ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ පුත්‍රයාට දුරකතන ඇමතුමක් ලබාදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකරන බවට ඔත්තු ලබාදුන් බව කියන ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් පැවසීය.Sri Lanka Latest News
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් අදාළ පරීක්ෂණය සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
මෙලෙස විමර්ශන ආරම්භ කර ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් බව පොලිසිය පවසයි.
මෙම නිලධාරියා පසුගිය දිනක ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ශාන්ති නමැති කාන්තාවගේ පුත්‍රයා බව කියන කළිදු නමැති අයකුට දුරකතන ඇමතුමක් ලබාදෙන දුරකතන සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබිණි.
අදාළ හඬපටයට අනුව පොලිස් නිලධාරියා කළිදු නමැත්තාට දුරකතන ඇමතුමක් ගෙන ඔහු සිටින ස්ථානය විමසන ආකාරයත්, පසුව සෙසු පිරිස් අතරින් දුරස් වන්නට පවසන ආකාරයත් පසුව “අම්මාට කියපං ටක්ගාලා ගෙදරින් බඩු හංගන්න කියලා, දැන් ටීම් එකක් බහිනවා ගෙදරට දෙහිවලින්” යනුවෙන් දැනුම් දෙයි.
කළිදු නමැත්තා ඒ ඇමතුම ලැබෙන අවස්ථාවේදී සිය මව සමගින් අධිකරණයේ නඩුවකට පැමිණ සිටින බවත් නිවස වසා දමා පැමිණි බවත් පවසන අතර ඊට පිළිතුරු වශයෙන් පොලිස් නිලධාරියා සඳහන් කරන්නේ “හරි බං කාටත් කියන්න එපා හොඳේ “ යනුවෙනි.










