හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ගෙන සති 2 ක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කළා.Sri Lanka Latest News
හම්බන්තොට මාගම්පුර වරායේ කඩා ඉවත්කල කළුගල් ඉවත්කිරීමට ටෙන්ඩර් කිරීමකින් තොරව ලබාදෙන බව පවසා රුපියල් මිලියන 20 ක මුදලක් ලබාගෙන, එම ටෙන්ඩරය ලබානොදී වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළව මෙම නියෝගය ලබා දී ඇත.
2021 වසරේ ජනවාරි මස 5 වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විසින් තමන්ව හම්බන්තොට මාගම්පුර වරායට රැගෙන ගොස් අදාළ කළුගල් තොගය පෙන්වා මිල ගණන් සාකච්ඡා කළ බව පැමිණිකරු පවසා තිබෙනවා.
එහිදී අත්තිකාරමක් ලෙස තමන්ගෙන් රුපියල් මිලියන 20 ක මුදල ලබා ගත් බව හුංගම බටඅත දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාගය පැවැත්වෙනවා.
අදාළ පැමිණිල්ලට අනුව රුපියල් මිලියන 20 ක අත්කාරම් මුදල් ලබාගැනීමෙන් පසු පැවති රජය වෙනස්වීම නිසාවෙන් එම කළුගල් ටෙන්ඩරය ලබාදීමට නොහැකි වී ඇත.
ඒ හේතුවෙන් ලබාගත් එම අත්තිකාරම් මුදල නැවත චෙක්පතකින් ලබාදීමට කටයුතු කලත්, එම චෙක්පත මුදල් නොමැති ගිණුමකින් ලබා දී ඇති බැවින් චෙක්පත අගරු වූ බව පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර, තලංගම හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු ලෙසින් පෙනීසිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇපමත මුදා හැර ඇත.
කෙසේ වුවද වසර කිහිපයක් පුරා මෙම නඩුව විභාග වන නමුදු සිද්ධියට සම්බන්ධ මුල් පැමිණිල්ලේ සඳහන් අනෙක් තැනැත්තන්ගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැත.
ඒ හේතුවෙන් මුල් පැමිණිල්ලේ නම සඳහන්ව ඇති බව කියන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ගෙන සති 2ක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.










