කඳු මුදුන්වල රංචු ගැහිච්ච වලාකුළුවලට, ඒ කඳු මුදුන්වලින් අයින් වෙලා යන්න කිව්වොත් යන්න පුළුවන්ද? කඳු මුදුනෙන් පහළට බහින සුරවමියකට ඒ කන්දෙන් පහළට බැහැලා වෙන කොහෙට හරි යන්න කිව්වොත් යන්න පුළුවන් වෙයිද? කඳු මුදුන්වල ගී කියන කුරුලු කිරිලියන්ට ඒ කඳු මුදුන්වලින් අයින් වෙන්න කිව්වොත් අයින්වෙලා යන්න තැනක් තියෙයිද? කඳු මුදුන් අයිති පරිසරයට. කඳු මුදුන්වල ජීවත් වෙන එක අයිති ගහ කොළ වැල් මල් සතා සිවුපාවන්ට. හැබැයි අපි මොකද කළේ පහුගිය කාලේ? කඳු මුදුන්වල හිටපු කුරුලු කිරිලියන්ට අයිතියක් නැතිවෙන විදිහට කඳු එළිකෙරුවා. අපිට ඕනෙ ඕනෙ දේවල් කඳු උඩ ගිහිල්ලා පදිංචි කෙරුවා. කඳු උඩින් පහළට බැහැපු සුරවමියෝ නිහඬවම මේ විපත දිහා බලාගෙන හිටියා. සමහර අය අකාලේ මැරිලා ගියා. කන්ද මිනිස්සුන්ට අයිති වුණා. මිනිස්සු කන්ද තමන්ට ඕනෙ විදිහට වෙනස් කළා. සමහර කඳු මුදුන්වල තේ හිටෙව්වා. සමහර කඳු මුදුන්වල අයාලේ යන ෆයිනස් ගස් වැවුවා. සමහර කඳු මුදුන්වල ගොඩනැගිලි ඉදිකෙරුවා. සමහර තැන්වල හෝටල් හැදුවා. සමහර තැන්වල පන්සල් හැදුවා. හෝටල්, පන්සල්, ගෙවල්, ගොඩනැගිලි, සමහර වෙලාවට නගර මේ සියල්ලම දැන් කඳු මුදුන්වල තියෙනවා. ඔව් ඇත්ත. කඳු මුදුන්වලට කඳු මුදුන් විදිහට තියෙන්න නොදුන්න එකේ වරදට දැන් අපි වන්දි ගෙවනවා.Sri Lanka Latest News
රෝහණ විජේවීර සහෝදරයා මීට අවුරුදු 50කට විතර කලින් මේ ගැන කියපු එක්තරා හඬපටයක් සමාජ මාධ්‍යවල එහෙට මෙහෙට යනවා. කන්ද කියලා කියන්නේ ජල උල්පත්. කන්දෙ ඉපදෙන ජල උල්පත් තමයි මහ පොළොව සරු කෙරුවේ. පහළ ඉන්න අපිට වතුර අරගෙන ආවේ. ලෝකේ හුඟක් රටවල පානීය ජලය නැහැ. හැබැයි අපිට පානීය ජලය තියෙනවා. සමහර මිනිස්සු පුදුම වෙනවා. වත්තේ තියෙන ලිඳකින් වතුර බොනවා කිව්වම. ඒකට හේතුව අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ එක්කෝ වෝටර් බෝඩ් එකෙන් වතුර ගන්න. එහෙම නැත්නම් කඩෙන් වතුර අරන් බොන්න. ලංකාවේ විශාල ප්‍රදේශයක දැන් ජලය කියන්නේ ව්‍යාපාරයක්. නමුත් අපේ රටේ මහ පොළොවෙන් පිරිසිදු පානීය ජලය ලැබෙනවා. තවමත් අපිට නොමැරී ඉන්න පුළුවන් ප්‍රමාණයට වතුර දෙන්න මේ මහපොළොව උත්සාහ කරනවා. ඒත් අවාසනාවකට අපි ඒ ඔට්ටු වෙන මහපොළොව පරාජය කරලා අපේ තරගය දිනන්න උත්සාහ කළා. දැන් අනුර කුමාර සහෝදරයා කියන්නේ ඒක. ඔහු කියනවා කඳු මුදුන්වලින් මිනිස්සු අයින් කරන්න ඕනේ. අඩි 5,000ක් උස කඳු මුදුන්වල වනාන්තර ආරක්ෂිත විය යුතුයි කියලා. ඒත් ඒක කරන්න පුළුවන්ද?
අපි හොයලා බැලුවා කඳු මුදුන්වල ජනාකීර්ණ නගර තියෙනවද කියලා. ඒකට ලැබුණු උත්තරේ තමයි, කොන්දගල කියන ප්‍රදේශය මීටර් 1,586යි, ඒ කියන්නේ අඩි 5,203ක් උස කඳු මුදුනක් බව. ලිලුදුල්ලාසින්න මීටර් 1,661යි, අඩි 5,450ක පමණ උසකින් පිහිටලා තියෙනවා. අග්‍රාපුර මීටර් 1,612යි, අඩි 5,289ක් විතර උසකින් තමයි පිහිටලා තියෙන්නේ. ශාන්තිපුර මේ සියල්ලටම වඩා උසයි. ශාන්තිපුර නගරය ලංකාවේ උසම ගම්මානය විදිහට සලකනවා. ශාන්තිපුර ගම්මානය ගැන හොයලා බලද්දී අපිට දැනගන්න ලැබුණු දේ තමයි ශාන්තිපුර උසයි මීටර් 2,237ක්. ඒ කියන්නේ අඩි 7,339ක් උස බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ තමයි ලංකාවේ තියෙන උසම ගම්මානය.
එතකොට මේවට මොකද වෙන්නේ? මේවා ඉවත් කරලා දාන්න පුළුවන්ද? ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් තමයි මේ කියන්නේ. ඒ නිසා ප්‍රායෝගිකව කියන්න බැරි දේවල්, අපිට ප්‍රායෝගිකව කරන්න බැරි දේවල් නොකියා හිටියා නම් හොඳයි. මොකද ඒකට හේතුව සමහර දේවල් කරන්න බෑ. අග්‍රාපුර කියලා කියන්නේ අඩි 5,289ක් උස ගම්මානයක්. ඔහිය ස්ටේෂන් එක ගැන එහෙම නිතරම කියවෙනවා. ඔහිය අඩි 5,200ක් උසයි. පට්ටිපොළ මීටර් 1,600ක් උසයි. අඩි 5,249ක් ඒ කියන්නේ.
ප්‍රධාන නගර විදිහට ගත්තම බණ්ඩාරවෙල, හපුතලේ සහ නුවරඑළිය කියන මේ ප්‍රධාන නගර තුනම අඩි 5,000ට වඩා උස ආසන්න වශයෙන් තියෙන නගර. විශේෂයෙන්ම බණ්ඩාරවෙල මීටර් 1,559ක්, එහෙම නැත්නම් අඩි 5,085ක් උස නගරයක්. නුවරඑළි නගරය මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1,868ක්, ඒ කියන්නේ අඩි 6,129ක උසකින් යුක්තයි. මේ නගරයම සම්පූර්ණයෙන් ඉවත් කරන්න වෙනවා. හපුතලේ ගැන කියද්දී නම් සමහරුන්ට කියන්න පුළුවන් හපුතලේ උස අඩි 4,817යි කියලා. ඒත් මීටර් 1,469ක් උස මේ හපුතලේ ප්‍රධාන නගරය එච්චර උස නැති වුණාට වටේ පිටේ තියෙන ගොඩක් නගර, ගොඩක් ප්‍රදේශ අඩි 5,000ට වඩා උසයි. මේ තත්ත්වයත් එක්ක අපි තර්ක කරනවා, අපි ප්‍රශ්න කරනවා. මේ අඩි 5000ට වඩා උස ජනාවාස ඉවත් කරනවා කියන්නේ නුවරඑළිය, බදුල්ල, හපුතලේ සමහර ප්‍රදේශ, ශාන්තිපුර වගේ ගම්මාන සම්පූර්ණයෙන් ඉවත් කරනවද?
එහෙම වුණොත් එහෙම මේ ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙනවා. ප්‍රායෝගික නෑ. ඒ කියන්නේ මේ ආණ්ඩුව ඒකට වගකියන්න ඕනෙ නෑ. මේ ආණ්ඩුවට වගකියන්න වෙන්නේ මේ කතාවට විතරයි. මේවා අවුරුදු ගානක් තිස්සේ ඉදිවුණු ඉදිකිරීම්. මේවට අවසර දුන්නු අය, මේවට සැලසුම් හදපු අය, මේවට ඉඩකඩ දුන්නු අය සියලු දෙනාම මේකට වගකියන්න ඕනේ. මේ නගර ගොඩනැගීම අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. හදිසියේ වෙච්ච දෙයක් නෙමෙයි. මේවා මහා ඛේදවාචකවලින් කෙළවර වෙන බව අපි දන්නවා. ඒත් කරන්න බැරි දේවලුත් තියෙනවා.

ජීවන පහන් තිළිණ










