සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (27) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ වැදගත්ම අංශයක් ලෙස විගණනය පෙන්වාදීමට පුළුවන්. රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට , ඒ වගේම දූෂණය අවම කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුවන ආයතනය වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවයි. මේ වන විට විගනකාධිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටිනවා. ඒ වගේම මෙතෙක් පැවැති කිසිදු ආණ්ඩුවක් විගනකාධිපති දෙපාර්තමේන්තුවට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමක් සිදු කළේ නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ සරසවි මිතුරෙකුට විගනකාධිපති ලෙස පත්කර ගැනීමට ආණ්ඩුව දරණ උත්සාහය පිළිබඳව අපි කණගාටුවට පත්වෙනවා.
ඒවගේම විගනකාධිපති ධූරයට සුදුසුකම් නැති පුද්ගලයෙකුගේ නමක් තමයි ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ නමට විරුද්ධව බහුතරයක් දෙනා පෙනී සිට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යම ගුණාංගයක් දේශපාලනීකරණය කර ජනාධිපතිවරයාගේ මිතුරෙකුට විගනකාධිපති ධූරය ලබාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට විශාල විනාශයක් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුව කවදාවත් කරන්නෑ කියපු දේවල් අද දිනපතා සිදු කරන්න පටන්ගෙන තිබෙනවා.
ඒවගේම පසුගියය ආණ්ඩුව දේශපාලන පත්වීම් ලබාදීමේදී ඊට විරුද්ධව අනුර කුමාර දිසානායක මහත්තයලා කතා කළා. ඒ වගේම තානාපතිවරු ලෙස දේශපාලනඥයින් පත්කිරීමේදී ඊට විරුද්ධව කතා කළ ආණ්ඩුවේ ප්‍රධානීන් අද තමන්ගේ දේශපාලන වේදිකාවල කතා කළ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට උදව් කළ , ජාතික ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වුණ පිරිස තානාපතිවරු ලෙස පත්කරන විට ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටින කාලයේ කියපු දේවල් අමතක වී තිබෙනවා.
ඒ වගේම රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම පිළිබඳව ජාතික ජන බලවේගය දිගින් දිගටම කතා කළා. අරලියගහ මන්දිරය දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර ගැනීමපිළිබඳව දිගින් දිගටම විවේචන එල්ල කළ ජාතික ජන බලවේගය ඔවුන්ගේ පළාත් පාලන නියෝජිතයින් අරලියගහ මන්දිරයට ගෙන්වා දේශපාලන කටයුතුවලට භාවිතා කරනවා.
ඒවගේම ප්‍රවීණ රංගනන ශිල්පිනී අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට රාජ්‍ය ගෞරව ලබා දෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළ පසු ඒ සම්බන්ධයෙන් අපටත් දැඩි සතුටක් ඇතිවුණා. ඒ වගේම යහපාලන රජය තුළදී අභාවප්‍රාප්ත වූ අමරදේව ශූරීන්ගේ අවමංගල්‍යයට රාජ්‍ය ගෞරවය ලබා දීමට කටයුතු කළා. යහපාලන රාජ්‍ය සමයේ රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් ආකාරයයි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට රාජ්‍ය ගෞරවය ලබා දුන් ආකාරයයි සම්බන්ධයෙන් විශාල වෙනසක් තිබෙනවා. මාලනී ෆොන්සේකා මහත්මිය රටට ගෞරවයක් ගෙන දුන් කාන්තාවක්. එවැනි කාන්තාවකට වර්තමාන රජය රාජ්‍ය ගෞරවයක් නෙවෙයි ලබා දුන්නේ රාජ්‍ය අගෞරවයක්. ඒ වගේම මෙය දේශපාලනීකරණය කර කතා කිරීම සම්බන්ධයෙනුත් අපිට ගැටළුවක් තිබෙනවා. එතුමියගේ මරණය දේශපාලනීකරණය නොකර නිසි ගෞරවය එතුමියට ලබාදෙන්න වර්තමාන රජයට කටයුතු කිරීමට තිබුණා. ඒ වගේම එතුමියගේ අවසාන කටයුතුවලට සම්බන්ධ වෙලා සිටියා මීට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී මාලනී ෆොන්සේකා මහත්මියගේ අසනීප තත්ත්වයට මුදල් ලබාදීමට ජනාධිපති අරමුදල භාවිතා කළ බවට එතුමියට අගෞරව කළ කණ්ඩායමක්. ඒ වගේම කොන්ද පණ තිබෙන කලාකරුවන් කිහිප දෙනෙකුත් මේ සම්බන්ධයෙන් විවෘත විවේචනයකුත් සිදු කළා. කෙසේ නමුත් ගෞරවය ලබාදිය යුතු අයට නිසි ගෞරවය ලබා නොදීම සම්බන්ධයෙන් විශාල ගැටළුවක් මතුවී තිබෙනවා.
ඒ වගේම අපේ රටේ තීරණාත්මක කාලවකවානුවක් ඉදිරියේදී පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ තමයි රටේ ජනතාවට රටේ ව්‍යාපාරිකයින්ට දරා ගතනොහැකි මට්ටමේ විදුලි බිල වැඩි කිරීමක් සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරනන විට ආණ්ඩුවේ විදුලි බල ඇමතිවරයා සහ සභා නායකවරයා විදුලි බිල අඩුකිරීමට කිසිදු සැලසුමක් නැති බව තමයි ප්‍රකාශ කළේ. ඒ වගේම පසුගිය සතියේදී විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම විදුලි බිල වැඩි කිරීමට සිදුවුණොත් එය රටේ තිබෙන ව්‍යාපාර කර්මාන්තශාලා බොහොම එකටබලපානවා.මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු පියවරක් ගැනීමට කටයුතු කර නැහැ. එසේ නමුත් අවසානයේදී රටේ ජනතාවට දරා ගැනීමටනොහැකි බරක් ජනතාවගේ හිස මතට කඩා වැටීම තමයි සිදුවන්නේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට කොන්ද පණ තිබෙන තීන්දු තීරණ ගන්නා ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම රටේ සමස්ත රාජ්‍ය සේවයම අද අක්‍රිය වී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය තුළ මේ වන විට විරෝධතා සහ වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ , සෞඛ්‍ය ක්ෂේත්‍රයේ , ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිස් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටිනවා. මේ සියල්ලගෙන්ම අවසානයේ අවසානයේදී දුක් විඳීමට සිදුවන්නේ රටේ ජනතාවටයි.‘‘










