ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ සාමාජිකයන් නිතරම ප්‍රකාශ කරන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව බාරගන්නා ලෙස ආරාධනා කළවිට සමගි ජන බලවේගය එය බාර නොගත් බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පසුගිය දිනෙක දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් බවත්, ඒ වනවිටත් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමට පොහොට්ටුවේ ප්‍රධානීන් තීරණය කර තිබූ බවත්ය.
ප්‍රශ්නය:
බොහෝ දෙනෙකු විසින් ඉස්මතු කරන තර්කය තමයි ජනාධිපතිවරයා නොවන්නට මෙවැන්නක් කළ හැකිව තිබුණේ අන් කවරෙකුටද යන බව. මේ සතියේ එතුමා නැවතත් වෙන කිසිවෙකු හෝ ඉදිරිපත් නොවූ බැවින් ආණ්ඩුකරණ වගකීම තමා භාරගත් බවට ප්‍රකාශයක් සිදු කළා. ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් අර්බුදයෙන් මිදී නොමැති නමුත් ඉදිරි ගමනක නිරත සිටිනවා. එතුමා මේ සතියේ ප්‍රකාශ කළ වචන මේවායි. මෙම වෘත්තාන්තය සම්බන්ධයෙන් ඔබතුමාගේ හැඟීම කුමක්ද? ඔබලා ඒ අවස්ථාවේ ඉදිරියට පැමිණියේ නැත්ද?
පිළිතුර ( ඉරාන් වික්‍රමරත්න මහතා):
මම ඒ වෘත්තාන්තය ප්‍රතික්ෂේප කරනවා. එය ආරම්භයේ පටන්ම ඉදිරියට ගෙන එමින් පැවති වෘත්තාන්තයක්. මා එය ප්‍රතික්ෂේප කරන්නට හේතුව මෙයයි.
එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපට ඇමතුමක් ලැබුණා. අදාළ වෙනස්කම් කළ යුත්තේ කවරාකාරවද යන්න සාකච්ඡා කිරීම සඳහා අප පැමිණ එතුමා හමුවන ලෙස එතුමා දන්වා තිබුණා. ඒ දුරකථන ඇමතුම ලද අවස්ථාවේ තීරණය ගනු ලැබුවා. මට නම් වශයෙන්ම කියන්නට පුළුවන් අපගේ පක්ෂයේ මහලේකම් සහ ජාතික සංවිධායක රංජිත් මද්දුම බණ්ඩාර සහ තිස්ස අත්තනායක යන මහත්වරුන්ද, කබිර් හෂිම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ද එතුමා හමුවන්නට ගියා. එක් ආකාරයකට එම සාකච්ඡාව මෙහෙයවූ පුද්ගලයා මා යැයි ප්‍රකාශ කරන්නට පුළුවන්. එතුමා විසින් වහා ක්‍රියාත්මක වී මේ ගැටලුව නොවිසඳන්නේ නම් මෙම ගැටලුව මහ පාරට විහිදී යාමේ හැකියාවක් පවත්නා බව මම එතුමාට කීවා. එතුමාට එසේ පැවසූ මා එමගින් රටට දැරීමට සිදුවන සමාජ පිරිවැය අතිශයින් ඉහළ එකක් විය හැකි බැව්ද පැවසුවා. අප විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය ගෙනැවිත් ඇති අතර, එය ගෙන එන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා බවද මම එතුමාට ප්‍රකාශ කළා. එය අප විසින් ගෙන එනවාට වඩා ඔබතුමාම ඉදිරිපත් නොකරන්නේ මන්දැයි මම එතුමාගෙන් විමසුවා. ඔබතුමා තමයි රටේ ජනාධිපතිවරයා, එබැවින් ඔබතුමාම එය මේ මොහොතේ ඉදිරිපත් කරන්නැයිද මම එතුමාගෙන් ඉල්ලා සිටියා. ඔබතුමා එම ධුරය දරන අතර ඔබතුමාගේ පාර්ලිමේන්තුව විසින් එය විමසා බලන තත්ත්වයක එය වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැබැවින්ම ජනතාවට වැටහෙනු ඇතැයිද, අපි හුදෙක් විපක්ෂයේ සිටින පිරිසක් වන අතර, ඔබතුමාට මේවන විටද තුනෙන් දෙකක බහුතරයක් ලබාදී ඇත බවද මම පෙන්වා දුන්නා.
මම මෙකරුණු විස්තරාත්මකව එතුමාට පැහැදිලි කළ අතර, එක් අවස්ථාවකදී මාගේ කථාව අතරමග නතර කළ එතුමා “ඔබ මා සති 2ක් ඇතුළත ධුරය හැරයා යුතු යැයි සිතන්නේද?” යන විමසීම සිදුකළා. එවිට එතුමා දෙසට හැරුණු මම ප්‍රකාශ කළේ “නැහැ. අපට ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි” බවයි. එවිට “නීතිඥ සංගමය විසින් ඒ අවස්ථාව වනවිට යෝජනාවක් ඉදිරිපත් කොට ඇති අතර, ඔවුන් විසින් තමාට ඉවත් වන්නට වසර 1 ½ක කාලයක් ලබාදී ඇති” බවද එතුමා ප්‍රකාශ කළා. මම නැවතත් ප්‍රකාශ කළේ “මේ කාරණය අපට සාකච්ඡා කළ හැකි” බවයි.
මම කාල රාමුවක් ලබාදෙන්නට කටයුතු කළේ නැහැ. එනමුත් මාගේ යටි සිත තුළ සැලැස්මක් තිබුණා. හේතුව, අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත් එහිදී එම ධුරය සතු බලය ඉවත් කෙරෙන අතර එම බලය පාර්ලිමේන්තුවට හෙවත් තනි පුද්ගලයෙකු වෙනුවට කණ්ඩායමක් වෙත සංචලනය වෙමින් සමස්ත රට පාලනය කෙරෙන ක්‍රමවේදයේ පූර්ණ පරිවර්තනයක් වන්නට තිබුණා. එවිට ජනපතිවරයා යම් පාලනයකට නතු කළ හැකියි. ඒ අවස්ථාවේ අපගේ මහලේකම්තුමා ප්‍රකාශ කළා “මේ සාකච්ඡාව ඉදිරියට යා යුතු අතර, එසේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා අප පාර්ශ්වයෙන් නම් කරන නියෝජිතවරයා ඉරාන් මහතා” වන බවට.
එතුමාගේ කාමරයේ දෙදෙනෙකු – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු – සිටියා. එතුමා “හොඳයි. ඒ අය සාකච්ඡාව ඉදිරියට ගෙන යයි” යනුවෙන් ප්‍රකාශ කළා.
පසු දින මා එතුමා ඇමතූ අවස්ථාවේ මා හට දැනගන්නට ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ගෙන ඒමේ සැලැස්මක් ඔවුන් තුළ පැවති බවයි. ‘අපි ප්‍රතික්ෂේප කළ බැවින් රනිල් වික්‍රමසිංහට වගකීම භාරදුන්නා’ යනුවෙන් රට පුරා ගෙනයන මේ ප්‍රචාරය පිළිගන්න එපා. අපි ඒ තරම් නිවට අය නොවෙයි. මුළ පටන්ම ඒ අයගේ සැලැස්ම තිබුණේ රනිල් වික්‍රමසිංහව ඉදිරියට ගෙන එන්නටයි. ඒ සාකච්ඡා කාමරයට අප කැඳවීම හුදෙක් ඔවුන් ප්‍රධාන විපක්ෂයට ආරාධනා කළ අතර, සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය වගකීම භාර නොගෙන පැනගිය බවට පසුව ප්‍රකාශ කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ සමස්ත සැලැස්මේ කොටසක් පමණයි.
ඇත්ත වශයෙන්ම එතුමා ඉදිරිපත් වූයේ නම් ඒ අවස්ථාවේ අප පාර්ශ්වයෙන් කොන්දේසි ඉදිරිපත් කරන්නට අපේක්ෂා කළා. ඒ පිළිබඳ විචිකිච්ඡාවක් නැහැ. හේතුව, වීදි බට සහ විරෝධතා ව්‍යාපාරයන්හි නියැළි ජනතාවට අවශ්‍ය වූයේ වෙනසක් – සැබෑ වෙනසක්. අපට ඒ අපේක්ෂාවන් සමග සෙල්ලම් කරන්නට අවශ්‍ය වූයේ නැහැ. අපට අවස්ථාව ලැබුණේ නම් අන්තර්වාර රජයක් පිහිටුවන්නට තිබුණා; බොහෝ දුරට ජනතාවට තමා වෙත නායකත්වය ලබාදෙන කණ්ඩායම් පිළිබඳ තීරණය කිරීමට හැකිවන පරිදි වඩාත් කෙටි කාල පරිච්ඡේදයක් ඇතුළත මැතිවරණ කැඳවන්නටද අවස්ථාව පැවතුණා. මක් නිසාද ඒ අවස්ථාවේ පැවතියේ සමාජ නැගිටීමක්. ජනතාවට සැබැවින්ම වෙනසක් අවශ්‍යව පැවතියා.
එබැවින්, සෑම දිනකම ප්‍රචාරය කෙරෙන ඒ ප්‍රවාදය, වෘත්තාන්තය මම සහමුළින්ම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් උත්සාහ කරන්නේ සියලු දෙනාම වගකීම් භාර නොගෙන පැනගිය බැවින් රනිල් වික්‍රමසිංහට වගකීම භාරගන්නට සිදුවූයේය යන ප්‍රවාදය ඉදිරියට ගෙන යන්නටයි. මාගේ අදහස නම් ඔවුන් විසින් එය පූර්ව සැලසුමකට අනුව සිදුකළ කටයුත්තක්. එයට බලපෑ බොහෝ හේතු පැවතියා. ඔබ දේශපාලනය පිළිබඳ සිතා බලන්නේ නම්, වික්‍රමසිංහ යනු වසර 50ක් පුරා දේශපාලනයේ නියැළෙන්නෙක්; පවුලක් ලෙස ගත්කල රාජපක්ෂවරුද වසර පනහකටත් වඩා වැඩි කාලයක් පුරා දේශපාලනයේ නිරතව සිටින අය. දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම තලයේ සිටින මේ සියලු දේශපාලනඥයන් එකිනෙකා පිළිබඳ මනා වැටහීමක්, දැන හැඳුනුම්කම්, ඇති අය. එබැවින්, නිතරම අපට ඇසෙන කථාවන්හි අපට බැලූ බැල්මට පෙනෙන දේට ඔබ්බෙන් වූ යම් සැඟවුණු කථාන්තරයක්ද පවතිනවා. යම් වෘත්තාන්තයක් ඉදිරියට ගෙන ප්‍රචාරය කරවමින් එය ජනතාව ලවා විශ්වාස කරවන්නට උත්සාහ කෙරෙමින් පවත්නා අතර, මම ඒ වෘත්තාන්තය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.