පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ලබන 15 වැනිදා සිට බල පවැත්වෙන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මේසේය.
අනුරාධපුරයේ මුල් යුගය රූපණය කරන මුලතිව් ඓතිහාසික කුරුන්දි මහා විහාරයට අයත් පුරාවිද්‍යාත්මක නටබුන් සහිත අක්කර දෙසීයක භූමියක් විද්‍යාත්මක ගවේෂණයකින් හඳුනා ගැනීමෙන් අනතුරුව එම භූමිය මැන දෙන මෙන් මිනුම්පතිවරයාට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඉල්ලීමක් කර තිබේ. හඳුනාගත් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අක්කර 05කට වැඩි ප්‍රමාණයක් ද තිබී ඇත.
පෙරේදා (08) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමක් අතර එම කුඹුරු ඉඩම් කොටස ජනතාවට නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත. එවිට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වශයෙන් මහාචාර්ය අනුර මනතුංග කරුණු දක්වා ඇත්තේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ප්‍රකාරව එය සිදුකළ නොහැකි බවය.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනාධිපති ලෙස තමන් දෙන නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි නම් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට ඉල්ලා අස්වන ලෙසය. ඒ අනුව මහාචාර්ය අනුර මනතුංග සිය ධූරයෙන් ඉවත් වීමට තීරණ කර ඇතැයි වාර්තා වේ.
මුලතිව් කුරුන්දිමලේ විහාරය පෞරාණික නටබුන් සහිත ජනාවාස නගර කොටස විද්‍යාත්මක ගවේෂණයකින් පසු වෙන් කරගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරද්දී එම භූමිය සඳහා ජනතාවගේ පාර්ශවයෙන් අයිතිවාසිකම් කියා තිබුණේ අක්කර 05ක් සඳහා පමණක් බවත්, එම අක්කර 05 ද එහි හිමිකරු විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ප්රදානය කිරීමට මුල් අවස්ථාවේ දී සූදානම්ව සිටි බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආංචි මාර්ග කියයි.
මෙම ඉඩම් අක්කර 05 හිමි පුද්ගලයා තවත් කුඹුරු අක්කර සිය ගණනක හිමිකරුවෙක් බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේය.
කෙසේ වෙතත් මේ ප්රශ්නය මේ තරම් වර්ධනය වන්නේ උතුරේ වාර්ගික දේශපාලකයින් විසින් මෙම ඓතිහාසික භූමියේ විද්‍යාත්මක තහවුරුව ප්‍රශ්න කරමින් අතාර්කික සහ අනවශ්‍ය වාර්ගික ගැටලුවක් නිර්මාණය කිරීමෙන් අනතුරුවය.
මුලතිව් කුරුන්දමලෙයි කැණීම් ආරම්භ කළ ප්‍රදේශය බෞද්ධ පුරාවස්තු සහිත ප්‍රදේශයක් නොවන බවත්, එය හින්දු ජනතාව අනාදිමත් කාලයක සිට වන්දනාමාන කළ ආදී අයියනාර් කෝවිලට අයත් භූමියක් බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්න්බලම් පැවසුවේය. මේ මතවාදය වපුරුවන මේ දේශපාලකයා වටා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහිත කුඩා කණ්ඩාමයක් සිටි අතර, ඔවුන් මේ ගැටලුව දේශපාලන ප්‍රශ්නයක් සේ මතුකරමින් රජයට බලපෑම් කිරීම සිදුකරමින් සිටියේය.
ඔවුන් කීවේ රජය යුද හමුදාව හා පුරා විද්‍යා නිලධාරීන් යොදවා උතුරේ හින්දු දහමට අයත් ප්‍රදේශ බලහත්කාරයෙන් බෞද්ධකරණයකට ලක්කිරීම වහාම නවතාලන ලෙසය.
දැනට පුරාවිද්‍යා නිලධාරීන් යුද හමුදාවේ ආරක්ෂාව ඇතිව කැණීම් ආරම්භ කොට ඇති ප්‍රදේශයේ කිසිදු කලෙක බෞද්ධ භික්ෂූන් වහන්සේලා හෝ සිංහල ජනතාව වාසය කොට නොමැති බව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු දේශපාලකයෝ කීහ.
හින්දු ප්‍රදේශ බෞද්ධ උරුමයන් ලෙස හුවාදැක්වීම රජයේ බලපුලුවන්කාරකම පෙන්වීමක් හා හින්දු දහම යටපත් කිරීමක් බවද මේ දේශපාලන කණ්ඩායම දිගින් දිගටම පැවසුවේය.
විශේෂත්වය වන්නේ මේ නිහීන දේශපාලන ප්‍රකාශවල ස්වරූපය එම දේශපාලකයින් මෙන්ම ඉතිහාසයල බෞද්ධ උරුමය, සංස්කෘතිය සහිත වටිනා පුස්තකාලයක් නිවස තුළ නඩත්තු කළ රටේ ජනාධිපතිවරයා ද මැනවින් දැනගෙන සිටීමය.
උතුරු පළාත යනු ලංකාවේම කොටසකි. එම ප්‍රදේශයත් රටේ ඉතිහාසයේ රිද්මය ගලායන රටාවට ඇතුළත්ය. කුරුන්දිමලෙයි පුාවිද්‍යා ස්ථානය ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලාත් රටේ ජනාධිපතිවරයාත් නොදැන සේ මග හැර යන ජාතිවාදී මජර දේශපාලනයට එපිටින් වන සාධනීය ශාස්ත්‍රීය කාරණාවකි.
මේ ස්ථානයේ පිහිටන්නේ වංශකතාවන්හි හා අට්ඨකතාවන්හි සඳහන් පුරාණ කුරුන්දාවශෝක විහාරයයි. මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවති ජනාවාසකරණය සම්බන්ධව විද්‍යාත්මක සාධක සහිතව හෙළිකරන පුරාවිද්‍යා භූමි අතරින් වැදගත්ම භූමිය කුරුන්දාවශෝකාරාමයය.
මහාවංසයේ 33වැනි පරිච්ඡේදයේ 32 වැනි ගාථාවෙන් දැක්වෙන ලජ්ජිතිස්ස රජුගෙන් පසු ලංකාද්වීපයේ රාජ්‍යත්වයට පත්වූ ඛල්ලාටනාග රජු විසින් ඉදිකළ කුරුන්දපාසක විහාරය මෙය බව හඳුනාගෙන තිබේ.
මෙම විහාරයට අනුබද්ධව කුරුන්දචුල්ලක නම් පිරිවෙණක් වී යැයි වංසකතාවන්හි සඳහන්ය.
සමන්තපාසාදිකා විනයාට්ඨ කතාවේ කුරුන්දි අට්ඨකතා ගැන වාර 75කට වඩා සඳහන්ය. එම අටඨකතා සම්පාදනය කළේ කුරුන්වේලු විහාරයේ දී බව සාහිත්‍ය කෘතිවල කියැවේ.
පළමුවන අග්බො රජු (ක්‍රි.ව. 571-604) මෙම විහාර භූමියේ නවකම් කළහ. මේ පෙදෙස කුරුඳුවැව වූ බවත් පළමු අග්බෝ රජු කළ කුරුඳුවැව වත්මන් තන්නිමුරුප්පු වැව බවත් නිකලස් පැවසුවේය.
ඉතිහාසය පුරාම මෙම විහාරය ඇසුරෙහි සිදුවූ සංවර්ධන කටයුතු වංසකතා කරුවෝ වාර්තා කරති.
හතරවන අගබෝ රජු, තුන්වන මිහිඳු රජු මෙම විහාරයට කළ මැදිහත්වීම් මහාවංසය දක්වයි.
පළමු විජයබා රජු මෙම විහාරය නැවත පිළිසකර කළ අයුරු පැනේ.
දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී කාලිංග මාඝ සහ ජයබාහුගේ ද්‍රවිඩ සේනාව විසින් බිඳ දමන ලද කඳවුරු 15න් එකක් වූයේ කුරුන්දි විහාරයය.
පූජාවලිය, නිකාය සංග්‍රහය, වැනි පැරණි ග්‍රන්ථවල කුරුඳු රට, කුරනන්දුගම්මු රට, කරුන්දක හා කුරුන්දිරට්ඨ ආදී නම්වලින් හැඳින්වෙන්නේ ද මෙම ප්‍රදේශය බව පුරාවිද්‍ය වාර්තාවල දැක්වේ.
වර්ෂ 1905 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවට අනුව මේ භූමියේ සෙල් ලිපියක් පිහිටා තිබී ඇත.
හෙන්රි පාකර්ට අනුව උතුරු පළාතේ ඇති විශාලම නටබුන් සංකීර්ණය කුරුන්දාශෝක විහාරයය.
මෙම භූමිය වර්ෂ 1933 දී 1933.-05.-12 දිනැති අංක 7981 දරන ගැසට් නිවේදනය ගමින් අක්කර 78 රූඩ් 1යි පර්චස් 62ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ලංකාසර
Director General of Archeology Professor Anura Manatunga










