ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන ඇතුළු බුදුදහමේ විවිධ ඉගැන්වීම් අද මුළු මහත් ඉන්දුනීසියාව පුරා පැතිර පවතී. එය ආරම්භ වූයේ කෙසේද සහ 1965 ඛේදවාචකයෙන් පසු බුදදහම විවිධ සම්ප්‍රදායන්ට වෙන්වූයේ කෙසේද? (Sri Lanka Latest News)
පාසල් අවධියේ එක් දිනක මම ජකර්තා නුවර දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති මිතුරකුගේ නිවෙස වෙත ගියෙමි. මා මෙන්ම මේ මිතුරාද චීන සම්භවයක් ඇති අයෙකි. වෙනස ඇත්තේ ඔහු කිතුනුවකු වීමත් මා බෞද්ධයෙකු වීමත්ය. යළි නිවෙස බලා යාමට අවශ්‍ය වූ පසු මා ඔහුගේ මවට සමුදුන් අතර ඇය මා නිවෙසේ ගේට්ටුව වෙත කැටුව ආවාය. එහිදී ඇය මා සමග කෙටි සල්ලාපයක යෙදුණාය.
‘මොන පල්ලියටද ඔයා යන්නේ?’
‘මම බෞද්ධ ඇන්ටි’ සිනාමුසු මුහුණින් යුතුව මම පැවැසුවෙමි.
‘අනේ, ඔයා තාමත් බෞද්ධද?’ ඇය පිළිතුරු දුන්නාය.
යළිත් වරක් ඇයට සමුදී පිටව යාමට පෙර මම ඊට ‘ඔව්’ ලෙස පිළිතුරු දුන්නෙමි.
කුමක් හෝ හේතුවක් නිසා මා එම මිතුරාගේ නිවෙසට ගොස් වසර 15කට වැඩි කාලයකට ගතව තිබුණද ඇය එදින පැවැසූ ‘තවමත් බෞද්ධ’ යන ප්‍රකාශය මා නොසන්සුන්තාවට පත්කළේය.
ඇයගේ චේතනාව අයහපත් එකක් නොවිණි. ඇය එය පැවැසුවේ සාමාන්‍ය ස්වරයකින් මිස සමච්චලයට නොවේ. කෙසේ වෙතත්, එම ප්‍රකාශය සිහියට නැඟෙන ඇතැම් අවස්ථාවලදී මම, ‘ඉතින් මොකද, මම තාම බෞද්ධයෙක් වුණාම?’ යැයි මාගෙන් ප්‍රශ්න කරමි.
මගේ පවුල ත්‍රිධර්ම ප්‍රතිපත්තිවල අනුගාමිකයන් වන අතර, වචනාර්ථයෙන් ගත් කල එහි අදහස ‘සත්‍යයේ ඉගැන්වීම් තුනක්’ යන්නයි.
මෙහි එන ඉගැන්වීම් ත්‍රිත්වය නම්, බුදුදහම, ලාඕට්සුගේ තාඕවාදය සහ කොන්ෆියුසියස්වාදය වේ. බොහෝ විට ඒවා චීනයේ සමාජ ජීවිතයේ ‘කුලුනු තුන’ ලෙස සැලකේ. චීනයේ, මෙම ශ්‍රේෂ්ඨ ගුරුවරුන් තිදෙනාගේම ඉගැන්වීම් භේදයකින් තොරව අනුගමනය කරන අතර, ඒවා සමාජ ව්‍යුහයට, රාජ්‍ය පද්ධතියට, දේශීය කලාවන්ට සහ සංස්කෘතියට පවා බලපෑම් කරයි.
එකල මට මේ පිළිබඳ වැටහීමක් නොතිබිණි. මා දන්නා තරමින් මා සහ මගේ පවුලේ සාමාජිකයන් ත්‍රිධර්ම ධර්මයේ මඟ යන බෞද්ධයෝ වෙති. මගේ පියා විවිධ ආරාමවල දේශන පැවැත්වූ බෞද්ධ භික්ෂුවකි. මා සහ තවත් සහෝදරයන් දෙදෙනකු (අතීතයේ) සතියකට වරක් නිතිපතා එම දේශනා සඳහා සහභාගි වූ අතර, අපි ආරාමයේ තරුණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් ද වූවෙමු.
බාලාංශයේ සිට මධ්‍ය විදුහල දක්වාම මා නිරන්තරයෙන් ඇතුළත් කෙරුණේ බෞද්ධ පාසල්වලටය. උසස් පාසලකට ඇතුළු වන තුරුම මා හට කතෝලික පාසලකට ඇතුළු වීමට අවස්ථාව නොලැබිණි.
මා ‘තවමත් බෞද්ධ’ යැයි අසා විමතියට පත් චීන සම්භවයක් ඇති සෙසු පුරවැසියන්ගෙන් අදහස් ප්‍රථම වරට මට ඇසෙන්නට ලැබෙන්නේද මා උසස් පාසලේ ඉගෙනුම ලබන අවධියේදීය. මීට පෙර, චීන සම්භවයක් ඇති සුළුතරයක් ලෙස සමාජයේ මට ඇති ස්ථානය පිළිබඳ මම දැන සිටියෙමි. කෙසේ වෙතත්, මගේ සහෝදර චීන ජාතිකයන් අතර පවා මම සුළු ජාතිකයකු බව මෙම ප්‍රකාශය මගින් මට අවබෝධ විය.
දුකින් පිරුණු ජීවිතය
ප්‍රාථමික පාසලේ සිටියදී, මම අවම වශයෙන් ගුරුවරුන් තිදෙනකුගෙන් ආගමික අධ්‍යාපනය ලැබුවෙමි. නිවසේ වූ මගේ පියා, ආරාමයේ දහම්පාසල් ගුරුවරයා සහ පාසලේ බෞද්ධ ධර්මය ඉගැන්වූ මගේ ගුරුවරයා ඔවුන් අතර වූහ. එකල මා හට බෞද්ධ ධර්මය ඉගැන්වූ ගුරුවරයා වූයේ ජුමාරි මහතාය. ඔහු මිත්‍රශීලී ජාවා දූපත් වැසියෙකි. ඔහු ඉගැන්වීම් කළ ආකාරයට මම ඇලුම් කළෙමි. දිනක් පාසලේදී ජුමාරි මහතා අදටත් වලංගු වන එක් දෙයක් පැවැසීය. ‘ජීවිතය දුකින් පිරිලා තියෙන්නේ.’
ප්‍රාථමික පාසලේ සිටි අවධියේදී, මට මෙය සම්පූර්ණයෙන් නොතේරුණද, ජුමාරි මහතාගේ පැහැදිලි කිරීම ඇසීමෙන් මම මවිතයට පත්වීමි. මා වයසින් මුහුකුරා යත්ම, මම වඩ වඩාත් ඔහුගේ වචන සමග එකඟ වීමි.
35 වැනි වියේදී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්වී වැඩි කල් නොගොස්, එනම්, ක්‍රිස්තු පූර්ව 528දී පමණ ඊසානදිග ඉන්දියාවේ බුද්ධගයාවේදී පස්වග මහණුන් වන උන්වහන්සේගේ පළමු ශ්‍රාවකයන් පස්දෙනාට බරණැසට නුදුරින් පිහිටි සාරානාත්හි දේශනා කළේද මෙයයි. බුදුන් වහන්සේ ඔවුන්ට චතුරාර්ය සත්‍යය වදාළහ. එනම්, ජීවිතය දුකින් පිරී පවතින බවත්, එම දුක හටගන්නේ අකුසල කර්මවලට සහ පුනර්භවයට හේතුවන ද්වේෂය, රාගය සහ මෝහය නිසා බවත්, දුක නැති කළ හැකි බවත්, දුක නැති කිරීමට මාර්ග අටක් ඇති බවත්ය.
එම මාර්ග අට, එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේය. නිවැරදි දෘෂ්ටිය, නිවැරදි චේතනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි දිවි පෙවත, නිවැරදි උත්සහයන්, නිවැරදි සිහිය සහ නිවැරදි සමාධියය. මෙම මාර්ගයට පිවිසීමෙන් මිනිසුන්ට නැවත නැවත ඉපදීම බිඳ දමා සැබෑ සාමය හෝ නිවන සාක්ෂාත් කරගත හැකි බව කියනු ලැබේ.
‘බුදු හාමුදුරුවෝ දේශනා කළේ, දුක තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, අවසානයක් තියෙනවා, මාර්ගයක් තියෙනවා කියලා’ බුද්ධයාන භික්ෂු භික්ෂුණීන් අයත් ඉන්දුනීසියාවේ මහාසංඝ (සාගින්) සමූහයේ මහායාන භික්ෂුවක වන නයනගුප්ත හිමි පැවසූහ.
‘අපි අටමහා මාර්ග අනුගමනය කළොත් මේ දුකෙන් එතෙර වෙන්න පුළුවන්.’
තම පළමු ශ්‍රාවකයන් පස්දෙනා වෙත ධර්මය දේශනා කිරීමෙන් අනතුරුව බුදුන් වහන්සේ වසර 45ක් ඉන්දියාව පුරා සංචාරය කරමින් තම ධර්මය ඉගැන්වීමේ නිරත වූහ. ඉන් පසුව වසර 80ක් ආයු වළඳා උන්වහන්සේ කුසිනාරා නුවරදී පිරිණිවන් පෑ සේක.
විවිධ සම්ප්‍රදායන්වල ආරම්භය
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උදාවූ සියවස් තුන තුළ, උන්වහන්සේගේ අනුගාමිකයන් බෙදීගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව තුළ විවිධ බෞද්ධ නිකායන් හෝ සම්ප්‍රදායන් වර්ධනය වන්නට විය. ඇතැම් පර්යේෂකයන් සත්‍ය සංඛ්‍යාව 30කට වඩා වැඩි ගණනක් ලෙස දක්වා ඇතත්, එම කාලය තුළ බොහෝ විට බිහි වූ බව කියන නිකායන් 18ක් පමණ පවතී. බි්‍රතාන්‍යයේ උපන් බෞද්ධ විද්වතකු වන එඩ්වඩ් කොන්ස් පැවසුවේ, ‘සසරින් එතෙරට යන මාර්ගය ගවේෂණය කිරීම’ සඳහා භාවනාවෙහි යෙදී සිටියදී භික්ෂුන් වහන්සේලා මුහුණ දුන් ‘දාර්ශනික ගැටලු’ හේතුවෙන් නිකාය භේදය ඇති වූ බවය.
‘දර්ශනය විද්‍යාවේ අනෙකුත් අංශවලට වඩා වෙනස්. එබැවින් දර්ශනය එක් එක් ගැටලුවකට විසඳුම් එකකට වඩා වැඩි ගණනක් ලබාදෙනවා,’ යනුවෙන් කොන්ස් සිය ‘A Short History of Buddhism’ (2010) ග්‍රන්ථයේ ලිවීය.
අවම වශයෙන් ක්‍රි.පූ. 100 සිට ඉන්දියාවේ මහායාන නමින් නව බෞද්ධ සම්ප්‍රදායක් මතු වූ බවත් ක්‍රිස්තු පූර්ව 150න් පසු එය ක්‍රමානුකූලව වර්ධනය වීමට පටන්ගත් බවත් කොන්ස් සඳහන් කළේය.
එවක පැවති ධර්මයේ සඳහන් ප්‍රකාශ ‘යල් පැන ගිය හා නිෂ්ඵල’ බවට මතයක් පැවති බැවින් නව යුගයේ අවශ්‍යතා සහ සමාජ තත්ත්වයන්ට සරිලන පරිදි බුදුන් වහන්සේගේ ධර්මය හෝ ඉගැන්වීම ‘ප්‍රතිසංස්කරණය’ කිරීමේ අවශ්‍යතාවක් මතුවිය. පසුව මහායාන කණ්ඩායම විසින් ප්‍රඥාව පමණක් නොව කරුණාව මත පදනම් වූ ‘ගැලවීමේ නව මාර්ගයක්’ මෙන්ම මූලික වශයෙන් ‘ශුන්‍යතාව’ යන සංකල්පයට සම්බන්ධ පැවැත්මේ සහ යථාර්ථයේ මූලික ස්වභාවය පිළිබඳ වන ධර්මයක් හඳුන්වා දෙන ලදී. එතැන් පටන් මූලික හරයේ වෙනසක් ඇති විය. ඊට පෙර බෞද්ධයන්ගේ පරමාර්ථය වූයේ බුදුරදුන් වදාළ මග යමින් දුක් නැති කර නිවන සාක්ෂාත් කරගැනීමට සමත් වූ අරහත්භාවයට පත්වීමය. නමුත් අනෙක් අතට, මහායාන භික්ෂුන් වහන්සේලා අපේක්ෂා කරන්නේ, බෝධිසත්ව වීමට හෝ බුදුවීමට අපේක්ෂා කරන කෙනකු වීමටය. මෙම ක්‍රියාවලියේදී, බෝධිසත්වයන් තමන් පමණක් නොව සියලු සත්වයන්ට නිවන සාක්ෂාත් කරගැනීමට උපකාර කිරීමට උත්සාහ කරන නමුත් එහි ප්‍රතිවිපාකයක් ලෙස ඔවුන්ට බුදු වීමට පෙර සංසාරයේ චක්‍රයේ වැඩි කලක් ජීවත් විය යුතුය. මෙම සම්ප්‍රදාය මහායාන ලෙස හඳුන්වන්නේ එබැවිනි. එහි වචනාර්ථය ‘මහා වාහනය’ යන්නය.
‘කෙටියෙන් කිවහොත්, අපි මහායාන බෝධි චිත්ත උතුම් ‘සිතුවිලි වර්ධනය’ කිරීම ගැන අවධාරණය කරනවා. ඒ කියන්නේ සෑම සත්වයකුට ම බුද්ධත්වයට පත්වීමට හැකියාව තියෙනවා සහ සෑම සත්වයකුටම සම්මාසම්බුද්ධ විය හැකියි’ ඉන්දුනීසියාවේ මහායාන භික්ෂුණියක වන භද්‍රා ලෝක භික්ෂුණීන් වහන්සේ පැවැසූහ.
සම්මාසම්බුද්ධ යනු, ස්වකීය උත්සාහයෙන් බුද්ධත්වයට පත්වී තමන් විසින් සොයාගන්නා ලද ධර්මය අන් අයට පහදා දෙන කෙනෙකි.
‘අපට එකට එකතු වෙලා ඒ දේ ප්‍රගුණ කරන්න පුළුවන්, ඒ සියල්ල සාක්ෂාත් කරගැනීම සඳහා අපව දියුණු කරගන්න පුළුවන්. ඉතින්, මට මුලින්ම යන්න අවශ්‍ය නැහැ, මම එතනට එනවා, පසුව මම ඔබට එගොඩ වෙන්න කඹයක් විසි කරනවා, භද්‍රා භික්ෂුණීන් වහන්සේ තවදුරටත් පැවැසූහ.
ඉන්දුනීසියාවේ මහා සංඝ (සාගින්) සමූහයේ ථෙරවාදී භික්ෂුවක වන ධීරපන්නෝ හිමි පැවැසුවේ, ථෙරවාදී භික්ෂුන් තම ඉගැන්වීම් අන් අය සමග බෙදාගැනීමට උත්සාහ කිරීමට පෙර, පළමුව නිවන සාක්ෂාත් කරගැනීමට උත්සාහ කිරීමට වැඩි අවධානයක් යොමුකරන බවය.
‘ඔවුන්ට මහායාන ඇදහිලිවන්තයන්ට තියෙන්නේ එක අධිෂ්ඨානයක්. මා වටා දුක් විඳින ජීවීන් ඉන්නවා නම්, මට දැන්ම විමුක්තිය අවබෝධ කරගන්න අවශ්‍ය නැහැ’ ධීරපන්නෝ හිමි පැවසූහ. නමුත් ථෙරවාදයේදී, මා අවට සිටින සියලු ජීවීන්ට උපකාර කිරීමට හැකි වන පරිදි පළමුව මා විමුක්තිය සාක්ෂාත් කරගැනීමට උත්සාහ කළ යුතුයි.’ පසුව මහායානය නැවතත් ප්‍රධාන ගුරුකුල දෙකකට බෙදී ගියේය. දෙවැනි සියවසේ මැද භාගයේ සිට වර්ධනය වූ මධ්‍යමික සහ හතරවැනි සියවසේ පමණ සිට වර්ධනය වූ යෝගාචාර එම ගුරුකුල වේ.
යෝගාචාර කණ්ඩායමෙන්, තන්ත්‍ර පිළිබඳ අදහස් සහ භාවිතයන් මතුවූ අතර, ඒවා බොහෝ විට බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ උත්සාහයන් පහසු කිරීම සඳහා යොදාගන්නා විවිධ මන්ත්‍ර, සංකේත සහ චාරිත්‍ර විධි සමග සම්බන්ධ වේ.
භාරතයේ බුදුදහම පරිහානියට පත්වීමත් එහි අනුගාමිකයන් ආධ්‍යාත්මික අරමුණු සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වීමත් තන්ත්‍රයානික ධර්මයේ වර්ධනයට හේතු වූ බව පැවසේ.
එතැන් සිට ‘පුළුල් ලෙස වර්ධනය වුණු නමුත් අපැහැදිලි වුණු බුදුදහම සම්බන්ධ විවිධ සම්ප්‍රදායන්වලට අර්ථයක් ගෙන ඒමේ අරමුණින්’ වජ්‍රයාන ගුරුකුලය බිහි විය. වජ්‍රයාන ආදි – බුද්ධ හෙවත් පළමු බුද්ධ සංකල්පය හඳුන්වා දුන්නේය.
ගෞතම බුද්ධ යුගයට පෙර ලොව පහළ වූ තවත් බුදුවරුන් සිටි බවට විශ්වාස කෙරේ. වජ්‍රයාන කණ්ඩායමට අනුව, ඒ සියල්ල ආරම්භ වූයේ ආදි බුදුන්ගෙනි. ආදි බුදුන්ව දකින්නේ ‘මේ වන විටත් පළමු තැන පවතින, සම්භවයක් නැති, තමා නිසාම පවතින, නිවනේ සිටින නිසා කිසිදා නොපෙනෙන’, අයකු ලෙස බව වරක් යෝග්‍යාකර්තාහිDuta Wacana Theological College හි ප්‍රධානියා වූ දේවධර්මාචාර්ය හරුන් හැඩිවිජොනෝ ඔහුගේ Hinduism and Buddhism (1989) යන ග්‍රන්ථයේ පැවසීය.
‘ආදි බුදුන්ගේ හරය නිර්මල ආලෝකයයි. එය ශුන්‍යත්වයෙන්, හිස් බවෙන් හටගනී’ හරුන් පැවැසීය.
පස් ආකාරයක ධ්‍යාන වැඩීම් තුළින් ආදි බුදුන්ට පංච තථාගතයාණන් වහන්සේලා හෝ බුදුවරුන් පස්නමක් අවධි කරගත හැකි බවට විශ්වාස කෙරේ.
වජ්‍රයාන භික්ෂූහු පසුව සියලු ‘විශ්වීය බලවේග’ එක් එක් තථාගතයන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන කණ්ඩායම් පහකට බෙදූහ. විශ්වයේ සියලු බලවේග සහ කරුණු මෙම කණ්ඩායම් පහට සම්බන්ධ කිරීම සඳහා ‘සංකීර්ණ හා පැටලිලිසහගත’ පද්ධතියක් පසුව නිර්මාණය කරන ලද බව කොන්ස් පැවසීය.
‘මොකද මෙහිදී උන්වහන්සේට උන්වහන්සේගේ ඉහළම ස්වරූපය පහත්ම ස්වරූපය තුළ සඟවා ගන්න පුළුවන්, විමුක්තිය ළඟා කරගත්ත කෙනා සාමාන්‍ය කෙනෙක් විදිහට පේන්නේ, නිවන ළඟා කරගත්ත කෙනා වඩාත්ම මහ පොළොවේ ජීවත් වෙන කෙනා වෙනවා, සහ ප්‍රඥාව තියෙන්නේ එකිනෙකට පරස්පර අමුතු තැන්වල.’
රාජධානි යුගයේ බෞද්ධයන්
කුඩා කාලයේ මගේ ප්‍රධාන විනෝදාස්වාදය වූයේ Journey to the West ටෙලි නාට්‍යය නැරඹීමය. හොංකොං වෙතින් ලද මෙම ටෙලි නාට්‍යය ප්‍රථම වරට ඉන්දුනීසියාවේ විකාශය කෙරුණේ 1997 වසරේදීය. කෙසේ වෙතත්, මට මතක පරිදි, මම ප්‍රාථමික පාසලේ සිටියදී 2000 දශකයේ මුල් භාගයේදී පවා එහි නැවත විකාශනයන් උනන්දුවෙන් යුතුව නැරඹුවෙමි. රාත්‍රී ආහාර ගන්නා වේලාවට එය විකාශය වූ අවස්ථාවන්හිදී නිරායාසයෙන්ම මම රූපවාහිනිය ඉදිරිපිට අසුන් ගෙන, ටොං සෑම් කොං භික්ෂුව බටහිර දෙසට උන්වහන්සේගේ ගෝලයන් තිදෙනා වන සන් ගෝ කොං, චූ පැට් කායි සහ ෂා වූ චිං සමග ශුද්ධ වූ පොත් සොයා යන සංකීර්ණ ගමන තුළ ගිලී එය නැරඹුවෙමි. ඊට පසුදා පාසලේදී, මා මගේ පන්තියේ මිතුරන් සමග විකාශය වුණු කොටස් ගැන කතාබහ කළේ, නපුරු බලවේග පරාජය කිරීමට ගෝ කොං දක්වන දක්ෂතාව ගැන අගය කරමින් හෝ පැට් කායිගේ අහංකාර හා අලස හැසිරීම්වලට සිනාසෙමිනි.
සන් ගෝ කොං සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය කර ඇති බවත්, ටොං සෑම් කොං භික්ෂුව සැබවින්ම ශුද්ධ වූ පොත්පත් සොයමින් බටහිර දෙසට ගමන් කළ බවත් මගේ පියා මට පැවසූ විට මම තවත් පුදුමයට පත් වුණෙමි.
නිදහසින් පසු බුදුදහම
20 වන සියවසේ මුල් දශකවලදී, ලන්දේසීන් ඉන්දුනීසියාව යටත් විජිතයක් බවට පත් කරගෙන සිටි අවධියේ, බොහෝ බෞද්ධයන් චීන සම්භවයක් ඇති අය වූ අතර ඔවුහු බොහෝ විට මහායාන බුදු දහම, තාඕවාදය සහ කොන්ෆියුසියස්වාදයේ අංග මිශ්‍ර වූ පන්සල් වන්දනා කළහ.
චීන සම්භවයක් ඇති ජනයා මෙම ඉගැන්වීම් ත්‍රිත්වය ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන්නක් ලෙස සැලකූහ. කෙසේ වෙතත්, එකල ධර්ම දේශන හෝ ආගමික ඉගැන්වීම් සිදු නොවුණු අතර, විහාරස්ථානවල වැඩ සිටි චීන භික්ෂූන් වහන්සේලා අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කිරීමෙහි ලා වැඩි වශයෙන් සම්බන්ධ වූ ‘චාරිත්‍ර විශේෂඥයින්’ යැයි පැවසිය හැකි බව ජැක් මැන්ග් ටැට් චියා සිය Kiprah Para Mahabhiksu (2022) නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත.
අභ්‍යන්තර බෙදීම් සහ මහා ක්‍රිස්තියානිකරණය
කලකට පෙර ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂය යුගයේදී, අදේවවාදය ප්‍රවර්ධනය කිරීම වැඩිහිටියන් පමණක් නොව දරුවන් ද ඉලක්ක කර ගත්තේය. ළදරු පාසල්වල දරුවන් පවා එවැනි අදහස්වලින් විෂ ගැන්වීය.
1965 සැප්තැම්බර් මස අගදී හමුදා ජෙනරල්වරුන් කිහිප දෙනකු ඝාතනය කිරීමේ මහ මොළකරු බවට චෝදනා එල්ල වූ ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය, ‘එක් සර්වබලධාරී දෙවියකු කෙරෙහි විශ්වාසය තැබීම’ යන පංචශීලයේ පළමු මූලධර්මය (විශේෂයෙන්) අවලංගු කිරීමට උත්සාහ කරන බවට සලකනු ලැබීය. මෙම ක්‍රියාව ඉන්දුනීසියානු ජාතියේ ස්වභාවයට පටහැනි ලෙස සැලකේ.
සුහර්තෝගේ ආණ්ඩුව ‘එක් දෙවියෙකු කෙරෙහි විශ්වාසය’ තැබීමේ වැදගත්කම අවධාරණය කළ අතර කොමියුනිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමට ආගම මෙවලමක් ලෙස භාවිත කළේය. මෙම ප්‍රතිපත්තියට ප්‍රතිචාර වශයෙන් අෂින් ජිනරක්ඛිත භික්‍ෂුව සිය බුද්ධායන ව්‍යාපාරය තුළ සං හියං ආදි බුද්ධ සංකල්පය හඳුන්වා දෙන ලදී. චියා සිය ග්‍රන්ථයේ ‘ආරම්භයක් නොමැති බුදු රජාණන් වහන්සේල ලෙස පරිවර්තනය කරන සං හියං ආදි බුද්ධ, එකම දෙවියන් යන සංකල්පයේ බෞද්ධ අනුවාදය ලෙස ඉදිරිපත් කරයි.
සත්‍ය වශයෙන්ම, මීට පෙර විධිමත් ලෙස ආගම වැලඳ නොගත් චීන සම්භවයක් ඇති ඇතැම් අය අවසානයේ බෞද්ධ වීමට තීරණය කළහ. කෙසේ වෙතත්, චීන සම්භවයක් ඇති බොහෝ ජනයා තමා බුදු දහම හෝ කොන්ෆියුසියස්වාදය වැලඳගතහොත් තමන් චීනයට හෝ කොමියුනිස්ට්වාදයට සම්බන්ධ යැයි රජය සිතනු ඇතැයි බියෙන් ක්‍රිස්තියානීන් වීමට තීරණය කර ඇතැයි කියනු ලබන බව ජර්සන් බෙනියා නාර්චිසෝ සිය Christianization in New Order Indonesia (1965-1998) නම් අධ්‍යයනයේ ලියා ඇත.
ඉන්දුනීසියානු පන්නයේ බුදුදහම
මේ වන විට බෞද්ධ ප්‍රජා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම යටතේ සංවිධාන 40ක් පමණ පවතින බව ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය සඳහන් කරයි. එක් බෞද්ධ නිකායකට සංවිධාන කිහිපයක් තිබිය හැකි බැවින් මෙම අගයෙන් ඉන්දුනීසියාවේ නිකාය ගණන සත්‍ය ලෙසම පිළිබිඹු නොවේ. කෙසේ වෙතත්, ඉන්දුනීසියාවේ බෞද්ධයන් සංඛ්‍යාවෙන් සුළුතරයක් ලෙස පැවතුණ ද ඔහු තවමත් නිදහසේ සිට බෞද්ධ ඉගැන්වීම්වල වර්ධනය සිදුවූ ආකාරය පෙන්වා දෙයි.
ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ දත්තවලට අනුව, 2022 වන විට ඉන්දුනීසියාවේ බෞද්ධයන් මිලියන 2.02ක් හෝ මුළු ජනගහනයෙන් 0.73%ක් සිටිති. ඉන්දුනීසියාවේ නිල රාජ්‍ය ආගම් හයෙන්, බෞද්ධයන් සංඛ්‍යාව වැඩිවන්නේ කොන්ෆියුසියස් අනුගාමිකයන් සංඛ්‍යාවට පමණි. එය එම වසරේම මුළු ජනගහනයෙන් 0.03%ක් හෝ 74,899ක් ලෙස වාර්තා විය.
ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යන සම්ප්‍රදායන් තුනට විශේෂිත වූ වෙනත් සංවිධාන ද පිහිටුවා තිබුණත් බුද්ධායනය මෙම ඉගැන්වීම් තුන සඳහා වේදිකාවක් ලෙස කටයුතු කරයි. බුද්ධායන යටතේ සිටින පිරිස වෙනස් වන්නේ අෂින් ජිනරක්ඛිත භික්ෂුව විසින් ඇතිකරන ලද සං හියං ආදි බුද්ධ සංකල්පයෙනි.
‘බුද්ධායනයෙන් පිටත අනෙකුත් බොහෝ සම්ප්‍රදායන්ට මෙම සංකල්පය පිළිගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් එක් ගුරුකුලයකට පමණක් යොමු වන නිසා’ යනුවෙන් සාගින් ථෙරවාදී භික්ෂුවක වන ධීරපන්නෝ හිමි පැවසූහ.
‘අපි ඉන්නේ බුද්ධායනයේ නම්, මම ථෙරවාදියෙක් වුණත්, ඉන්දුනීසියාවේ බුද්ධාගම පිළිබඳ අවබෝධයක් ගන්න මම අනිවාර්යයෙන්ම මහායාන සහ වජ්‍රයාන ඉගෙනගත යුතුයි.’
එහි වර්ධනයේදී, බුද්ධායනය ඉන්දුනීසියාවේ විවිධ ප්‍රදේශවල ජනතාවගේ සංස්කෘතියට හෝ ජන විඥානයට ගැළපෙන ලෙස අනුවර්තනය වීමට ‘නම්‍යශීලී’ වූ බවද කියනු ලැබේ.
නිදසුනක් වශයෙන්, ජාවා දිවයිනේ ප්‍රදේශ කිහිපයක බුද්ධායනයේ වජ්‍රයාන අනුගාමිකයින් ද කෘතඥතාව පළකිරීමේ ආකාරයක් ලෙස දේවි ශ්‍රී දෙවියන්ට වන්දනාමාන කරන අතර ඒ හරහා හොඳ අස්වැන්නක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
සුහර්තෝගේ පාලනයෙන් එල්ල වූ දේශපාලනික බලපෑම් නිසා ඉන්දුනීසියාවේ ත්‍රිධර්ම සංවිධානය අවසානයේ බෞද්ධ ප්‍රජා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම යටතේ පැවතිණි. ඒ හැරුණු විට තවත් විවිධ බෞද්ධ සම්ප්‍රදායන් ඉන්දුනීසියාවේ බිහිවී වර්ධනය වී ඇත.
ජපානයෙන් දායාද වුණු නිචිරෙන් ෂෝෂු ඉන් එකකි. එහි නිර්මාතෘ නිචිරෙන් දයිශෝනින් ධර්මය පරිහානියට පත්වන කාලයේ පහළ වූ බුදුවරයකු ලෙස සැලකේ.
සිද්ධාර්ථ ගෞතම යුගයෙන් පසු මීළඟ බුදුන් වහන්සේ යැයි කියන මෛත්‍රී බුදුන් ගැන විශ්වාස කරන චීනයේ මෛත්‍රී බුදුන් මුල්කරගත් සාම්ප්‍රදායද ඇත. ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ බෞද්ධ ප්‍රජා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ ජනරාල් සුප්‍රියාදි බලාපොරොත්තු වන්නේ, දැනට පවතින සියලු බෞද්ධ සංවිධාන හෝ නිකායන්වලට එකම කලාපයක සාමකාමීව පවතිමින් එකිනෙකාගේ වෙනස්කම් පිළිගෙන කටයුතු කළ හැකි බවය.
‘විවිධ සම්ප්‍රදායන්ට අයත් මිනිසුන් වඩාත්ම නිවැරදි දහම අපේ, අපේ තමයි පාරිශුද්ධ බව වැඩිම කියලා එකිනෙකාට දොස් පවරා ගැනීමේ අවදානමක් තියෙනවා’ සුප්‍රියාදි පැවසීය.
‘මෙන්න මේකෙන් තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ….’
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි









