බ්‍රසීලයේ සිට ගුවන් තැපෑලෙන් එවා තිබූ පාර්සලයක් තුළ සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්.එල්.ආයතනයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
ඒ තුළ තිබී රුපියල් කෝටි 19ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක් සොයාගෙන ඇත.
මෙම ගුවන් තැපැල් පාර්සලය ඉකුත් 08/21 දින කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර, ඒ තුළ වූ වොලිබෝල් දැළක මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණි.
මෙම පාර්සලය භාරගැනීමට කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනය හිමිකරු විසින් බලය පවරා කටුනායක ගුවන් භාණ්ඩ පරිශ්‍රය වෙත එවා තිබූ පුද්ගලයන් දෙනෙකු ඉදිරියේදී මෙම ගුවන් තැපැල් පාර්සලය විවෘත කළ අතර ඒ තුළ වූ කොකේන් මත්ද්‍රව්‍ය එහිදී රසායනික පරීක්ෂා කිරීමකට ලක්කර ඒ බැව් තහවුරු වීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගැණුනි.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්.එල්.ආයතන පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර, ශ්‍රී ලංකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රයත්නය වැළැක්වීමට ක්‍රියා කළ රේගු නිලධාරීන් වෙත ඔහු සිය කෘතවේදිත්වය පළකළේය.
dinamina










