වන්දි ලබා ගැනීමේ අරමුණ ඇතිව, කොළඹ වරායට නුදුරු මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්.වී.එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීමකින් තොරව, එය පැතිරී යාමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් ඉඩ හැර ඇතැයි, එම නෞකාවේ කපිතාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා චෝදනා කරයි.
අත් අඩංගුවට ගනු ලැබූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්, රුසියානු ජාතික විතාලේ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් ජනාධිපති නීතීඥවරයා මේ බව සදහන් කළේ ය.
නැවේ ගින්න පිළිබදව, කපිතාන්වරයා විසින් 20 වන දා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය දැනුම්වත් කළ බවත්, එදින පස්වරු 4.30 ට පමණ පැමිණි ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්, පැය එකහමාරකට ආසන්න කාලයක් ගින්න පිළිබදව විමර්ශන කළ බවත් ඔහු පැවසී ය.
කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ, නැව තුළ තිබෙන බහාළුම්වල රසායනික කාන්දුවක් තිබෙන බව, නැවේ කපිතාන් සහ කාර්ය මණ්ඩලය වරාය අධිකාරයට සගවා ඇති බවයි.
සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්තා උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වාර්තා කර ඇත්තේ, නැව ගිනි ගැනීමෙන් සහ මුහුදුබත් වීමෙන් කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව මහත් විනාශයක් මෙරට මුහුදු තීරයට සිදු ව ඇති බවයි.
නැවේ කපිතාන්වරයාට ඊයේ දිනයේ දී ඇප ලබා දුන් අතර, නඩුව නැවත ජූලි මාසයේ පළමුවැනිදා කැදවීමට නියමිතය.










