පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ රූමත් තරුණියන්ට ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් හිංසනයන් සහ අඩම්තේට්ටම් එල්ල වන්නේ යැයි පසුගියදා වාර්තා වුණා. කාලාන්තරයක් තිස්සේ විවිධ හිංසනයන් සිදුවන බවත් මෙවැනි කටයුතුවලට අවනත නොවන්නේ නම් විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ පවසනවා. සමහර සේවිකාවන් තම රැකියා නැතිවේ යැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා බියවී සිටින බව වාර්තා වන්නේ. පසුගියදා තරුණියෝ පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට මේ පිළිබඳව පැමිණිලි කර තිබුණා.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කර තිබෙන්නේ මේ ගැන තමා විමර්ශනයක් කඩිනමින් පවත්වා සුදුසු පියවර ගන්නා බවයි. සිද්ධිය සුළුකොට නොතකන බවද ඇය වැඩිදුරටත් කියා තිබෙනවා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ගෘහ පාලන අංශයේ තරුණියන්ට සිදුවන්නේ යැයි පැවසෙන අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වනවා.










