ජීවිතවලදී මැරෙන්න කලින් මරණය දැනෙනවා කියලා කතාවක් තියෙනවා. මේකත් ඒ වගේ අදහාගන්න බැරි සිදුවීමක් මට. මම ලංකාදීපේ ඉන්න කාලේ තාත්තා දියත අතිරේකයට දේශපාලන ලිපි ලිව්වා. මම මව්බිමේ ඉඳිද්දත් ලිව්වා. ජනයුගයෙදිත් ලිව්වා. ඒත් වයසත් එක්ක තාත්තට ලියන එක අමාරු වුණා. ඒත් ඒ මතකය නම් පොඩ්ඩක්වත් අඩුවුණේ නැහැ. ඒ හින්දා එතැනින් පස්සේ තාත්තා පත්තරවලට ලිව්වේ නැහැ. මම පෙරැත්ත කළෙත් නැහැ.
තාත්තගේ ජීවිතයේ වැඩියෙන්ම ආදරය කෙරුව වැඩියෙන්ම ආස කෙරුව නළුවෝ දෙන්නා තමයි දිලිප් කුමාර් සහ ගාමිණී ෆොන්සේකා. ඒක මම හොඳටම දන්නවා. තාත්තගේ ආභාෂයට මගේ ලොකු අයියාත් ඒ දෙන්නට ඒ විදියටම ආදරය කළා.
දිලිප් කුමාර්ගේ මරණය දැන ගත්ත වෙලාවේ මට මුලින්ම මතක් වුණේ අපේ ඇල්බම් එකේ තියෙන ෆොටෝ එකක්. දිලිප් ලංකාවට මුලින්ම ආවේ සරසවි සම්මාන උළෙලට. ඒ වෙලාවේ දිලිප් කුමාර් එක්ක තාත්තා ගත්ත ෆොටෝ එක තමයි අපේ ඇල්බම් එකේ තියෙන්නේ.
ඒක මම ගෙදර ගිහින් තාත්තට කිව්වා. ඒ වගේම ඒ වෙලාවේ මම තාත්තට යෝජනාවක් කළා. මම කිව්වා අපි ඒ කතාව පත්තරේට ලියමු කියලා. මම තාත්තට තව යෝජනාවක් කළා. ඒ, ඒ කතාව අයියට කියලා ලියවමු කියලා. මගේ පත්තර ජීවිතේ කවදාවත් සහෝදරයෙකුට එහෙම යෝජනාවක් කරලා නැහැ. ඒත් ඒකට නියම සුදුස්සා එයා තමයි කියලා මට හිතුණා.
ඒක අයියාට කියන්න කියලා මම කිව්වෙත් තාත්තට. අයියත් ඒකට ගොඩක් කැමැති වුණා. දවසක්ම වෙන් කර ගෙන අයියා පාදුක්කේ ඉඳන් කෝච්චියේ ගෙදර ආවා. මම වැඩ ඇරිලා යද්දි තාත්තා එක්ක දවසම කතා කරලා අයියා ආපහු යන්න හදනවා.
මම මේක එවන්නම්. මේක ඉවර වෙලා ගාමිණීගේ එක ලියමු. යන්න කලින් අයියා කිව්වා. ඒ උනන්දුව තාත්තටත් තිබුණා. දවස් ගානක් ගියා. ඒත් අයියා ඒක ලියලා එව්වේ නැහැ. කෝ දමිත තාම ලියලා එව්වේ නැද්ද කියලා තාත්තත් නිතරම ඇහුවා. තාම නැහැ කියලා මම කිව්වා. තාත්තා ආපහු අහද්දිත් අයියා ඒක ලියලා එවලා තිබුණේ නැහැ. තාත්තාට කේන්තිත් ගියා. මමත් තාත්තට කිව්වා අයියට ලියන්න කියලා වද කරන්න කියලා. අයියා ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නැහැ කියලා තාත්තා කිව්වා. ඊළඟට මමත් අයියට කතා කළා.
දිලිප් මැරිලත් සති ගානක් ගියා මේක එවන්නේ නැද්ද කියලා මම ඇහුවා. එවන්නම් කියලා අයියා කිව්වා. දවසක් මම හවස තාත්තා බලන්න යද්දි, අයියා ලිපිය දීලා යන්න ගිහින්. තාත්තා මට ලිපිය දුන්නා. ඊළඟ දවසේ ඔෆිස් එකට ඇවිත් මම ඒ ලිපිය ලියද්දි හරිම ලස්සන අකුරින් හරිම ලස්සනට අයියා ඒක ලියලා තිබුණා. ඒක හරිම ලස්සනයි කියලා මම තාත්තටත් කිව්වා. තාත්තා ඒක අයියටත් කියලා. ඒ බවක් නොකියා අයියා මට කතා කළා. ලිපිය හොඳද කියලා ඇහුවා. හරිම ලස්සනයි. ඔයා දිගටම ලියන්න කියලා මම අයියට කිව්වා.
එතැනින් පස්සේ ඒ ලිපිය මගේ ඔෆිස් මේසේ උඩ තිබුණත් හදිස්සියක් නැති හින්දා ඒක පළ කළේ නැහැ. එහෙම සතියක් දෙකක් ගෙවිලා ගියා. හදිසියේ අපි ඔක්කොම අසනීප වුණා. මම, තාත්තා, අයියා තුන් දෙනාම. අන්තිමට ඒ දෙන්නා අපිව දාලා යන්න ගියා. ඒක දරාගන්න හරිම අමාරු සිදුවීමක්.
ඒ සිදුවීම් ඒ විදියට අවසන් වෙලා ඔෆිස් එකට ආව ගමන් මට මුලින්ම මතක් වුණේ අයියගේ ඒ ලිපිය. ඒ දෙන්නම වැඩියෙන්ම ආදරය කෙරුව නළුවා ගැන ඒ දෙන්නා එකතු වෙලා ලියපු ලිපිය. අයියා පළමුවරට ලියපු ලිපිය. ඒක මගේ අතට දීලා තමයි ඒ දෙන්නා සමුගත්තේ. ඒක හරිම පුදුම දෙයක් විදියටයි මට තේරෙන්නේ. ජීවිතේ හරිම අහඹු දෙයක්. ඒක ඒ දෙන්නට දැනුණා කියලා මට හිතෙනවා.
තාත්තගෙයි, අයියගෙයි තුන් මාසේ දානෙත් ඉවර වුණා. මෙච්චර කල් මගේ මේසේ උඩ තිබුණු ඒ මතක සටහන, ඒ දෙන්නා දීලා ගිය ලිපිය ඒ දෙන්නටම උපහාරයක් විදියට අද මෙහෙම පළ කරනවා.
දිලිප් කුමාර් හින්දි සිනමාවේ අග රජුය. ඛන්නලා, බච්චන්ලා, ෂාරුක් ඛාන්ලා වරින් වර රජ කළත් හින්දි සිනමාවේ අග රජු දිලිප් කුමාර්ය. ඉහත කී නළුවන් මෙන්ම හින්දි සිනමාවේ බිහිවන ඕනෑම නළුවකුගේ සිහිනය දිලිප් කුමාර් සමග රඟපෑමය. රූපකායෙන් දිලිප් නළු ලස්සන නැතත් ඔහු රඟපාන විට ඕනෑම ලස්සන නළුවකු අභිභවා යන ලෙස රඟපෑමට ඔහුට ඇත්තේ උපන් දක්ෂතාවකි. අවුරුදු 98ක් ආයු වලඳා පසුගියදා හින්දි සිනමාවේ අගරජු මෙලොව හැර ගියේය. හින්දි සිනමා ලෝලීන් පමණක් නොව මුළු භාරතයම සංවේගයට පත්වූයේ ඉන්දියානු සිනමාවේ අගරජු නැති වීම ගැනය.
දිලිප් කුමාර් ලංකාවත් සමග ඇත්තේ ඉතා කිට්ටු සබඳතාවකි. කිහිප අවස්ථාවකදීම ලංකාවට පැමිණ ඇති දිලිප් කුමාර් ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම නොවරදවාම හමුවූ මේ පුද්ගලයා ලංකාවේ මාධ්‍ය රජකු ලෙස සැලකිය හැකි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්නයන්ය.
දිලිප් කුමාර් ලංකාවාසීන් දැනගැනීමටත් පෙර ආදි ආනන්දීයයකු වූ එල්මෝ ගුණරත්නයන් දිලිප් කුමාර් දැන සිටියේය. එල්මෝ ගුණරත්නයන්ගේ පන්ති සගයන් සිංහල සිනමාව ගැන පමණක් නොව ඉංග්‍රීසි, හින්දි, දමිළ සිනමාව පිළිබඳවත් උනන්දුවක් දැක්වූවෝ වූහ. පසු කලෙක ප්‍රවීණ මාධ්‍යවේදීන් බවට පත්වූ එස්. සුබසිංහ, ඩී.සී. රණතුංග, ප්‍රෙමිල් රත්නායක, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ එල්මෝ ගුණරත්නයන්ගේ පන්ති සගයන් කිහිප දෙනෙකි. දිලිප් කුමාර්ගේ චිත්‍රපට බැලීමට ලැබී ඇත්තේ ඔවුන්ට බොහොම සීමා සහිතවය.
එයට හේතුව වූයේ දැන් මෙන් සී.ඩී., ටී.වී. කිසිවක් එකල නොවූ නිසාවෙනි. දමිළ චිත්‍රපට ඉඳ හිට හෝ මෙහි සිනමාහල්වල පෙන්නුවත් හින්දි චිත්‍රපටයක් පෙන්වන්නේ ඉතා කලාතුරකිනි. එසේ ගෙන්වා පෙන්වන ලද හින්දි චිත්‍රපට කිහිපයක් නරඹා තිබුණු මෙම ආනන්ද විදුහල් පන්ති සගයන් හින්දි සිනමාවේ ගීතවලට ඇලුම් කළත් නළුවන් පිළිබඳ උනන්දුවක් දැක්වූයේ නැත. මෙම පන්ති සගයන්ගෙන් එල්මෝ ගුණරත්න සහ ඩී.සී. රණතුංග පමණක් හින්දි නළුවන් ගැන පිස්සු වැටී සිටියේය.
එල්මෝ ගුණරත්නයන් දිලිප් කුමාර්වත්, ඩී.සී. රණතුංග රාජ් කපූර්වත් අනුකරණය කරන තරමට පිස්සු වැටී සිටියේය.
එල්මෝ ගුණරත්නයන් කොණ්ඩය පීරුවේද ඇන්දෙ පැලඳුවේද දිලිප් කුමාර් අනුකරණය කරමිනි. ආනන්දයේදී පමණක් නොව පසුව ඔහු මාධ්‍යවේදියකු ලෙස ලේක්හවුසියට බැඳුණත් ඔහු දිලිප් කුමාර් අනුකරණය නැවැත්වූයේ නැත. එල්මෝ ගුණරත්නයන්ගේ මිතුරන් ඔහුව හැඳින්වූයේ ලංකා දිලිප් කුමාර් කියාය. එල්මෝ ගුණරත්නයන් කිසි දිනෙක දිලිප් කුමාර් හඳුනාගැනීමට ලැබෙතැයි කිසිදාක සිතුවේ නැත. එකල හින්දි ගීත ලංකාවේ ජනප්‍රිය වූයේ ටී.වී., සී.ඩී. හෝ වෙනත් මාධ්‍යයක් මෙරට නොතිබූ යුගයක හින්දි ගීත පමණක් රේඩියෝවෙන් සතියකට වරක් අසන්නට ලැබුණු යුගයකය. මරදානේ හංසගිරි වැනි හෝටල් කෙළින්ම හින්දි රේඩියෝ චැනල් අල්ලා දිනපතා හින්දි ගීත අසන්නට සැලැස්වූ කාලයයි.
එම වැඩසටහන් ලංකාවේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි විස්තර විචාරකයන් යොදවා වැඩසටහනක් වශයෙන් ඉදිරිපත් කළ මේ වැඩසටහන් ඉතා ජනප්‍රිය වූ අතර විශේෂයෙන් මරදාන, බොරැල්ල අවට හින්දි ගීත ලෝලීන් මුදල් ගෙවා මෙම වැඩසටහන්වලට සවන් දෙන්න මෙම හෝටල්වලට ඇදෙන්නට විය. එල්මෝ ගුණරත්නයන්ද ඩී.සී. රණතුංග, මොරිස් දහනායක, හරූන් ලන්ත්‍රා, උපාලි අත්තනායක, සිසිර සේනාරත්න වැනි මිතුරන් කැල මුදල් අතේ ඇති විට මෙම වැඩසටහන්වලට සවන් දෙන්නට මෙම ස්ථානවලට රොක් වූ අය අතර විය.
එල්මෝ ගුණරත්නයන් ලේක්හවුස් ආයතනයට එක්වූයේ මේ වකවානුවේය. ඔහුගේ ප්‍රධානියා වූයේ ඩෙන්සිල් පීරිස් සහ මීමන ප්‍රේමතිලකයන්ය. මේ දෙදෙනාම හොඳ කලාකාමීන්ය. එල්මෝ ගුණරත්නයන්ට ඩෙන්සිල් සහ මීමනයන් කලාව පිළිබඳ තිබූ කැමැත්ත නිසා එල්මෝ ගුණරත්නයන්ටද කලාව පිළිබඳ ලියන්නට අවස්ථාව ලැබිණි. විශේෂයෙන් ඉංග්‍රීසි බසින් කලාව පිළිබඳ ලියන්නට, චිත්‍රපට විචාරය කරන්නට අවස්ථාව ලද එල්මෝ ගුණරත්නයන්ට ලංකා සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයන් ඇසුරු කිරීමට හැකි විය. සිනමාස් සමාගමේ ගුණරත්නම් සිලෝන් තියටර්ස් අධිපති ගාඩ්නර් මෙන්ම හින්දි සහ දෙමළ චිත්‍රපට ලංකාවට ගෙන්වූ ජගස්තියානි යන අය එල්මෝ ගුණරත්නයන්ගේ මිතුරන් විය.
එල්මෝ ගුණරත්න යන නාමය ලංකාවේ ජනප්‍රිය වෙමින් තිබූ යුගයයි. 1950 ගණන්වලදී දිනක් ජගස්තියානි මහතාගෙන් එල්මෝ ගුණරත්නයන්ට පණිවුඩයක් ලැබිණි. ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ ‘ආන්’ නම් චිත්‍රපටය ලංකාවේ තිරගත කිරීමට ඔහු සූදානම් කර ඇති බවත්, මේ පිළිබඳ ඩෙන්සිල් පීරිස් මහතාද දැනුවත් කර ඇති බවත්, ‘ආන්’ තිරගත වීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වෙන බවත් ඒ පණිවුඩයයි. එදිනම ඩෙන්සිල් පීරිස් එල්මෝ ගුණරත්නයන්ට කතා කර ‘ආන්’ චිත්‍රපටය ලංකාවේ තිරගත වන දින පැවැත්වෙන උත්සවයට සහභාගි වන ලෙස ඉල්ලීය.
එල්මෝ ගුණරත්නයන් ජගස්තියානිට කතා කර මේ පිළිබඳ තවදුරටත් විමසූ විට ඔහු පැවැසුවේ ‘ආන්’ චිත්‍රපටය තිරගත වන දින එහි ප්‍රධාන චරිත රඟපෑ දිලිප් කුමාර් නම් නළුවා සහ නිම්මි නම් නිළියත් ප්‍රේම්නාත් නම් නළුවත් එදින සහභාගි වන බවය. දිලිප් කුමාර් නිම්මි, ප්‍රේම්නාත් ලංකාවේ එතරම් අසා නොතිබූ නළි නිළියන්ය. එකල හින්දි චිත්‍රපට එතරම් ලංකාවේ තිරග නොවූ අතර ජගස්තියානි නොදන්නා කරුණක් වූයේ ඒ වන විටත් එල්මෝ ගුණරත්නයන් කොණ්ඩෙ පීරුවේද දිලිප් කුමාර් වගේ බවය. තම ප්‍රියතම හින්දි නළුවා හමුවීමට ලැබුණු අවස්ථාව ගැන ප්‍රීතියෙන් පිනායමින් ඡායාරූප ශිල්පී වොලී පෙරේරාද කැටුව එකල ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ වූ රත්මලාන ගුවන් තොටුපොළට පැමිණියේය.
දිලිප් කුමාර්, නිම්මි සහ ප්‍රේම්නාත් එතරම් ලංකාවේ ජනප්‍රිය නොවූ නිසා එතරම් ලංකාවේ ජනප්‍රිය නොවූ නිසා එදින රත්මලාන ගුවන් තොටුපොළ එතරම් පිරිසක් සිටියේ නැත. ජගස්තියානි මහතා පමණක් පැමිණ සිටි අතර ඡායාරූප ශිල්පීන් කිහිප දෙනකු පමණක් ඡායාරූප ගැනීමට පැමිණ සිටියේය. එල්මෝ ගුණරත්නයන් තම ප්‍රියතම නළුවා වූ දිලිප් කුමාර් පළමු වරට සජීවීව දැකීමෙන් ප්‍රීතියෙන් පිනාගියත් එය නොපෙන්වා නියම මාධ්‍යවේදියකු සේ ගොස් ඔවුන්ට කතා කළේය. එහෙත් දිලිප් කුමාර් සුදු ඇඳුමෙන් සැරසී කෝට් එක කර මත එල්ලාගෙන සිටි අතර, ඔහු එතරම් කතා කිරීමට පියත්වයක් නොදැක්වීය.
එල්මෝ ගුණරත්නයන්ද දිලිප්ට කෙතරම් කැමැති වුවත් ‘හලෝ’ පමණක් කියා එළියට පැමිණියේය. ජගස්තියාන් එල්මෝ ගුණරත්නයන්ට සහ වොලී පෙරේරාට එදින සවස තම නිවෙසේ පැවැත්වෙන සාදයට පැමිණෙන ලෙස ආරාධනා කිරීම නිසා නැවත දිලිප් සමග කතා කිරීමට අවස්ථාවක් ලැබේය යන බලාපොරොත්තුවෙන් රත්මලානෙන් පිටව යන ලදී.
එදිනම සවස ජගස්තියානිගේ නිවෙසේ පැවැති සාදයට එල්මෝ ගුණරත්නයන් සහ වොලී පෙරේරා සහභාගි වූයේ බලාපොරොත්තු රැසක් සහිතවය.
බලාපොරෝතතු වූ පරිදි දිලිප්, නිම්මි සහ ප්‍රේම්නාත් සාදයට පැමිණ සිටියහ. දෙවරක් එල්මෝ ගුණරත්නයන් දිලිප් සමග කතා කිරීමට උත්සාහ කළත් නොහැකි වූයේ දිලිප් එතරම් කතා කිරීමට කැමැත්තක් නොදැක්වූ නිසාය. තුන්වැනි වර සාර්ථක වූයේ එල්මෝ ගුණරත්නයන් දිලිප් ගැන දිලිප්ටත් වඩා තොරතුරු දැන සිටි නිසාවෙනි. මුස්ලිම් ජාතිකයකු වූ දිලිප් කුමාර්ගේ නියම නම යූසුෆ් ඛාන්ය. ඉන්දියාව සහ පාකිස්තානය වෙන්වන විට පාකිස්තානයේ ඉපදී සිටි දිලිප් සහ සිය පවුල ඉන්දියාවට පැමිණීමට තීරණය කරන ලදී. එතැන් පටන් ඉන්දියානුවකු වූ දිලිප් සහ සිය පවුල පිළිබඳ සියලු තොරතුරු එල්මෝ ගුණරත්නයන් දිලිප්ගෙන් ඇසූ විට ඔහු එල්මෝ ගුණරත්නයන් ගැන ඇතිකරගත්තේ විශාල කැමැත්තකි.
එතැන් පටන් දිලිප් කුමාර් සියලු දෙනාගෙන් වෙන්වී එල්මෝ ගුණරත්නයන් සමග පමණක් කතාවට වැටිණි. සාදය අවස්න වන විට දිලිප් කුමාර් සහ එල්මෝ ගුණරත්නයන් ඉතා හොඳ මිතුරන් විය. කෙතරම් යහළුවන් වූයේදැයි කිවහොත් ඉන්දියාවට පැමිණි විට ඔහුව හමුවීමට ආරාධනා කළ අතර දිලිප් සාමාන්‍යයෙන් නොකරන දෙයක්ද කළේය. එනම් ඔහුගේ බොම්බාය බන්ද්‍රාවල පාලිහිල්හි සිය නිවෙසට පැමිණෙන ලෙසත් පවසා ඔහුගේ පෞද්ගලික දුරකතන අංකයද එල්මෝ ගුණරත්නයන්ට ලබාදුන්නේය.
ඒ, දිලිප් කුමාර් සහ එල්මෝ ගුණරත්නයන්ගේ මිතුදමේ ආරම්භයයි. මෙම සාදයේදී දිලිප් කුමාර් සහ එල්මෝ ගුණරත්නයන් පැත්තකටවී බර සාකච්ඡාවක නියැළී සිටිනු දුටු ප්‍රේම්නාත් දිලිප් අසලට පැමිණ ඇසුවේ ඔබ බර සාකච්ඡාවක යෙදී සිටින මේ තරුණයා කවුදැයි කියාය. දිලිප් කුමාර් එල්මෝ ගුණරත්නයව හඳුන්වා දෙමින් පවසා සිටියේ අපට වඩා හින්දි සිනමාව ගැනත් ඉන්දියාව ගැනත් අපි ගැනත් හොඳින් දන්නා තරුණ මාධ්‍යවේදියකු බවය. ප්‍රේම්නාත්ද එල්මෝ ගුණරත්නයන් සමග කතාවට එක්වූ අතර ඔහුද එල්මෝ ගුණරත්නයන්ගේ හොඳ මිතුරකු බවට පත්විය.
ඒ අවස්ථාවේදී දිලිප් කුමාර් සහ ප්‍රේම්නාත් ලංකාවේ සිටි කාලය තුළ ඔවුන් ගිය සෑම තැනකම එල්මෝ ගුණරත්නයන්ට එක්වීමට ආරාධනා ලැබුණු අතර දිලිප් කුමාර්ගේ පළමු ලංකා සංචාරය අවසන් වන විට දිලිප් කුමාර් සහ එල්මෝ ගුණරත්නයන් හොඳ මිතුරන් වී සිටියහ. එම සංචාරය අවසන්වී මාසයක් ඉක්ම යනවාත් සමග එල්මෝ ගුණරත්නයන්ට බොම්බායට යෑමට සිදුවූයේ රාජකාරි කටයුත්තකටය. ඔහු බොම්බායට ගොස් ඔහුගේ රාජකාරි අවසන් වූ විගස දිලිප් කුමාර්ට කතාකිරීමට සිතුණත් ඔහුගේ ඉන්දියානු මිතුරන් කීවේ, ‘කවදාවත් දිලිප් කුමාර් කතා කරන එකක් නෑ එල්මෝ’, ‘ඔය වගේ දිලිප් කුමාර්ට වචනයක් දෙකක් කතා කරපු අයට දිලිප් ඔහොම කියනව නමුත් ඔහු ඉතා කාර්යබහුල කෙනෙක්, කතා කරලා වැඩක් නෑ’ කියාය.
එහෙත් ඔවුන් දැන නොසිටි දෙය නම් එල්මෝ ගුණරත්නයන් සමග ඕනෑම කෙනකු එක් වරක් කතා කළ විට කෙදිනකවත් අමතක නොවන පුද්ගලයකු බවයි. එල්මෝ ගුණරත්නයන් දිලිප් කුමාර්ගේ අංකය කරකැව්වේ එක්තරා සැකයක්ද හිතේ දරාගෙනය. දුරකතනයට කතා කළ පුද්ගලයා එල්මෝ ගුණරත්නයන්ගෙන් විස්තර අසන විට එක් වරම දිලිප් කුමාර් දුරකතනයට කතා කළේය. එක්වරම දිලිප් ඇසුවේ එල්මෝ ගුණරත්න ලංකාවේද කියාය.
එල්මෝ ගුණරත්නයන් එය සනාථ කළ විට දිලිප් කුමාර් හයියෙන් හිනාවෙලා පැවැසුවේ, ‘මම හිතුවා ඔබට මාව අමතක වෙලා ඇති කියලා. ඔබ දැන් කොහෙද සිටින්නේ?’ යනුවෙනි. එල්මෝ ගුණරත්නයන් සිටින තැන ලිපිනය පැවැසූ විට දිලිප් පැවැසුවේ ‘ඔහොම ඉන්න මම මගේ වාහනය එවන්නම් ඔතැනට’ කියාය. ඉන්දියානු මිතුරන් එල්මෝ ගුණරත්නයන් දෙස බැලුවේ පුදුමයෙනි. එය එසේ සිදුවිය හැකිදැයි ඔවුන් සිතන්නට ඇත. එහෙත් දිලිප්ගේ වාහනය දුටු විට ඔවුන්ට අදහාගත නොහැකි විය.
එල්මෝ ගුණරත්නයන් දිලිප් කුමාර්ගේ නිවෙසට ගිය විගස එළියටම ඇවිත් එල්මෝ ගුණරත්නයන්ව පිළිගත්තේ දිලිප් කුමාර්ය. දිලිප්ගේ ගෙදර අය පවා පුදුමයට පත්වූයේ එසේ දිලිප් එළියට පැමිණ පිළිගන්නේ විශේෂ අමුත්තකු පමණක් බැවිනි. දිලිප් කුමාර් එල්මෝ ගුණරත්නයන්ව උණුසුම් ලෙස පිළිගත්තේය. ලංකාවේදී නැවැත්වූ තැනින් කතාව පටන්ගත් දිලිප්, ප්‍රේම්නාත්ටද දුරකතනයෙන් එල්මෝ ගුණරත්නයන්ගේ පැමිණීම දැනුම් දෙන ලදී, ප්‍රේම්නාත් දුර පළාතක රූගත කිරීමකට සහභාගි වී සිටි බැවින් ඔහු, එල්මෝ ගුණරත්නයන්ට පැමිණීමට නොහැකි වීම ගැන පෞද්ගලිකව කනගාටුව ප්‍රකාශ කළ අතර නැවත වතාවක් පැමිණි විට ප්‍රේම්නාත්ගේ ආගන්තුකයකු ලෙස පැමිණෙන ලෙසද දැන්වීය.
දිලිප් කුමාර් විශේෂ ආහාර වේලක් සකසා තිබූ අතර එකම දෙය මත්පැන් ලබා නොදෙන බව ඔහු එල්මෝ ගුණරත්නයන්ට දැන්වීය. එහි අඩුවක් නොවුණේ දිලිප් සමග සාකච්ඡා කරමින් සිටින විට එහි අඩුපාඩුවක් නොවූ බැවිනි. පැය 4කට වඩා සාකච්ඡා කරමින් කාලය ගතවූ අතර වෙන කාටවත් නොකියූ කතාවක්ද දිලිප්, එල්මෝ ගුණරත්නයන්ට පැවැසුවේ ඒ පිළිබඳ ප්‍රසිද්ධ නොකරන පොරොන්දුව මතය. අදද එල්මෝ ගුණරත්නයන් ඒ පොරොන්දුව කඩනොකරයි. දිලිප් කුමාර් සහ එල්මෝ ගුණරත්නයන්ගේ මිතුදම තව තවත් දැඩි වූ අතර එයට හේතුවක් ලෙස එල්මෝ ගුණරත්නයන් පැවැසුවේ දිලිප් ඔහු කෙරේ තැබූ විශ්වාසය බවයි. ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලා දිලිප් ඉන්දියාවේ දේශපාලනය ගැනත්, දේශපාලනඥයන් ගැනත්, නළු නිළියන් ගැනත් ඔහු මාධ්‍යවේදියකු සමග පැවැසුවේ පළමු වරට බව දිලිප් එල්මෝ ගුණරත්නයන්ට පවසා සිටියේය.
දිලිප් කුමාර් එල්මෝ ගුණරත්නයන්ව නැවත ඔහුගේ වාහනයෙන්ම එල්මෝ ගුණරත්නයන් සිටි හෝටලයට ඇරලූ අතර හැකි සෑම අවස්ථාවකදීම දුරකතන ඇමතුමක් දෙන ලෙසද දිලිප් කුමාර් එල්මෝ ගුණරත්නයන්ගෙන් ඉල්ලා සිටියේය. එල්මෝ ගුණරත්නයන් හෝටලයට පැමිණ පසුදා නැවත ලංකාවට පැමිණීමට පෙර එල්මෝ ගුණරත්නයන් නැවතී සිටි හෝටලයට දිලිප් කුමාර් ඇමතුමක් දී සැප දුක් විමසා ඔහුට ත්‍යාගයක්ද රියැදුරු අත එවා තිබිණි. දිලිප් කුමාර් ඔහුගේ ප්‍රියතම නළුවා වුවත් දැන් ඔහු එල්මෝ ගුණරත්නයන්ගේ ඉතා කිට්ටු මිතුරකු වූ බව එල්මෝ ගුණරත්නයන් පවසන්නේ ඔහුගේ සුපුරුදු නිරහංකාර හිනාවත් සමගය.
ලංකාවට පැමිණ එල්මෝ ගුණරත්නයන් දිලිප් කුමාර් සමග කිහිප අවස්ථාවකදීම දුරකතනයෙන් සම්බන්ධ විය. සිනමාව ගැන පමණක් නොව දේශපාලනය ගැනත් ඉන්දු-පාකිස්තාන ප්‍රශ්නය පිළිබඳවත් දිලිප් කුමාර් එල්මෝ ගුණරත්නයන් සමග සාකච්ඡා කරන ලද මාතෘකා විය. ඉන් පසු 1960 වකවානුවේදී එල්මෝ ගුණරත්නයන් ලේක්හවුස් ආයතනයේ පවත්වන ලද සරසවි සිනමා සම්මාන උළෙලේදී සංවිධායකයකු ලෙස රංජිත් විජේවර්ධන මහතා එල්මෝ ගුණරත්නයන්ව පත්කරන ලදී. එහි විශේෂත්වයක් වූයේ මෙම උළෙලේ ප්‍රධාන අමුත්තා වූයේ දිලිප් කුමාර් වීමය. සරසවි සම්මාන උළෙල සංවිධාන වූයේ අතිඋත්කර්ෂවත් ලෙසය.
දිලිප් කුමාර් ඒ වන විට භාරතයේ පමණක් නොව ලොවම ජනප්‍රිය නළුවකු බවට පත්වී සිටියේ ඔහුගේ අනභිභවනීය රංගන කෞෂල්‍ය නිසාවෙනි. හින්දි නළුවකුට ආවේණික වූ ලස්සන නළුවකු නොවුණත් ඔහුගේ රංගනය බටහිර නළුවන් අභිභවා ගියේය. ඔහුට වරක් ඩේවිඩ් ලීන් නම් ලොව ප්‍රකට අධ්‍යක්ෂවරයා ඔහුගේ චිත්‍රපටයක ප්‍රදාන චරිතයකට ආරාධනා කළේය. එහෙත් දිලිප් කුමාර් දැමූ එක් කොන්දේසියක් නිසා ඩේවිඩ් ලීන් දිලිප් කුමාර් නම් විශිෂ්ට නළුවා සමග වැඩකිරීම අහිමි විය. මේ වකවානුවේ එයද ලොව ප්‍රකට දෙයක් විය. ඉන්දියාවේ අනන්‍යතාව නිතර රැකගත් දිලිප් කුමාර් ඉන්දියාව පහළට වැටෙන නිර්මාණයකට කෙදිනකවත් දායක නොවීය.
මේ කරුණු කාරණා නිසා දිලිප් කුමාර් ලොව ප්‍රකට නළුවකු බවට මේ වකවානුවෙ පත්ව සිටියේය. ඔහුට 1950 ගණන්වලදී දිලිප් කුමාර් නම් නළුවකු කී අය 1960 ගණන් වන විට දිලිප් කුමාර්ව හරසරින් පිළිගන්නට සියල්ල සූදානම් කෙරිණි. ගුවන් තොටුපළින් එළියට පැමිණි දිලිප් කුමාර් එතැන සිටි මාධ්‍යවේදියකුගේ කනට කොඳුරා යමක් අසනු දක්නට ලැබිණි. ලේක්හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පියකු වූ ඔහුගෙන් දිලිප් කුමාර් අසා තිබුණේ එල්මෝ ගුණරත්න කොහිදැයි කියාය. එල්මෝ ගුණරත්නයන් විනාඩි 5ක් පමණ පමාවී එතැනට පැමිණි වහාම සෙනග වටකර සිටි දිලිප් කුමාර්, එල්මෝ ගුණරත්නයන් දුටු විගස සියලු දෙනා මෑත් කර එල්මෝ ගුණරත්නයන්ව වැලඳගත්තේ කලකින් දුටු පාසල් මිතුරකු මෙනි. එතැන් පටන් දිලිප් කුමාර් සහභාගි වූ සියලු උත්සව, රාත්‍රී භෝජන සංග්‍රහවලට එල්මෝ ගුණරත්නයන්ට සහභාගි වීමට සිදුවූයේ දිලිප් කුමාර්ගේ ඉල්ලීම පිටය.
රටවල් දෙකක ඉපදුණත් ක්ෂේත්‍ර දෙකක සිටියත් මේ මිත්‍රත්වය ඉතා තද මිත්‍රත්වයක් විය. එදා සිටි මාධ්‍යකරුවන් මෙන්ම එල්මෝ ගුණරත්නයන්ගේ මිත්‍රයන් මට කිහිප වරක් පැවැසුවේ හැමෝම පුදුම වුණත් එල්මෝගෙ තියෙන දැනුම ඒ වගේම කෙනෙක් හමුවීමට පෙර ඔහුගේ පෙර සූදානම, තොරතුරු සොයා ගැනීමට ඇති විශේෂ හැකියාව සහ කතා කිරීමේදී විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව හසුරුවන ආකාරය නිසා මෙසේ ලෙහෙසියෙන් අමතක කළ නොහැකි චරිතයක් බවයි. දිලිප් කුමාර් කිහිප අවස්ථාවකදී මේ බව සඳහන් කර ඇත.
වරක් දිලිප් කුමාර් එල්මෝ ගුණරත්නයන්ට පැවැසුවෙ ඔබ එංගලන්තයේ සිටියා නම් අන්තර්ජාතික පුවත්පත් කලාවේදියකු වන බවය.
දිලිප් කුමාර් සහ එල්මෝ ගුණරත්නයන්ට කෙතරම් කිට්ටු වූවාදැයි පැවැසුවොත් දිලිප් කුමාර් කිසිම මාධ්‍යවේදියකුට තියා ඔහුගේ හිතවතුන්ටවත් නොපැවසූ දේවල් එල්මෝ ගුණරත්නයන් සමග පවසා තිබිණි. එල්මෝ ගුණරත්නයන් එවැනි රහස් එලෙසම අදත් රකින්නේ ඔහු කෙරෙහි තිබූ විශ්වාසය එලෙසම රැකගැනීමටය. දිලිප් කුමාර් මියගිය පසු, දිලිප් පැවැසූ එක් කරුණක් පමණක් ඔහු පැවැසීය.
එකල දිලිප්ගේ නම නොයෙකුත් නිළියන් සමග එක්කර කතා හැදුවත් ඔහු ඇත්තටම ආදරය කළේ ඔය කියන එකම නිළියකටවත් නොව කාමිණී කෞෂල්‍යා නම් නිළියට බවය. කාමිණී සමග විවාහ වීමට පවා දිලිප් සැලසුම් කළත් කාමිණීගේ මවුපියන් අකැමැති වී ඇත්තේ දිලිප් කුමාර් පාකිස්තාන සම්භවයක් ඇති කෙනකු නිසාවෙනි. උපතින් මුස්ලිම් ජාතිකයකු වූ දිලිප් කුමාර් හැමදාම විවාහය සඳහා සොයා ඇත්තේ ඉන්දියානු සම්භවයක් ඇති හින්දු ආගම ඇදහූ කාන්තාවන්වයි. එල්මෝ ගුණරත්නයන් පවසන පරිදි සයිරා භානු විවාහ කරගැනීම මුළු හින්දි සිනමා ලෝකයම පුදුමකරවූ දෙයක් විය. අවුරුදු 20ක් පමණ වැඩිමහල් දිලිප් කුමාර් සයිරා භානු වැනි සුරූපී නිලියක් විවාහ කරගැනීම පුදුම කරවන ලද පුවතක් විය.
වහීඩා රෙහෙමන් දිලිප් කුමාර් සමග පෙමින් වෙළී සිටි යුගයක් වූ මේ කාලයේ සයිරා විවාහ කරගැනීමට සයිරාගේ මව වූ පැරැණි නිළියක් වූ නසීම් භානුට කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ වහීඩා රෙහෙමාන් සමග චිත්‍රපටයක රඟපාමින් සිටින විටය. දිලිප් කුමාර්, එල්මෝ ගුණරත්නයන්ට මේ පිළිබඳ පසුව කියා ඇත්තේ සයිරා භානු විවාහ කරගැනීමට ගත් තීරණය ඉතා නිවැරැදි නොවේදැයි කියාය. දිලිප් කුමාර් ලංකාවට පැමිණි සෑම විටම එල්මෝ ගුණරත්නයන්ව හමුවීමට අමතක කළේ නැත.
එල්මෝ ගුණරත්නයන්ද ඉන්දියාවේ බොම්බායට ගිය සෑම අවස්ථාවකදීම දිලිප් කුමාර් මොන තරම් කාර්යබහුල වුවත් එල්මෝ ගුණරත්නයන්ව හමුවීමට අමතක නොකරයි. දැන් දිලිප් කුමාර් මියගොස්ය. එල්මෝ ගුණරත්නයන් දැඩිව කම්පා විය. දිලිප් කුමාර් සමග ගතකළ ඒ කාලය ගැන ඔහු මතක් කරමින් දුක්වෙන්නේ කුඩා කල පටන් එකට සිටි පාසල් මිත්‍රයෙක් නැතිවූ කල මෙනි. වරක් දිලිප් කුමාර්ගෙන් එල්මෝ ගුණරත්නයන්ගෙන් අසා තිබුණේ සත්‍යජිත් රායිගේ චිත්‍රපට අන්තර්ජාතික සම්මාන දිනාගන්නේ ඇයිදැයි කියාය. එවිට දිලිප් කුමාර් පවසා ඇත්තේ, ‘සුදු මිනිසුන් ඉන්දියාවෙ තිබෙන පැල්පත්, දුප්පත්කම දැකලා නෑ. ඒවා පෙන්නුවාම අමුතු දෙයක් සහ ඉන්දියාවෙ නරක පැත්ත පමණක් දැකලා ඔවුන් සම්මාන දෙනවා. එහෙත් අපි පෙන්වන්නේ ඉන්දියාවෙ සුන්දර පැත්ත. ඒකට ඔවුන් වැඩිය කැමැති නෑ. ඒකයි සත්‍යජිත් රායිට සම්මාන දෙන්නේ…’ කියාය.
පාකිස්තාන සම්භවයක් සහිත ඉන්දියානු මුස්ලිම් ජාතිකයකු වුවත් දිලිප් කුමාර් ඉන්දියාවට දක්වා ඇත්තේ පුදුම ආදරයකි. එල්මෝ ගුණරත්නයන් සමග ඔහු කිහිප අවස්ථාවකදීම දේශපාලනය ගැන කතා කරන විට ඒ බව හඟුණු බව එල්මෝ ගුණරත්නයන් පවසයි. ඉන්දු පාකිස්තාන විරසකය පිළිබඳ ඔහු කනස්සල්ලට පත්වී සිටි අතර එල්මෝ ගුණරත්නයන් සමග දිලිප් කුමාර් පවසා සිටියේ ඉන්දියාව හා පාකිස්තානය මේ විරසකය ඉවත් කරගතහොත් කලාපයේ පමණක් නොව මුළු ලොවම ජයගත හැකි බවයි.
එල්මෝ ගුණරත්නයන් පවසන පරිදි දිලිප් කුමාර් අවස්ථා කිහිපයකදීම ඉන්දු-පාකිස්තාන විරසකය සමාදාන කිරීමට පවා උත්සාහ කර ඇත. දිලිප් කුමාර් මීට වසර 5කට පෙර පාකිස්තානයේ සංචාරය කළේ එරට රජයෙන් ලද ආරාධනාවක් සමගිනි. ඔහුගේ නෑදෑ හිතවතුන් බැහැදැක ඔහු ඉපදුණු හැදුණු වැඩුණු තැන් නරඹා පැමිණ පවසා ඇත්තේ එක් පැත්තකින් සතුටු වුවත් තවත් පැත්තකින් දුක් වූයේ ඉන්දු – පාකිස්තාන විරසකය මතක් වූ පසුව බවයි.
දිලිප් කුමාර් සහ එල්මෝ ගුණරත්නයන්ගේ මිතුදම ගැන එතරම් කවුරුත් දන්නේ නැත.
දිලිප්ගේ අවසාන කාලය දක්වාම මේ මිතුදම පැවැතිණි. අද දිලිප් කුමාර් නැතිවීම ගැන එල්මෝ ගුණරත්නයන් පවසන්නේ කැමැතිම නළුවාට වඩා හිත හොඳ මිතුරකු අහිමි වූ බවය. දිලිප් කුමාර් සහ එල්මෝ ගුණරත්නයන්ගේ මිතුදමද මොන ජාතියේ වුවත් මොන රටවල වුවත් ශ්‍රේෂ්ඨයන්ට මිතුරන් වීමට ගතවන්නේ ඉතා කෙටි කලක් බවයි.
-දමිත් ගුණරත්න










