයටම එහෙට මෙහෙට පැන පැන රිළව් මෙන් දේශපාලනය කරන දෙතුන් දෙනකු සහ ආණ්ඩුව සමග හොර ගනුදෙනු කළ කිහිප දෙනකු හැරෙන්නට සජබ වෙන කිසිවකුත් ආණ්ඩුවට එකතු වීමට සූදානම් නොමැති බව මෙවරද අප වගකීමෙන් යුතුව ලියා තැබීමට සූදානම්ය. එමෙන්ම ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සමග රෑට රෑට ඩීල් දැමූ එම නම් ලැයිස්තුව අප ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ වහාම රටට හෙළිදරව් කිරීමටද සූදානම්ය. මන්ද යත් මෙවර ප්‍රධාන පෙළේ මැතිවරණයක් පැමිණෙන්නේ විශාල ජන අරගලයක් හමුවේ විධායක ජනාධිපතිවරයකුට පස්සා දොරෙන් පැන ගෙදර යෑමට සිදුවීමෙන් අනතුරුවය. එවැනි තත්ත්වයකදී තවදුරටත් මේ එහෙට මෙහෙට පනින දේශපාලන රිළවුන් පිළිබඳ ජනතාව දැනගත යුතු නිසා ඔවුන්ගේ නම් හෙළිදරව් කිරීමට අප කටයුතු කරන්නේ එය ජාතික වගකීමක් ලෙස සලකාය.
තවත් මත විමසුමක්
කෙසේවෙතත් මතු ඇති දේශපාලන වටපිටාව හමුවේ ජනාධිපතිවරයා සිටින්නේ තවදුරටත් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා කල් මරමින්ය. ඒ සඳහා මේ දිනවල ජනාධිපතිවරයා තමන් සමීපයේ සිටින ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට තවත් අලුත් තෙලක් බෙදමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, අප රටට හෙළිදරව් කළ මත විමසුම පසෙකින් තිබියදී තවත් අලුත් මත විමසුමක් සිදුකිරීම සඳහා තමන් එක්තරා ආයතනයකට භාරදුන් බව කියමිනි.
‘ජනාධිපතිවරණය ගැන එක සර්වේ එකක් නම් ඇවිත් තිබුණා. මම එක දැක්කා. ඒක හරි. නමුත් මට ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ. ඒ හින්දා මම තවත් කණ්ඩායමකට අලුත් සර්වේ එකක් කරන්න භාරදුන්නා. ඒකේ උත්තරේ මට එන්න තව සති හය හතක් යයි. ඒ කාලය අතරතුර වෙන පක්ෂවලින් ආණ්ඩුවට ගේන අය අරගෙන එන්න…’ යනුවෙන් ජනාධිපතිවරයා සිය සමීපතමයන්ට දැනුම් දී ඇති බව ආරංචිය. නමුත් මේ මත විමසුම සිදුකිරීමට ජනාධිපතිවරයා භාරදී ඇති ආයතනය කුමක්ද යන්න පිළිබඳ එහිදී කිසිදු අනාවරණයක් සිදුව නැත.
ණය වැඩෙත් අවුලක වගේ
මීට අමතරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපතිවරයා බර තබා තිබූ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අතිවිශේෂ හෙළිදරව්වක් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය මගින් හෙළිකිරීමට අප සූදානම්ය. ජනාධිපතිවරයා සූදානමින් සිටියේ කෙසේ හෝ ජූලි මාසය අග වන විට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කොට එය විශාල ජයග්‍රහණයක් ලෙස රටට පෙන්වා ජනාධිපතිවරණය සඳහා ලොකු ගැම්මක් ගැනීමටය. ඒ අනුව පසුගිය සතියේ මේ පිළිබඳ කළ අනාවරණයෙන් පසු අපද විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අලුත්ම තත්ත්වය පිළිබඳ සොයා බැලීමක නිරත වීමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ තවමත් චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණ නෙමැති බවකි. අගමැති දිනේෂ් ගුණවර්ධන මතා හදිසියේම චීනය බලා පිටත්ව ගියේත් මේ සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහාය. නමුත් එම චීන ගමනේදී ගිවිසුම් 13කට අස්සන් තැබීමට නියමිතව තිබුණද අවසානයේදී අස්සන් තබා තිබුණේ ගිවිසුම් 9කට පමණි. ඉතිරි ගිවිසුම් 4 අස්සන් නොකිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් හෝ චීනය පැත්තෙන් මෙතෙක් කිසිදු අනාවරණයක් සිදුකොට නොතිබීම විශේෂය.
පැරිස් සමාජයත් දෙගිඩියාවෙන්
මේ ආකාරයට චීන ණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොමැති පසුබිමක පැරිස් සමාජය සහ ඇමෙරිකාවද ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිටින්නේ තරමක දෙගිඩියාවකය.ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම සාකච්ඡා බොහෝදුරට ඔක්තෝබර් මාසය දක්වා ඇදී යනු ඇති බවත්, ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවත්ය. ඒ වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව ඇති නිසා ජනාධිපතිවරයා සතුව ඇති ලොකු තුරුම්පුවක් නිශ්ක්‍රීය වන ආකාරයක් දැකගන්නට පුළුවන.
චීනයත් සැකයෙන්
මේ අතර, චීන පර්යේෂණ නෞකා සම්බන්ධයෙන්ද පසුගිය කාලයේදී චීනය, ඉන්දියාව හා ලංකාව අතර පැවැතියේ සීතල යුද්ධයකි. චීන පර්යේෂණ නෞකා ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා අවසර ලබාදුන් හැම වතාවකදීම ඉන්දියාව ලංකාවටත්, චීනයටත් දැඩි විරෝධයක් පළකිරීම ඊට හේතුව විය. ඒ අනුව මෙවර අප චීන නැව් සම්බන්ධයෙන්ද කොළඹින් චීනයට ගිය විශේෂ පණිවුඩයක් පිළිබඳ තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම්ය. කොළඹින් චීනයට ගිය මෙම පණිවුඩයකින් කියවී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් චීන නෞකා සඳහා ලංකාවට පැමිණීමට අවසර ලබාදිය නොහැකි බවත්, ඉන්දීය මැතිවරණය අවසන් වීමෙන් පසු ඒ සඳහා අවසර ලබාදිය හැකි බවත්ය. කොළඹින් මෙවැනි ආකාරයේ පණිවුඩයක් පැමිණියද ඒ සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් චීනය පැත්තෙන් තබා නොමති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. චීනය ගණන් හදා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය එකඟ කරවා ගැනීම සඳහා මෙවැනි ආකාරයේ පණිවුඩයක් කොළඹින් ලැබී ඇතැයි කියාය. ලබන ජුනි මාසය වන විට ඉන්දියාවේ මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇති අතර, ඒ වන විට ලංකාවේ ජනාධිපතිවරණයද ප්‍රකාශයට පත්කර තිබීම නිසා ඒ ගැන වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව චීනයේ ගණන් හැදීම වී තිබේ. ඒ අනුව, බොහෝ දුරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන චීන ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීම ඔක්තෝබර් මාසය දක්වා ඇදීයන ආකාරයක් මේ වන විට දැකගන්නට ලැබේ.
මෛත්‍රීට සෙනසුරු
ලංකාවේ දේශපාලනය ඇතුළේ එක එක කාලවලදී දැකගන්නට ලැබෙන්නේ මාර මාර දේවල්ය. 2010 පැවැති ජනාධිපතිවරණයේදී එවැනි මාර දෙයක් සිදුවූ අතර, එහිදී දැකගන්නට ලැබුණේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයතු කළ සරත් ෆොන්සේකා මහතා මහින්දට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමය. 2015දීද මෙවැනිම ආකාරයේ මාර වැඩක් සිදුවිය. ඒ, මහින්ද සභාපතිවරයා වශයෙන් සහ නායකයා වශයෙන් කටයුතු කරද්දී පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයෙන් ඉවත්ව මහින්දට එරෙහිව තරග වැදීමය. මහින්දට එරෙහි තරගයේදී 2010දී සරත් ෆොන්සේකා පරාජයට පත්වුවත්, 2015දී මෛත්‍රීපාල සිරිසේන ජය ගැනීමට සමත් විය. ඒ අනුව එදා සිට ශ්‍රීලනිපයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේනය. කෙසේ වෙතත් මේ දිනවල ශ්‍රීලනිපය ඇතුළේ වෙන්නේද මාර මාර දේවල්ය.
බෝම්බ චෝදනාවක්
පසුගිය සතියේ මෛත්‍රීපාල හදිසියේම පක්ෂයේ විධායක සභාව කැඳවූයේ එදින සාකච්ඡා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ කිසිදු දැනුම්දීමකින් තොරවය. මෙහිදී පක්ෂයේ ඉහළ පෙළ තනතුරු දරන නියෝජිතයන්ට අමතරව, විශේෂ පුද්ගලයන් කිහිප දෙනකුටම ආරාධනා කිරීමට මෛත්‍රී පියවර ගෙන තිබිණි. මේ විශේෂ ආරාධිතයන් කවුරුන්ද යන්න පිළිබඳ කොයිම තැනකදීමත් සඳහන් නොවුණත්, හිටිහැටියේම මාධ්‍ය හමුවක් කැඳවමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඒ පිළිබඳ අනාවරණ කිරීමට පියවර ගත්තේය. එහිදී උදය කියා සිටියේ ලංකාවේ පැවැති ෂාරුක් ඛාන්ගේ ප්‍රසංගයට බෝම්බ ගැසීමට චෝදනා ලැබූ සහ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අභයාරාමයේ පැවැති සාකච්ඡාවකට බෝම්බ ගැසීමට චෝදනා එල්ල වී තිබූ දේශපාලන පක්ෂයක නායකයකු ශ්‍රීලනිපයේ මෙම විධායක සභා රැස්වීමට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට නියමිතව ඇතැයි කියාය. එවකදී මෙම සිදුවීම් දෙකම පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව පැවැති ආන්දෝලනය හා සමාන ආන්දෝලනයක් රට ඇතුළේ මතුකර තිබීම නිසා සියලු දෙනාම බලා සිටියේ ශ්‍රීලනිප විධායක සභා රැස්වීමට සහභාගි වන මේ බෝම්බ චෝදනා එල්ලවී ඇති දේශපාලන පක්ෂ නායකයා කවුරුන්ද යන්න දැකබලා ගැනීම සඳහාය. ඒ අනුව අපද බලා සිටියේ මෙම චෝදනා එල්ලවී ඇති පුද්ගලයා කවුරුන්ද යන්න එළියට එන තෙක්ය. නමුත් ඉකුත් සති අන්තයේ පැවැති විධායක සභා රැස්වීමට පිටස්තර අයකු ලෙස සහභාගි වී සිටියේ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පමණි.
ඒ අනුව උදය ගම්මන්පිල ඉඟිකළ බෝම්බ ගැසීමේ චෝදනා එල්ලවී ඇති දේශපාලන පක්ෂ නායකයා විජයදාස රාජපක්ෂ මහතා විය නොහැකි බැවින්, අප ඊට පසු දිනම ගම්මන්පිලට ඇමතුමක් ලබාදී ඔහු කී පරිදි බෝම්බ චෝදනා එල්ලවී ඇති දේශපාලන පක්ෂ නායකයා විජයදාස රාජපක්ෂ මහතාදැයි විමසා සිටියෙමු. ගම්මන්පිල එය ප්‍රතික්ෂේප කරමින් අපට දැනුම් දී සිටියේ තමන් අනාවරණ කළ පුද්ගලයා විජයදාස රාජපක්ෂ මහතා නොවේ යැයි කියාය.
‘නෑ මම කිව්වේ විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා ගැන නෙවෙයි. මම එදා කරපු අනාවරණයෙන් පස්සේ මේ පුද්ගලයා මේ රැස්වීමට එන්න බය වුණා. ඒ වගේම පාස්කු ප්‍රහාරකයන් ගැන තමන් දන්නවා කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරලා තිබුණු ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පස්සේ මේ පක්ෂ නායකයා එතැනට එන්න බයවෙලා තිබ්බා. ඒ අනුව එතුමා ගිහිල්ලා කියලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේනට එයාට ඒ රැස්වීමට එන්න බෑ කියලා. ඊට පස්සේ තමයි විජයදාස රාජපක්ෂ මහත්තයට මේ රැස්වීමට එන්න කියලා ආරාධනා කරලා තියෙන්නේ.’ යන්න එහිදී උදය ගම්මන්පිල ‘රාජ්‍ය රහස්’ තීරයට කී කතාව විය.
පසුපස කතාව
මේ ආකාරයට මෛත්‍රීපාල විජයදාසට විධායක සභා රැස්වීමට ආරාධනා කිරීම පසුපසද විශේෂ කතාවක් තිබේ. මීට පෙර සතියකදී විජයදාස මහනුවර කළ සංචාරයකින් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ රටේ ජනතාවගෙන් ආරාධනාවක් ලැබුණහොත් තමන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවකි. මෛත්‍රීපාලගේ ද සැලසුම වී තිබුණේද විකල්ප ජනාධිපති අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කරවීමටය. ඒ සම්බන්ධයෙන් මෛත්‍රී එක් අවස්ථාවකදී ආණ්ඩුව නියෝජනය කරන නිමල් ලන්සා කණ්ඩායම සමගද සාකච්ඡාවක් පවත්වා තිබිණි. නමුත් එම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මෛත්‍රී විජයදාසට කතා කොට ඔහුට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට පොරොන්දුවක් දී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. විජයදාස ශ්‍රීලනිපය විධායක සභා රැස්වීමට සහභාගි වී සිටියේ එම පොරොන්දුව ප්‍රකාරව බවද දැනගන්නට ඇත.
තුන්දෙනාම දොට්ට
කෙසේ වෙතත් විජයදාසගේ එළියට පැමිණීම පමණක් නොව තවත් මාර මාර සිදුවීම් කිහිපයක්ම එදින ශ්‍රීලනිප විධායක සභා රැස්වීම තුළ සිදුවිය. ඉන් ප්‍රධානම තැනක් ගත්තේ කිසිවකුත් නොදැන සිටි, මෛත්‍රීපාල සහ ඔහුට අතිශය සමීප කිහිප දෙනකු පමණක් දැන සිටි තීන්දුවක් ක්‍රියාත්මක වීමය. එහිදී මෛත්‍රී සිය කතාව අවසානයේදී ආණ්ඩුවේ ඇමැතිකම් දරන මහින්ද අමරවීරගේත්, ලසන්ත අලගියවන්නගේත් ආණ්ඩුව සමග ඉදිරියට ගමන් කළ යුතු බව කියන දුමින්ද දිසානායකගේත් තනතුරු ඉවත් කිරීමට කටයුතු කරන බව පවසා ඊට පක්ෂ සියලු දෙනා අත් ඔසවන ලෙස දැනුම් දී සිටියේය. ඒ අනුව, රැස්ව සිටි පිරිසෙන් බහුතරයක් ඊට අත් උස්සන ආකාරයක් දැකගන්නට ලැබුණු නිසා මෛත්‍රීපාල කියා සිටියේ සභාවේ ඒකමතික තීරණයට අනුව මේ තිදෙනා අදාළ තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බවකි. ඒ වෙනුවට හෙක්ටර් බෙත්මගේත්, සරත් ඒකනායකත්, කේ.ජී ගුණවර්ධනත් පත්කරගන්නා බව සභාවට දැනුම් දීමටද මෛත්‍රීපාල පියවර ගත්තේය.
කිසිවකුත් නොසිතූ පරිදි සිදුවූ මෙම සිදුවීමත් සමග සභාවේ සිටි අමරවීරත්, දුමින්දත් අන්දුන් කුන්දුන් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව රැස්වීම අවසානයේ වහාම මාධ්‍ය හමුවක් කැඳවූ මේ තිදෙනා කියා සිටියේ මෛත්‍රීපාල කළ මෙම ක්‍රියාව නීති විරෝධී බවත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. කිව්වා වගේම ඊට පසු දින අධිකරණය හමුවට ගිය මේ තිදෙනා තමන් පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෛත්‍රීපාලට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමට පියවර ගත්හ.
චන්ද්‍රිකාත් ගේමට
එපමණක් නොව මෙම සිදුවීමත් සමග මේ තිදෙනා ශ්‍රීලනිපයේ හිටපු සභාපතිවරියක වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ මෛත්‍රීපාලගේ ශ්‍රීලනිප සභාපති ධුරයට එරෙහිව චන්ද්‍රිකාද අධිකරණය හමුවට ගොස් වාරණ නියෝගයක් ගැනීමට කටයුතු කිරීමය. එම වාරණ නියෝගය ගැනීමත් සමග පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ දුමින්ද, ලසන්ත සහ අමරවීර කළේ පක්ෂ මූලස්ථානය පිහිටි ඩාර්ලි පාරේ කාර්යාලයටම ගොස් මෛත්‍රීපාලට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමය. එහිදී ඔවුන් ශ්‍රීලනිප බලය යළි අල්ලාගත් බව පෙන්වමින්, පක්ෂය ඇතුළේ සිදුවන දෑ බලා සිටීමට නොහැකිව චන්ද්‍රිකා අධිකරණය හමුවට ගොස් මෛත්‍රීගේ සභාපතිත්වයට එරෙහිව වාරණ නියෝගයක් ගත් බවත්, ඒ අනුව දැන් ශ්‍රීලනිපය හැර ගිය පිරිස් හට යළි ශ්‍රීලනිපයට ඒමට හැකියාව ඇති බවත් කියා සිටියහ.
කෙසේ වෙතත් මෛත්‍රීද මේ සම්බන්ධයෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මේ සියලු දෙනා අධිකරණය හමුවට ගොස් ඒකපාර්ශ්විකව අදහස් දක්වා වාරණ නියෝග රැගෙන ඇති බවත්, ඉදිරියේදී අධිකරණය හමුවේ ඊට එරෙහිව කරුණු දක්වන බවත්ය. මේ වන විට දේශපාලනයේ මාර මාර සිදුවීම් සිදුවෙමින් පවතින බව කතාව ආරම්භයේදීම අප කියා සිටියේ ඒ නිසාය.
විමල්ලාත් විජයදාසට?
ඒ කොයිහැටි වෙතත් ආන්දෝලනාත්මක ශ්‍රීලනිප විධායක සභා රැස්වීමේදී විජයදාස එළියට පැමිණීමත් සමග පොහොට්ටුවේ සිට ස්වාධීන වූ තවත් පාර්ශ්වයක් වන විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් උත්තර ලංකා සභාගයද විජයදාසට සහාය දක්වන ස්ථාවරයකට ඒමේ වැඩි ඉඩකඩක් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය කාලය පුරාම විමල්ගේ උත්තර ලංකා සභාගය ඇතුළේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී අවධාරණය කෙරුණු එක් ප්‍රධාන කරුණක් වූයේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඇතුළේ සිටින දූෂණ චෝදනා නැති තරුණ සාමාජිකයකු ඉන් එළියට ගෙන ජනාධිපති ඡන්ද සටනට ඉදිරිපත් කළ යුතු යැයි කියාය. ඒ අනුව මෙම කණ්ඩායම දකුණු පළාත නියෝජනය කරන මැදි වයසේ සිටින ප්‍රබල ඇමැතිවරයකු සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට පියවර ගත්හ. නමුත් මෙම සාකච්ඡාවලදී ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් ගැම්මක් මෙම ඇමැතිවරයා තුළ නොමැති බවත්, ඔහුගේද ඊට වැඩි කැමැත්තක් නොමැති බවත් විමල් ඇතුළු පිරිසට වැටහිණි. එම නිසා එම සාකච්ඡා ලත් තැනම ලොප් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
නමුත් ශ්‍රීලනිපය හරහා විජයදාසගේ කලඑළි බැසීමත් සමග විමල්ගේ උත්තර ලංකා සභාගයද විජයදාසට සහයෝගය දැක්වීමේ වැඩි සම්භාවිතාවක් තිබේ. මන්ද යත් විජයදාසද නියෝජනය කරන්නේ විමල්ලා නියෝජනය කරන සිංහල බෞද්ධ බලවේගයන්ය. විජයදාස පසුපසද විශාල හිමිවරු පිරිසක් සිටිති. අවස්ථා කිහිපයකදී දේශපාලන වශයෙන් පිල් මාරුකිරීම් සිදුකළද විජයදාසට එරෙහිව දූෂණ අක්‍රමිකතා චෝදනා එල්ල වී නොමැත.
අනෙක් අතට විමල්ලාද සිටියේ කැබිනට ඇමැතිවරයකු ආණ්ඩුවෙන් එළියට ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි ආකාරයක් සොයමින්ය. ඒ සියල්ලටම විජයදාසගේ ගැළපීමක් ඇති නිසා ඉදිරියේදී විමල් පිලද විජයදාසට සහාය දැක්වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත. එසේ වුවහොත් ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේදී තවත් හොඳ ජල්ලි රැසක්ම රටේ ජනතාවට දැකගත හැකි වනවා නොඅනුමානය. මන්ද 2015 ජනාධිපතිවරණ වේදකාවේ තනිකරම දැකගත හැකි වූයේ රාජපක්ෂවරුන්ට එරෙහි චෝදනාය. ඒ හොරකම් රැල්ලේ පිහිනා ගොස් මෛත්‍රීපාල ජය ලැබීය. 2019 ජනාධිපතිවරණ වේදිකාවෙදී තනිකරම දැකගත හැකි වූයේ පාස්කු ප්‍රහාරය සහ මහබැංකු බැඳුම්කර සිද්ධිය මුල්කරගෙන යහපාලන ආණ්ඩුවට එල්ල වූ චෝදනාය. ඒ රැල්ලේ පිහිනා ගොස් ගෝඨාභය ජය ලැබීය. නමුත් දැන් මේ චෝදනාවලින් 2015 රාජපක්ෂවරුන්ට එල්ලවූ චෝදනා වලංගු නැත. වලංගු වනු ඇත්තේ වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගෙන දූෂණ වංචා චෝදනාය. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී කැබිනට් අමාත්‍යවරයකු ආණ්ඩුවෙන් එළියට බැස ජනාධිපති ඡන්ද සටනට ඉදිරිපත් වන්නේ නම් පසුගිය වසර දෙක තුළ වත්මන් ආණ්ඩුව යටතේ සිදුව ඇතැයි කියන දූෂණ වංචාවලට මැතිවරණ වේදිකාවේ වැඩි ඉඩකඩක් වෙන්වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
පොහොට්ටුව බෙදෙයි
මේ සියල්ල අතරතුර පොහොට්ටුවද මේ දිනවල වෙනම ගමනක් යෑම සඳහා අවශ්‍ය කරන දේශපාලන පසුබිම නිර්මාණය කරමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම මෙතෙක් පක්ෂයේ ජාතික සංවිධායක ධුරය දැරූ බැසිල් රාජපක්ෂ ඉන් ඉවත් වී රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා වූ නාමල් රාජපක්ෂ හට එම තනතුර ලබාදීමත් සමග නාමල් මේ වනවිට පක්ෂය ඇතුළේ වැඩ පටන්ගෙන ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඒ අනුව නාමල් සිය දේශපාලන බළකොටුව වූ හම්බන්තොටින්ම පළමු දේශපාලන රැස්වීම පැවැත්වූයේ කාලයකට පසු මහින්දවද දේශපාලන වේදිකාවට එක්කර ගනිමිනි. ඊට පොහොට්ටුවේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක්ද, විශාල පාක්ෂිකයන් පිරිසක්ද එක්ව සිට ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් නාමල්ගේ හම්බන්තොට රැස්වීමේදී පොහොට්ටුව ඇතුළේ ඇති බෙදීම පැහැදිලිවම දැකගන්නට ලැබිණි. ඒ, ඊට පොහොට්ටුව නියෝජනය කරමින් ආණ්ඩුවට එක්ව සිටින ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර ඇතුළු ඇමැති ධුර දරන විශාල පිරිසක් එක්ව නොසිටීම හේතුකොට ගෙනය. 2015 මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු මහින්ද සුළඟ අරඹමින් නුගේගොඩ පැවැති රැස්වීමට එක්වූ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයකු වූ ප්‍රසන්න මෙවර මහින්ද යළි වේදිකාවට ගොඩවූ හම්බන්තොට රැලියේදී දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ප්‍රසන්න ඇතුළු මෙම කණ්ඩායම නාමල් සංවිධාන කළ හම්බන්තොට රැස්වීම වර්ජනය කළ ආකාරයක් පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
ප්‍රසන්නලා 12 එළියට
එපමණක් නොව ප්‍රසන්න, කංචන ඇතුළු කණ්ඩායම ඉන් පසුව වෙනම රැස්වී පොහොට්ටුවට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටද පියවර ගෙන තිබණි. මෙම සාකච්ඡාවලදී තීරණය වූයේ පොහොට්ටුවේ හම්බන්තොට රැලියට ප්‍රතිචාර දැක්වීම සඳහා වෙනම රැලියක් පැවැත්විය යුතු යැයි කියාය. එය මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කංචන භාරගත්තේය. මෙම රැස්වීම නාමල් ඇතුළු පොහොට්ටුවට විරුද්ධවත්, ජනාධිපතිවරයාට පක්ෂවත් පැවැත්වීම සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝව අදහස් හුවමාරු විය. ඒ සඳහා දිනය ලෙස තෝරාගත්තේ අප්‍රේල් 12 වැනිදාය.
මෙම රැස්වීම සංවිධාන කිරීමට කංචන භාරගැනීම පසුපසද යම් කතාවක් තිබේ. ඒ, අවසාන වතාවට බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී සිදුවූ අලකලංචියය. එදින පොහොට්ටුවේ මාධ්‍ය ඒකකය නියෝජනය කරන එරන්ද ගිනිගේ නමැත්තා විසින් කංචන යනු රනිල්ගේ දරුවකු ලෙස හඳුන්වමින් කළ කතාව මුල්කරගෙන කංචන හා එරන්ද අතර ගුටි කෙළියක් සිදුවූ බව ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි වාර්තා කර සිටියෙමු. ඒ අනුව කංචන සූදානම් වන්නේ ලබන 12 වැනිදා මාතර රැලියක් පවත්වා නිල වශයෙන් පොහොට්ටු දේශපාලනයට තිත තැබීමටද යන්න බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එමෙන්ම මේ රැලිය හරහා 12 වැනිදාට ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ප්‍රමාණයද රටටම දැකගැනීමට හැකිවනු ඇත.
නාමල්ටත් විරෝධයක්
මීට අමතරව නාමල්ගේ ජාතික සංවිධායක ධුරයට මෙන්ම පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නාමල් ඉදිරිපත් වීමට දරන උත්සාහය පිළිබඳවද පසුගිය සතියේදී ප්‍රසන්න රණතුංග ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කළ ආකාරයක් දැකගත හැකි විය. නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරය භාරගැනීමත් සමග ප්‍රසන්න කියා සිටියේ තවදුරටත් බැසිල් ජාතික සංවිධායක ධුරයේ කටයුතු කළා නම් බැසිල් සමග ගනුදෙනු කිරීම පහසු යැයි කියාය. ඊට අමතරව පසුගිය සතියේ 360 දේශපාලන වැඩසටහනට එක්වෙමින් නාමල් ඉලක්ක කර බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමටද ප්‍රසන්න කටයුතු කළේය. එහිදී නාමල් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දක්වන්නේද යනුවෙන් විමසා සිටි ප්‍රශ්නයකදී ප්‍රසන්න කෙළින්ම කියා සිටියේ එසේ වුවහොත් තමන් නාමල්ට සහාය නොදක්වන බවය. එවැනි තත්ත්වයකදී තමා දේශපාලන වශයෙන් නිහඬව සිටින බවද ප්‍රසන්න කියා සිටියේය.
රිටර්න් එක හම්බ වෙයි
ප්‍රසන්නගේ මෙම ප්‍රකාශයත් සමග පොහොට්ටුව ඇතුළේ මෙතෙක් තිරය පිටුපස පැවැති බෙදීම ප්‍රසිද්ධියේම කලඑළි බැසි ආකාරයක් දැකගත හැකි විය. ඒ, පසුගිය සඳුදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. එදින ආණ්ඩුව බැංකු සංශෝධන පනතක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඉදිරිපත් කිරීම සඳහා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටියේය. මෙහිදී මෙම පනතට පොහොට්ටුවේ අති බහුතරයක් මන්ත්‍රීවරුන් විරෝධය පළකරමින් කියා සිටියේ ඊට එකඟ වීමට හැකියාවක් නොමැති බව පවසමිනි. ඒ විරෝධය මුලින්ම පළකළේ බැසිල් පිල නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස ප්‍රකට මධුර විතානගේය. මධුර පෙන්වා දුන්නේ ආණ්ඩුව ගේන හැම පනතකටම අත් එසවීමට තමන්ට නොහැකි යැයි කියාය.
‘ආණ්ඩුව ගේන හැම එකකටම අත් උස්සන්න අපිට බෑ. ඒ ගේන පනත්වල වගකීම ආණ්ඩුව භාරගන්න ඕනෙ. නැත්නම් අන්තිමට වෙන්නේ අපේ ගෙවල් ගිනිතියන එකයි…’ යනුවෙන් මධුර කියද්දී අගමැති දිනේෂ්ද මෙම පනතට විරෝධය පළකළ ආකාරයක් දැකගත හැකි විය.
‘මේ පනතෙන් බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පුද්ගලයන් පත්කිරීමේ බලය ආණ්ඩුකාරවරුන්ට පවරලා. එහෙම කරන්නේ කොහොමද, මූල්‍ය කටයුතුවල සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එහෙම පාර්ලිමේන්තුවට මුදල් බලය තියෙනවා නම් බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කරන්නේ කවුද කියලා දැනගැනීමේ අයිතියක් පාර්ලිමේන්තුවට තියෙන්න ඕනේ’ යනුවෙන් කියමින් දිනේෂ්ද ඊට විරෝධය පළ කළ අයුරු දැකගත හැකි විය.
පසුපෙළ නැගිට යයි
කෙසේ වෙතත් මේ කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයේදී පොහොට්ටුව විවාදයෙන් මගහැර ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටු ඇමැතිවරයකු වන දිලුම් අමුණුගමගේ කතාවෙන් පසු අදහස් දැක්වීමට පොහොට්ටු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට නියමිතව තිබුණද ඒ අවස්ථාවේදී ඔහු සභාවේ සිටියේ නැත. රංජිත් සැලකෙන්නේ බැසිල් පිල නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙසටය. රංජිත් පමණක් නොව පොහොට්ටුවේ කිසිදු කථිකයකු ඉන් අනතුරුව කෙටුම්පතට පක්ෂව ආණ්ඩුව වෙනුවෙන් කතාකිරීමට සභාගැබේ නොසිටීම විශේෂ සිදුවීමක් විය. එය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ප්‍රසන්න හට පොහොට්ටුවෙන් දුන් බරපතළ සංඥාවක් ලෙස සැලකිය හැකිය.
මෙම බෙදීම පාර්ලිමේන්තුව කල්තබන විවාදයේදීද දැකගන්නට ලැබිණි. එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විවාදය සඳහා වැඩිපුර පැයක කාලයක් ලබාදෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත් කළ අතර, සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊට එකඟතාව පළකිරීමට පියවර ගෙන තිබිණි. නමුත් එහිදී බැසිල් පිල නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරියක වූ කෝකිලා ගුණවර්ධන ඊට විරෝධය පළකිරීමට පියවර ගැනීමත් සමග අවසානයේදී ලබාදුන් පැයක කාලය පැය භාගයක් දක්වා අඩුකිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. නමුත් ඊටද විරෝධය පළකළ කෝකිලා ඇතුළු පොහොට්ටුවෙ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සභාගැබෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී විපක්ෂය උපක්‍රමශීලීව පනත සම්මත කිරීමට ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නම් ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ අර්බුදයකට යැවීමේ අවස්ථාවක් තිබූ බව බොහෝ දෙනාගේ අදහසය.
අවසානයට වෙන දේ
කෙසේ වෙතත් මේ අර්බුදයේ අවසානය පිළිබඳ පොහොට්ටුවේ මහමොළකරු වන බැසිල් රාජපක්ෂ මහතා පූර්ණ දැනුවත්භාවයකින් යුතුව කටයුතු කරන බවක් පෙනෙන්නට ඇත්තේ යම් තැනකදී ඔහු කළ ප්‍රකාශයක් මුල්කරගෙනය. එහිදී බැසිල් පවසා ඇත්තේ ප්‍රසන්නලා, කංචනලා පක්ෂයෙන් ඉවත් වීමට සැලසුම් කර සිටින නමුත් වැඩි කල් යන්නට මත්තෙන් ඔවුන්ට යළි පොහොට්ටුවට ඒමට සිදුවනු ඇතැයි කියාය.
‘ප්‍රසන්නලා, කංචනලා පක්ෂයෙන් එළියට යන්නයි ඉන්නේ. හැබැයි මේ අයට යන්න තියෙන කාලසීමාව අඩුයි. මේ අය මෙහෙම හැසිරෙන්නේ ඉස්සරහට වෙන්න තියෙන ගොඩක් දේවල් දන්නේ නැතිවයි. ඒ දේවල් වෙන්න පටන් ගත්තාම මේ අයට පොහොට්ටු කාර්යාලයේ ගේට්ටුව ළඟට එන්න වෙන දවස වැඩි ඈතක නෑ. අපි එදාට බලාගමු…’ යන්න බැසිල් එහිදී කර තිබූ කතාවය. ඒ අනුව බැසිල් යම් දේශපාලන සැලසුමක සිට කටයුතු කරන බව හොඳටම පැහැදිලිය.
දෙකම එකට?
මේ අතර, ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහ මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ බැසිල් ඊට ජනාධිපතිවරයාගේ විරෝධය පළවීමත් සමග තවත් අලුත් යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවක් ආරංචිය. ඒ, මුලින් මහ මැතිවරණය පැවැත්විය නොහැකි නම් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකට පවත්වන ලෙස ජනාධිපතිවරයා වෙත යෝජනා කොට තිබීමය. එවැනි තත්ත්වයකදී දෙපාර්ශ්වයටම වන හානිය අවම කරගත හැකි බව බැසිල්ගේ මතය වී තිබේ. මේ සඳහ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කුමක්ද යන්න පැහැදිලි නැතත් පසුගිය සතියේ සිදුවූ එක්තරා විශේෂ සිදුවීමක් හරහා මේ සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාගැනීමට හැකියාවක් තිබේ.
පසුගිය සතියේ සජිත්ට ලැබුණු එක්තරා විශේෂ තොරතුරකින් කියැවුණේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මැතිවරණ කොමිසම වෙත විශේෂ ලිපියක් ඉදිරිපත් කොට ඇති බවත්, ඒ හරහා ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා කොපමණ මුදලක් වියදම් වනු ඇද්ද යන්න පිළිබඳ විමසා ඇති බවත්ය. ජනාධිපතිවරණ, මහමැතිවරණ මාතෘකා මැද හදිසියේ ජනමත විචාරණ මාතෘකාවකුත් කරළියට පැමිණීම හේතුවෙන් සජිත්ද වහාම මේ පිළිබඳ තොරතුරු සොයා බැලීමට පියවර ගෙන තිබිණි. එහිදී සජිත්ට දැනගන්නට ලැබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එවැනි ලිපියක් මැතිවරණ කොමිස වෙත ඉදිරිපත් කොට ඇති බව සත්‍ය බවත්, එහි ජනමත විචාරණයක් සඳහා පමණක් නොව ජනාධිපතිවරණය, මහමැතිවරණය සහ ජනමත විචාරණය යන මැතිවරණ තුනටම යන වියදම් සම්බන්ධයෙන් විමසා ඇති බවත්ය. ඒ අනුව, දැන් ගැටලුව වී ඇත්තේ ආණ්ඩුව ජනාධිපතිවරණය පමණක් නොව මහ මැතිවරණයක් සහ ජනමත විචාරණයක් යන මැතිවරණ තුනම එකට තැබීමට සැලසුම් කරමින් සිටින්නේද යන්නය.
රනිල් බැසිල් යළි හමුවක්
මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී බැසිල් හා රනිල් අතර තවත් විශේෂ හමුවක් සිදුවිය. මේ, බැසිල් ඇමෙරිකාවේ සිට පැමිණි පසු ජනාධිපතිවරයා හමුවූ සිවුවැනි අවස්ථාවය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හමුවීමට යෑමට මොහොතක් තියා බැසිල්ට සිය හිතවතකුගෙන් ලැබුණු එක්තරා විශේෂ දුරකතන ඇමතුමකින් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින යම් කරුණක් පිළිබඳ විශේෂ දැනුම් දීමක් සිදුකළේය. එහිදී මෙම හිතවතා බැසිල්ට කියා සිටියේ මේ වනවිට නිකුත් වී ඇති එක්තරා විශේෂ ආයතනයක ජනමත විමසුම තමන් පිළිගන්නා නමුත් තවත් මත විමසුමක් සිදුකිරීමට ජනාධිපතිවරයා භාරදී ඇති බව ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිනව යැයි කියාය. ඒ අනුව එම මත විමසුමේ ප්‍රතිඵල ලබන ජුනි මස අග වන විට ලැබෙනු ඇති බවත්, ඒ අනුව ජූලි මාසයේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව ප්‍රකාශ කරනු ඇති බවත් හෙතෙම බැසිල්ට දැනුම්දී සිටියේය. බැසිල් රනිල් සමග සාකච්ඡාවට ගියේ මේ හිතවතා ලබාදුන් ඔත්තුවත් හිතේ තබාගෙනය.
කෙසේ වෙතත් රනිල්-බැසිල් සාකච්ඡාව නිම වීමෙන් පසු මේ හිතවතා යළිත් බැසිල්ට කතාකොට සාකච්ඡාවේදී සිදුවූයේ කුමක්දැයි විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී ගත් කටටම බැසිල් සිනාසෙමින් කියා සිටියේ ‘ඔයාට කවුද ඒ ඔත්තුව දුන්නේ? කියපු එක්කෙනා හරියටම කතාව කියලා තියෙනවා. සාකච්ඡාවේදී රනිල් මට ඔය කතාව ඔය විදියටම කිව්වා. එයා සර්වේ එකක් කරන්න භාරදීලා තියෙනවා කිව්වා. ජූලි වෙද්දී එයාගේ මතය කියන්නම් කිව්වා. එතකොට ඉතින් වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා ඉවරයි.’ යැයි එහිදී බැසිල් සිනාසෙමින් කියා සිටි කතාව විය.
සජබ ජාජබ විවාදය
සජිත් පසුගිය සති දෙකේම සිටියේ වවුනියාවේ සහ මුලතිව්වල දරුවන්ට සක්වළ වැඩසටහන යටතේ ස්මාර්ට් පන්ති කාමර පිරිනමමිනි. සජිත් උතුරේ සිටියදී දකුණේ ලොකු කතාබහකට තුඩුදී තිබූ කාරණයක් වූයේ සජබය විසින් ජාතික ජන බලවේගය වෙත කර තිබූ අභියෝගයක් පිළිබඳවය. එම අභියෝගයෙන් කියැවුණේ රටේ ආර්ථිකය ගොඩදමන ආකාරය පිළිබඳ සජබය සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසය. පළමුව මෙම අභියෝගය ප්‍රසිද්ධියේම පාර්ලිමේන්තුවේදී සිදුකළේ සජබ තරුණ මන්ත්‍රීවරයකු වන නලින් බණ්ඩාරය. නලින් කියා සිටියේ ආර්ථිකය සම්බන්ධයෙන් සජබ ආර්ථික කමිටුව සමග විවාදයකට පැමිණෙන ලෙසට ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝග කරන බවකි. නලින් තුන් හතර සැරයක්ම පාර්ලිමේන්තුවේ පමණක් නොව ඉන් පිටතදීන් මෙම අභියෝගය සිදුකළද ජාතික ජන බලවේගයෙන් ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැත.
නමුත් ඉන් අනතුරුව සජබ ආර්ථික කමිටුවේ නියෝජිතයන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න ප්‍රසිද්ධියේම මෙම අභියෝගය සිදුකරමින් මාලිමාවේ ආර්ථික කවුන්සිලය නියා්ජනය කරන සුනිල් හඳුන්නෙත්තිටත්, ආචාර්ය අනිල් ජයන්තටත්, මහාචාර්ය සීතා බණ්ඩාරටත් ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් සිදුකිරීම සඳහා පැමිණෙන ලෙස දනුම් දී සිටියේය. නමුත් ඊටද ජවිපෙ පැත්තෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
කෙසේ වෙතත් හදිසියේ වාගේ පසුගිය සතියේ සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සජබ නියෝජිතයන් සමග විවාද කොට පලක් නොමැති බවත්, විවාද කරනවා නම් සජිත් ප්‍රේමදාස සමග විවාද කිරීමට පක්ෂ නායක අනුර කුමාර දිසානායක සූදානම් බවත්ය. ඒ අවස්ථාවේ බොහෝ දෙනා කියා සිටියේ සජබ ආර්ථික කමිටුව සමග විවාදය මගහැරීම සඳහා හඳුන්නෙත්ති මෙසේ සජිත්ට විවාදයට ඇරයුම් කර ඇති බවත්, සජිත් කිසිසේත්ම අනුර සමග විවාදයකට එක් නොවනු ඇති බවත්ය.
සජිත් ලෑස්තියි
හඳුන්නෙත්ති මේ ප්‍රකාශය කරන විට සජිත් සිටියේ මුලතිව්වල දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි. එහිදී හඳුන්නෙත්ති කළ මෙම ප්‍රකාශය පක්ෂ සාමාජිකයකු විසින් දැනුම් දීමත් සමග සජිත් වහාම කළේ කෝල් කොන්ෆරන්ස් දමා හර්ෂත්, කබීරුත්, ඉරානුත් සිය දුරකතනයට එකවර සම්බන්ධ කරගැනීමය. ඒ අනුව හඳුන්නෙත්ති කළ කතාව පිළිබඳ ඔවුන්ගෙන් විමසා සිටි සජිත්, තමන් අනුර සමග රටේ ආර්ථිකය පිළිබඳ විවාද කිරීමට සූදානම් බවත්, හඳුන්නෙත්තිගේ අභියෝගය භාරගත් බවත් රටට දැනුම් දෙන ලෙස කියා සිටියේය. සජිත්ගේ මෙම ප්‍රතිචාරයෙන් පුදුමයට පත්වූ හර්ෂ, පෙරළා විමසා සිටියේ ‘ඔබතුමා මේ කියන්නේ ඇත්තමද?’ කියාය. සජිත් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් විවාද කිරීමට කිසිසේත්ම බිය නොවන බවත්, අනුර සමග ආර්ථිකය සම්බන්ධයෙන් විවාද කිරීම තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත්ය. මීට අමතරව නලින් බණ්ඩාරටද දුරකතන ඇමතුමක් ගත් සජිත් හඳුන්නෙත්ති කළ අභියෝගය භාරගැනීමට සුදානම් බව ජවිපෙට දැනුම් දෙන ලෙස කියා සිටියේය. ඒ නුව නලින් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සහ හර්ෂ, කබීර්, ඉරාන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම කරුණ රටට දැනුම්දීමට කටයුතු කළහ. එහිදී හර්ෂ කියා සිටියේ අනුර සහ සජිත් අතර ආර්ථික විවාදය පැවැත්වීම ගැටලුවක් නොමැති නමුත්, පළමුව මාලිමාවේ ආර්ථික කවුන්සිලයට අභියෝග කළේ තම කණ්ඩායම බැවින් මුලින්ම තමන් සමග විවාද කිරීමට ජවිපෙ කටයුතු කළ යුතු යැයි කියාය. මෙහිදී තවත් පියවරක් ඉදිරියට තබමින් ඉරාන්, ආර්ථික විවාදයක් පැවැත්වෙන්නේ නම් එහිදී තමන් විසින් අසනු ලබන ප්‍රශ්න කිහිපය කල් තියාම ජවිපෙට ලබාදීමටද පියවර ගත්තේය. එහිදී ඔහු ප්‍රශ්න කර සිටියේ පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ජවිපෙ ගන්නා තීන්දුව කුමක්ද යන්නත්, අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජවිපෙ ගන්නා තීන්දුව කුමක්ද යන්නත් පිළිබඳවය.
මීට අමතරව මුලතිව්වල සිට විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත්ද කියා සිටියේ තමන් ජවිපෙ අභියෝග භාරගන්නා බවත්, අනුර සමග ආර්ථික විවාදකට සූදානම් බවත්ය. එය ඕනෑම නාලිකාවක ප්‍රසිද්ධියේ සිදුකිරීමට තමන් සූදානම් බවද සජිත් කියා සිටියේය.
ඒ අනුව, සජිතුත්, නලිනුත්, හර්ෂත් මෙසේ අභියෝගය භාරගන්නා බවට ප්‍රකාශ කොට මේ වන විට දින 4 කාලසීමාවක් ඉක්මවා තිබුණද අනුරගෙන් හෝ ජවිපෙන් හෝ සුනිල් හඳුන්නෙත්තිගෙන් හෝ මාලිමාවෙන් හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු උත්තරයක් නොලැබීම විශේෂ සිදුවීමක් වී තිබේ.
සජිත් කාදිනල් හිමි හමුවේ
මීට අමතරව පාස්කු ප්‍රහාරයට වසර 05ක් සම්පූර්ණ වූ ඉකුත් සතියේ සජිත් තවත් විශේෂ අමුත්තකු බැහැදැකීමට ගියේය. ඒ, වෙන කවුරුවත් නොව උති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ය. උන්වහන්සේ මේ දිනවල දණහිසේ ශල්‍යකර්මයක් සිදුකොට සිටින්නේ විවේක සුවයෙනි. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවීම හේතුකොට ගෙන පසුගිය කාලය පුරාම කාදිනල් හිමියන් සිටියේ පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලකයකුට තමන් හමුවීමට කාලවේලාව ලබා නොදෙමිනි. නමුත් සජිත් කළ විශේෂ ඉල්ලීම හමුවේ ඔහුට කාලවේලාව වෙන්කිරීමට කාදිනල් හිමිපාණෝ පියවර ගත්හ.
මෙම හමුවේදී සජිත් කාදිනල් හිමිපාණන් හමුවීමට ගියේ නිකන් නොව, ඉදිරි සජබ රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකිරීමට සූදානම් වන පරීක්ෂණවල දළ සැලැස්මක්ද සකස් කොට ගෙනය. ඒ අනුව උන්වහන්සේ මුණගැසුණු සජිත් පාස්කු මහමොළකරුවන් නීතියේ රැහැනට හසුකරගන්නා ආකාරය කාදිනල් හිමියන්ට පෙන්වා දුන්නේය.
එළඹෙන ජනාධිපතිවරණයේදී තමා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කරගත හොත් මාස 2ක් ඇතුළත් 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ දේශීය හා විදේශීය සාමාජිකයන් 7ත් 9ත් අතර සමන්විත කොමිෂන් සභාවක් පත් කරන බවත්, ඒ තුළින් අතීත හා වර්තමාන සමයට අයත් සමස්ත ආරක්ෂක වැඩපිළිවෙළ අධ්‍යයනය කිරිමක් තුළ එයට සීමා නොවූ වගකීමක් ඉටු කරමින් ඕනෑම ආයතනයක ඕනෑම පුද්ගලයකුගෙන් කිසිදු තහංචියකින් තොරව ප්‍රකාශන ලබාගැනීමේ බලය ලබා දෙන බවත් සජිත් කියා සිටියේය.
එසේම කොමිෂන් සභාව ස්ථාපිත කර සති 6ක් ඇතුළත ඒ හා සමානව එක්ව කටයුතු කිරිමට ස්කොට්ලන්ඩ්යාර්ඩ්, එෆ්.බී.අයි ඇතුළු විදේශ ඔත්තු හා ආරක්ෂක සේවා මෙන්ම දේශීය බුද්ධි අංශ හා ආරක්ෂක අංශවලින් සමන්විත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටුවන බවත්, කොමිෂන් සභාවේ නිර්දේශ හා නියෝගවලට, ශ්‍රී ලංකාවේ නීතිවලට යටත්ව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය කරන බවත් සජිත් කාදිනල් හිමිපාණන්ට පෙන්වා දුන්නේය.
තවද ඒ සඳහා අවශ්‍ය වන ආකාරයට 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 7 (2) හෝ 24 වැනි වගන්ති සංශෝධනය කරන බවත් ඉහත කී වැරදි සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් තීන්දු ලබා දීමට ස්ථිර මහාධිකරණයක් පිහිටුවන බව කී සජිත්, ඒ සදහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්තිය සංශෝධනය කිරිමට පියවර ගන්නා බවත්, නීතිපතිවරයාගෙන් ස්වාධීන වූ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට නීති සම්පාදනය කරන බවත් කියා සිටියේය.
සජිත්ගේ මෙම පැහැදිලි කිරීම සාවධානව අසා සිටි කාදිනල් හිමිපාණන් ඉතා සතුටට පත්ව ඊට අනුමැතිය ලබාදුන් ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ දැනට විවේක සුවයෙන් පසුවන කාදිනල් හිමිපාණන් හරියටම පාස්කු ප්‍රහාරයට වසර 05ක් පිරෙන ලබන අප්‍රේල් 21 වැනි දින දැවැන්ත වැඩපිළිවෙළක් සමග යළි කලඑළි බැසීමට සැලසුම් කරමින් සිටින බවය.