පුසුල්පිටිය රජමහා විහාරය මධ්‍යයම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නවංගම ග්‍රාමයේ පිහිටි පුරාණ විහාරයකි. දුටුගැමුණු කුමාරයා පියරජු සමග අමනාප වී, තම තරහ ප්‍රකාශ කිරීම සඳහා ස්ත‍්‍රී පලඳනාවක් රජු වෙත යවා කොත්මලේ පුරවරයට පැමිණ සැඟවී සිටි අතර, යළි පිය රජුන්ගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත්වීම සම්බන්ධව තොරතුරු අනාවරණ වූයේ මෙම පුසුල්පිටිය රජමහා විහාරයේ ගල්තලාව මතදී බව ඓතිහාසික මූලාශ්‍රවල සඳන්ය. ඒත් සමගම කඩොල් ඇතුගේ දළ යුගළද අඹතලාවේ, අගලවත්තේ සත්තම්බි නම් අයකු විසින් පරිත්‍යාග කළ බවද ඉතිහාසයේ තොරතුරු සඳහන් කරයි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ රාජමහා විහාර 18ක් ඇති අතර, එම රාජමහා විහාර අතර විශාලතම වී අටුවට හිමිකම් කියන්නේද පුසුල්පිටිය රාජමහා විහාරයයි. ගල්කණු 12ක් මත දැවයෙන් ගොඩනගා ඇති මෙහි දිග අඩි 30ක් වන අතර, පළල අඩි 08කි. එය කාමර 3කින් යුක්ත වේ. (Sri Lanka Latest News)
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ විහාරයේ නඩත්තුව සඳහා කුඹුරු අමුණු 65ක් පූජා කර ඇති අතර, එයින් බුසල් 2500 – 3000ක ප‍්‍රමාණයක වී ලබාගෙන තැන්පත් කර ඇත්තේද එම වී අටුවේ බවට කරුණු අනාවරණය වේ.
පුසුල්පිටිය රජමහා විහාරය ජාතික උරුමයක් වන්නේ 1818 උඩරට මහා නිදහස් අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොල විරුවාණන් දින ගණනාවක් පුසුල්පිටිය රජමහා විහාරයේ රැඳෙමින් සේනා සංවිධාන කරමින් 1818 මහා නිදහස් අරගලය මෙහෙයවූ නිසාය.
එසේම 1815 බි්‍රතාන්‍යයන් උඩරට රාජධානිය යටත්කොට ගැනීම හේතුවෙන් උද්ගතවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කරගනු පිණිස 1815 අප්‍රේල් 04 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී දළදා වහන්සේ මෙම විහාරස්ථාන භූමියේ ඇති සුවිශාල සපු ගසක බෙනයක සඟවා තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ හේතුවෙන් මෙම ශාකය ‘දළදා සපුව’ ලෙස ජනතාවගේ ගෞරවාදරයට පත්ව ඇත. අද වනවිට සපු බෝධියට අමතරව ස්වභාවිකව හටගත් නුග සහ ඇසතු වෘක්ෂයන් සහිත තුන් බෝධියක් මෙහි දක්නට ලැබීම විශේෂිතය. දළදා වහන්සේ වැඩසිටි තැනක් නිසා, මෙම පූජනීය ස්ථානය වන්දනාමාන කිරීමටත්, පුද පූජා පැවැත්වීමටත් සැදැහැවතුන් නිතර පැමිණෙයි.
මෙම ඓතිහාසික වටිනාකමකින් යුතු සපු ගස පිළිබඳ අදහස් දක්වමින් ස්වාමින්වහන්සේ නමක් මෙසේ සඳහන් කර සිටියහ.
‘මට පිටුපසිත් තියෙන්නේ සපු ගසක්. මේ සපු ගහේ දළදා හාමුදුරුවෝ 1815 ඉංග්‍රීසීන් මේ රට යටත් කරගත්තට පස්සේ අප්‍රේල් 04 වැනිදා ඉඳලා අප්‍රේල් 22 වැනිදා දක්වා මේ සපු ගහේ තියෙන බෙනයක් තුළ ඇත් දළ කරඬුවක බහා දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරන්නේ පුසුල්පිටිය රජමහා විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ….’
‘දළදා හාමුදුරුවෝ රාජ්‍යත්වයේ සංකේතය නිසා දළදා හාමුදුරුවන්ට රාජ්‍ය රැකවරණය නිරන්තරයෙන්ම ලැබුණා. ඒ නිසා රාජ්‍යයන් අස්ථාවර වෙන හැම මොහොතකම දළදා හාමුදුරුවෝ දිවි හිමියෙන් අපේ රටේ රජවරු ආරක්ෂා කළා. මේ පුසුල්පිටිය රජමහා විහාරස්ථානය වැදගත් වන කාරණා රැසක් අතර එකක් තමයි දළදා හාමුදුරුවන්ට තුන් වරක් රැකවරණය ලබාදුන් පින් බිමක් හැටියට මේ විහාරස්ථානය සැලකීම….’
දළදා වහන්සේ සඟවා තිබූ ඇත් දළවලින් නිර්මාණය කළ කරඬුන් වහන්සේ මෙම විහාරස්ථානයේ අදද දැකගත හැකිය. 1215 ඉන්දියාවේ කාලිංග දේශයෙන් ආ මාඝ නම් කෲර ආක්‍රමණිකයා නිසා පොළොන්නරු රාජධානිය අස්ථාවරත්වයට පත්විය. දළදා හාමුදුරුවන් වහන්සේ රැකවරණය පිණිස රාජකීයයන් උන්වහන්සේ කන්ද උඩරට කොත්මලේ ප්‍රදේශයට රැගෙන ආ බව සඳහන්ය. එසේම ගම්පොළ යුගයේදීත්, මහනුවර යුගයේදීත් අවස්ථා තුනකදී ඉතිහාසයේ දළදා වහන්සේට රැකවරණ ලබාදුන් පින්බිමක් හැටියට පුසුල්පිටිය රජමහා විහාරස්ථානය හඳුන්වා දීමට පුළුවන.
පුසුල්පිටිය රජමහා විහාරය 1983 සිට මේ දක්වා නිදන් සොරුන් විසින් හත් වතාවක් බිඳ මහා විනාශයක් සිදුකර ඇත. 2017 අගෝස්තු 03 වැනි දින රාත‍්‍රියේ පුසුල්පිටිය රජමහා විහාරයට ඇතුළු වූ සොර කණ්ඩායමක් එහි විහාරවාසී හිමිනමක් හා තවත් පුද්ගලයකු රැහැන් පටිවලින් බැඳදමා විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ බිඳ එහි තිබූ නිදන් වස්තු පැහැරගෙන ගොස් ඇත. ඒ සමගම විහාරගේ පිළිමවහන්සේ නමකටද නිදන් සොරුන් විසින් බරපතළ හානි සිදුකර තිබුණු බව පොලිසිය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවාසීන්ගේ ඉතා වටිනා බෞද්ධ උරුමයක් සේම ජාතික උරුමයක් හා මහා සංස්කෘතික දායාදයක්ද වන පුසුල්පිටිය රජමහා විහාරස්ථානය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම අප සැමගේ වගකීමකි.









