ඉතිහාසයේ පළමු වරට රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු අද (24 වැනිදා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව නතර කළ බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් පැවැසීය.Sri Lanka Latest News
ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් අද (24 වැනිදා) සහ හෙට (25 වැනිදා) යන දින දෙකේ පුද්ගලික චැනල් සේවාවලින් ඉවත් වී 26 සහ 27 දෙදින රජයේ රෝහල්වල සේවාවලින් ඉවත්වීමට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මුලින් තීරණයක් ගෙන තිබිණි.
එහෙත් ඉකුත් සඳුදා (17 වැනිදා) දිනයේම ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් සමග සාකච්ඡා කොට අදාළ ඉල්ලීම් තුන කඩිනමින් ලබාදීමට පොරොන්දුවී ඇත. ඒ අනුව ලබන ජනවාරි 20 ට පෙර අදාළ ඉල්ලීම්වලින් දෙකක් ලබාදිය යුතු බවත් එසේ නොවුණහොත් යළි වර්ජනයකට යාමට විධායක කමිටුව තීරණයක් ගනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් පැවැසීය.
විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ සේවා ව්‍යවස්ථාවක් සැකසීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඉකුත් බදාදා (20) පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ අමතර සේවා කාලයට ගෙවන දීමනාව වෙනුවට ස්ථාවර මාසික දීමනාවක් ලබා ගැනීම, නිල වාහනයක් හෝ සාධාරණ දීමනාවක් ලබා ගැනීම යන ඉල්ලීම් ද මේ අතර ඇත.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ වර්ජනය තාවකාලිකව නතර කළත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක ය.










