ලොවම කතාබස් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විෂයට අදාළව එතෙරින් පසුගිය දශක කිහිපයක් පුරා අසන්නට ලැබුණු කතාන්දර බොහෝය. එනම් මෙරට පාලනයේ සිටි රජයන් ගණනාවක් යටතේදී මෙම වතගොත ඇසෙන්නට වූයේය. විශේෂයෙන්ම රාජපක්ෂ රජය පාලනයේදී මෙම කතාන්දර බොහෝ ඇසෙන්නට විය. එසේ වූයේ එකල සිවිල් යුද්ධය ආශ්‍රිතව මානව හිමිකම් අර්බුද රැසක් මතුවූ හෙයිනි. එම තොරතුරු බොහොමයක් සමාජය දන්නා හෙයින් නැවත ලියා තැබීම අවශ්‍ය නැත. එම රාජපක්ෂ සමය දැන් අවසන්ව හමාරය. එවැනි වටපිටාවකදී වත්මන් ජාතික ජන බලවේග රජය පත්වීමෙන් පසුව බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ එම නව රජය යටතේදී මානව හිමිකම් ප්‍රශ්න යම් අයුරකින් සමථයකට පත්වන බවයි. එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා මෙරටට එල්ල කෙරෙන විවිධ චෝදනා සමථයකට පත්වන බවයි. එහෙත් එය එසේ සිදුවුණේද? කෙටි පිළිතුර ‘නැත’ යන්න කිව හැකිය. එවැනි වටපිටාවකදී දැන් එසේ නම් සිදුව ඇත්තේ කුමක්ද?Sri Lanka Latest News
මෙම සුවිශේෂ කතාන්දරය අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට පෙරදීය. එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (United Nations Human Rights Council) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගැනීම එම පුවත විය. මෙයින් තවදුරටත් කියැවුණේ එක්සත් ජාතීන්ගේ මානව කවුන්සිලය විසින් ඔවුන්ගේ නවතම 60 වැනි සැසිවාරයේදී A/HRC/60/L.1/Rev.1 ලෙසින් සඳහන් කෙරුණු යෝජනාව සම්මත කරගත් බවයි. මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මැයෙන් නම්කර තිබිණි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති 60 වැනි සැසිවාරයේදී මෙම යෝජනාව සම්මත කරගෙන තිබුණේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ (Office of the High Commissioner for Human Rights – OHCHR) ශ්‍රී ලංකාවට අදාළ යෝජනාව තවත් වසර දෙකකට දීර්ඝ කරමින්ය. මෙහිදී විශේෂත්වය වූයේ මෙයට පෙර සැසිවාරවලදී මෙන් නොව අදාළ යෝජනාව කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීමය.
2025 ඔක්තෝබර් 01 වැනි දින සංශෝධනය කර සභාගත කරන ලද යටකී යෝජනාවට රටවල් 22ක් සම අනුග්‍රහය දැක්වීය. එහි ප්‍රධාන අනුග්‍රාහකයන් වන්නේ එක්සත් රාජධානිය (එංගලන්තය), කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව වන අතර, අතිරේක සම අනුග්‍රාහකයන්ගෙන් බොහෝ දෙනකු යුරෝපීය රටවල් වෙයි. නවතම යෝජනාව ප්‍රථම වරට 2025 සැප්තැම්බර් 10 වැනි දින කැනඩාව, එක්සත් රාජධානිය, මොන්ටිනිග්‍රෝ, මලාවි සහ උතුරු මැසිඩෝනියාව ඇතුළත් වූ ‘ශ්‍රී ලංකා මූලික කණ්ඩායම’ විසින් හඳුන්වා දෙන ලදී. සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සංයුක්ත පියවර ගන්නා ලෙස කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. මෙයට අමතරව ඔක්තෝබර් 01 වැනි දින ඇල්බේනියාව, ඔස්ටි්‍රයාව, කැනඩාව, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, නවසීලන්තය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30ක සන්ධානයක් විසින් සංශෝධිත අනුවාදයක්ද ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුකූලවූ දේශපාලන බලය බෙදාහැරීම සඳහා වූ පොරොන්දු ඉටුකරන ලෙස මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ජාතික සංහිඳියාව සහ සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සැබෑ බලය බෙදාහැරීම අත්‍යාවශ්‍ය බව එමගින් ඉස්මතු කර ඇත. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දිගු කාලයක් පුරා ප්‍රමාද වූ පළාත් සභා මැතිවරණ පවත්වා, එම ආයතන ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බවට සහතික වන ලෙසටද යෝජනාව හරහා කොමිසම වත්මන් රජයෙන් ඉල්ලා සිටී.
මානව හිමිකම් අපරාධවලට මුහුණ දුන් වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂික නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක මෙන්ම ස්වාධීන සහ කාලෝචිත පරීක්ෂණ සිදුකරන ලෙස යෝජනාව තවදුරටත් ඉල්ලා සිටී.
ප්‍රමාණවත් සාක්ෂි පවතින විට අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමේ අවශ්‍යතාව එය අවධාරණය කරන අතර, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්ෂකයන්, මාධ්‍යවේදීන්, දිවි ගලවාගත් අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත බියගැන්වීම් සහ පලිගැනීම්වලින් ආරක්ෂා කිරීමේ වැදගත්කම යෝජනාව අවධාරණය කර සිටී.
මෙම නවතම යෝජනාව මගින් තවමත් හමුදා පාලනය යටතේ පවතින ඉඩම් නිදහස් කිරීම සහ පුරාවිද්‍යාත්මක, ආගමික සහ සංරක්ෂණ ගැටලු සම්බන්ධ ආරවුල් සාධාරණ ලෙස විසඳීම සිදුකරන ලෙසට ඉල්ලා සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය දුන් පොරොන්දුවද නව යෝජනාව මගින් පිළිගනු ලැබේ. එනමුත් පනත යටතේ රඳවා තබාගැනීම් අඛණ්ඩව සිදුවන බවට කනස්සල්ල පළකරයි. එය දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට අසමාන ලෙස බලපාන බව යෝජනාව අවධාරණය කර සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය වහාම අත්හිටුවීම, කඩිනම් අවලංගු කිරීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් වැළැක්වීම්වලට අනුකූලව නව ත්‍රස්ත විරෝධී නීති හඳුන්වා දීම යෝජනාව විසින් දැඩි ලෙස අවධාරණය කර සිටී.
මාර්ගගත ආරක්ෂණ පනත (Online Safety Act) සංශෝධනය කිරීමට රජයේ ප්‍රකාශිත කැපවීම යෝජනාව සාදරයෙන් පිළිගන්නා නමුත් එහි පුළුල් විධිවිධාන සහ අධිකරණ අධීක්ෂණයක් නොමැතිකම පිළිබඳ කනස්සල්ල මතුකරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා, කඩිනම් සංශෝධන දිරිමත් කරන ලෙස යෝජනාව ඉල්ලා සිටී.
මෙයට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ අධීක්ෂණය සහ වාර්තා කිරීම දිගටම සිදුකරගෙන යන ලෙසට මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය වෙතින් ඉල්ලා ඇත.
ආණ්ඩුව යෝජනාව ප්‍රතික්ෂේප කරයි
මෙවැනි සංකීර්ණමය වටපිටාවක් හමුවේ පෙනීයන්නේ මෙම වත්මන් ආණ්ඩුවටද මානව හිමිකම් මරාලයක් කඩාවැටී ඇති ආකාරයයි. එනම් මානව හිමිකම් රැකගැනීම කෙරෙහි මෙම රජයටද තදබල ලෙස අනතුරු ඇඟවීම් සිදුකර ඇත. මෙම රජය මේ වනවිට බලයට පත්ව වසරක් ගතව ඇති අතර, මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර තුනකට සහභාගි වී ඇත. පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක්ද මෙරට සංචාරයකට පැමිණියේය. එය වසර 09කට පසුව මානව හිමිකම් මහකොමසාරිස්වරයකුගේ පැමිණීමක් විය. ඔහු තම සංචාරයෙන් පසුව නිගමනය කළේ මෙරට මානව හිමිකම් රැකගැනීම තවම නිසි ආකාරයෙන් සිදුව නොමැති බවයි. මෙම වටපිටාවේදී ආරංචි වන අලුත්ම පුවත වන්නේ මෙලෙස ඉදිරිපත් කරන A/HRC/60/L.1/Rev.1 කෙටුම්පත ශ්‍රී ලංකා රජය විසින් තරයේම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ප්‍රියන්ත හෙට්ටිගේ










