අධිකරණ නිලධාරීන් සමග පැවැත්වූ බව කියන සම්මන්ත්‍රණය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරු සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ විනිශ්චයකාරවරුන් දෙදෙනකුට ලිපියක් යොමු කරමින් එම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා වූ බව කියන මාධ්‍ය හරහා වාර්තා වූ කරුණු කිහිපයක් අවධානයට ලක් කර තිබේ.
වෘත්තිය සමිති විරෝධතා සහ අධිකරණයේ භූමිකාව ගැන සාකච්ඡා කිරීම,
රටේ පවතින වසංගත තත්ත්වය තුළ මහජන ඒකරාශි වීම් පාලනය සඳහා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ඇතැම් වගන්ති භාවිත කරන ආකාරය ගැන අධිකරණ නිලධාරීන්ට උපදෙස් දීම,
විරෝධතා මැඩලීම උදෙසා පොලීසියේ ඉල්ලීම අනුව නියෝග ලබාදීම සඳහා බලපෑම් සිදු කිරීමේ ප්‍රයත්නයක් තිබුණු බවට අධිකරණ නිලධාරීන් අතර මතයක් නිර්මාණය වීම, යන කරුණු මෙලෙස අවධානයට ලක් කර තිබේ.
නඩු පවරන්නන් හා ඔවුන්ගේ නීතිඥවරුන්ට අධිකරණ නිලධාරීන් නඩු විසඳීමේ දී නඩුවේ කුසලතාව මත පදනම්ව වෙනත් සලකා බැලීම්වලින් නිදහස්ව කටයුතු කරන බවට විශ්වාසයක් තිබිය යුතුයි.
මෙම කරුණු අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ පාලනයේ මූලික සාධක බවට විනිශ්චකාරවරුන්ට මනා අවබෝධයක් තිබෙන බව ද මෙම ලිපියේ සඳහන් ය.
යුක්තිය ඉටු කිරීම පමණක් නොව ඉටුකරන බව පෙන්නුම් කිරීම ද අවශ්‍ය යන නිගමනයට දැන් වාර්තා වන කරුණු පරස්පර බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
අදාළ සම්මන්ත්‍රණය මගින් අධිකරණ කාර්යන් ඉටු කිරීමේදී එය කළ යුතු ආකාරය පිළිබඳ බලපෑමක් හෝ අධිකරණ මනස හා අභිමතය භාවිත කිරීම වැළැක්වීමේ අභිප්‍රායක් හෝ ඇති බවට විනිශ්චකාරවරුන්ගේ හා මහජනතාවගේ සිතේ අදහසක් නිර්මාණය නොවිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපියෙන් පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති බලතල හා නීතියේ මූලධර්ම නැති වුවහොත් මෙම ආයතනවල ස්වාධීන බව අවම හෝ අහිමි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
අගවිනිසුරු ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කරන මෙම ලිපියේ අරමුණ කුමන දුෂ්කර අවස්ථාවක දී වුව ද සීමාවකින් තොරව පවත්වා ගත යුතු ගරුත්වයට, මෙවන් සම්මන්ත්‍රණයක් ගැන දැනට වාර්තා වී ඇති කරුණුවලින් නිෂේධාත්මක බලපෑමක් නොවන බව තහවුරු කිරීමටයි.








