තවත් විශිෂ්ටයෙක් රාජ්‍ය සේවයෙන් පසුගිය සතියේ සමුගත්තා.Sri Lanka Latest News
ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ තෙවන ජ්‍යෙෂ්ඨතම නිලය දැරූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මැතිතුමා.
විශිෂ්ටයෙකු යන වචනය සියලු දෙනාටම යෙදිය නොහැකියි..
එහෙත් ඔහු සිය රට වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ කළ සේවය ඔහු විශිෂ්ටයෙකු බවට පත්කර තිබෙනවා..
මට එතුමා හමුවන්නේ පසුගිය සියවසේ අවසානයේ සහ මේ සියවසේ මුල..
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් රහසේ ගෙන යාමට තැත් කළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අප විසින් අත්අඩංගුවට ගත්තා..
අපේ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලින් පසු එම මුදල් රාජසන්තක කර අදාළ පුද්ගලයාට දඩ මුදලක් නියම කළත්, ඔවුන් එම නියෝගයට එරෙහිව අධිකරණයට ගියා..
එම අවස්ථාවේදී අප වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළේ එහි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු ලෙස කටයුතු කළ සුමති ධර්මවර්ධන මහතා…
අපට එවැනි Case එකක් කළ විට එහි වටිනාකමින් විශාල ප්‍රතිශතයක් නීත්‍යායානුකූලව ත්‍යාග මුදලක් ලෙස ලැබෙනවා..
ඒ ආඥා පනතක් මගින් ලබාදී තිබෙන අවස්ථාවක්…
අප වෙනුවෙන් පෙනී සිටියාය කියා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ට එවැන්නක් ලැබෙන්නේ නැහැ..
නමුත් අපේ දෙපාර්තමේන්තුවේම සමහර නිලධාරීන්ට වඩා එම නඩුව සාර්ථක කරගැනීමට උපරිමාධිකරණය දක්වා යාමට ඔහු පසුබට වුණේ නැහැ..
ඔහු කවර ගණයේ පුද්ගලයෙක් ද යන්න මා තේරුම් ගත්තේ එදායි..
ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළට පැමිණි ඔහු ජනාධිපති නීතිඥවරයෙකු බවට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තෙවැනි ඉහළම නිලයට පත්වුණා…
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට පත් නඩු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් ඔහු කළ කාර්යභාරය අති විශිෂ්ටයි..
රුසියානු ගුවන් යානයක් නතර කිරීම සඳහා වාණිජ මහාධිකරණය විසින් දුන් තීන්දුවක් මහත් ආන්දෝලනයට ලක් වුණා..
එය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා යමින් තිබුණා..
එදා එතුමා වාණිජ මහාධිකරණය වෙත ක්ෂණිකව ගොස් කරුණු ඉදිරිපත් කර එම තීන්දුව වෙනස් කරගැනීමට ක්‍රියා නොකළා නම් රට මහත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමට ඉඩ තිබුණා..
උතුරේ ත්‍රස්තවාදී සැමරුමකට අන්තවාදී දේශපාලන පක්ෂ සූදානම් වූ මොහොතක යාපනය මහාධිකරණය වෙත ගොස් ඉතාමත් පැහැදිලිව නිශ්චිත කරුණු ඉදිරිපත් කර ,එම අවස්ථාව වළක්වා ගැනීමට ඔහු කටයුතු කළ ආකාරයද මට මතකයි..
එදා ප්‍රතිවාදීන් වෙනුවෙන් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටි සමහර ජනාධිපති නීතිඥවරුන් පෙනී සිටියා..
ජාත්‍යන්තර රග්බි සංගමය මගින් ලංකාවේ රග්බි ක්‍රීඩාව එරෙහිව නියෝගයක් නිකුත් කිරීමට තිබූ අවස්ථාවක්ද නීතිපති දෙපාර්තමේන්තුව හරහා කරුණු ඉදිරිපත් කරගෙන වළක්වා ගැනීමට එතුමා මූලිකත්වය ගත් බවට මතකයක් තිබෙනවා…
එතුමා සිය වෘත්තියේ නිරත වීමේදී, වෘත්තිය ගරුත්වය ඉහළින්ම රකින නිලධාරියෙක්..
ඒ නිසාම ඔහුට ජාත්‍යන්තර පිළිගැනීමක් ද තිබෙනවා..
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය International Cricket Council , එහි නීති උපදේශකවරයකු වශයෙන් ඔහු තෝරා ගෙන තිබෙන්නේත් ඒ නිසාම විය හැකියි..
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ දූෂණ මර්දන කමිටුවේ ස්වාධීන සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ එතුමායි..
එම තනතුර ඇතිකර වසර විසි පහක් කාලය තුළ ආසියාතිකයකු එම තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව එයයි..
ඔහුට පෙර වසර දාහතරක් අඛණ්ඩව එම තනතුර දරා තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික සර් හෙන්රි ෆාගන් විසින්..
එමෙන්ම දකුණු ආසියාතික රටක ක්‍රීඩා දූෂණ මර්දනය පිළිබඳව මුලින්ම පනතක් ක්‍රියාත්මක කිරීම සඳහා එම පනත සම්පාදනය කිරීම සඳහා කටයුතු කළේ ( අංක 24/2019 )ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මැතිතුමායි..
ඒ ශ්‍රී ලංකාවේ 2019 වසරේදී..
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එතුමාට සුවිශේෂ තනතුරක් පිරිනැමීමටද ඔහු විසින් සිදු කරන ලද කාර්යභාරයද හේතුවක් වන්නට පුළුවන්..
ඔහු රටට රටේ හර පද්ධතීන්ට ඉතිහාසයට සංස්කෘතියට ගරු කරන මිනිසෙක්..
ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ ප්‍රථම සභාපතිවරයා ඔහුයි..
සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් සහ නිලධාරියෙක්ව ඔහු කලක් සිට බව මතකයි..
සිය වෘත්තිය ගරුත්වය රැක ගනිමින් සිය වෘත්තිය රටේ අභිවෘද්ධිය යහපත වෙනුවෙන් කැපකිරීමට ඔබ ගත් උත්සාහයට අප හැමදාම ගරු කරනවා..
ඔබතුමා රණවිරු පවුලක සාමාජිකයෙක්..
ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ දියණියක් හා විවාහ වූ ඔබ, මෙරටේ ඉතිහාසයේ නොමැකෙන නමක් තිබූ මේජර් ජනරාල් විජය විමලරත්නගේ ඥාතිපුත්‍රයෙක්..
එමෙන්ම යුද හමුදාවේ දෙවෙනි ඉහළම නිළය වූ මාන්ඩලික ප්‍රධානී නිලය මෙන්ම ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ ස්නයිපර් බලකායේ ප්‍රධානියා වූ මේජර් ජෙනරල් සංජය වනසිංහ , කිලිනොච්චිය ජයගැනීමේ සටනේ ගජබා රෙජිමේන්තුවේ පෙරමුණේ සිටි බ්‍රිගේඩියර් චන්දන සෝමවීර සහ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී මව්බිම වෙනුවෙන් දිවි පිදූ බ්‍රිගේඩියර් භාතිය ජයතිලක මේජර් නලින් ජයතිලක කපිතාන් පණ්ඩුක වනසිංහ යන රණවිරුවන්ගේද ඥාති සොහොයුරෙකු වෙනවා..
ඔබ ඔබේ වෘත්තියේ දීද රට වෙනුවෙන් එතරම් කැපකිරීමකින් කටයුතු කරන්නටද පවුල් පසුබිම තුළින්ම ඔබ සතු වූ ඒ ගුණය හේතුවන්නට පුළුවන්..
ඔබේ සේවා කාලය ඉතිරිව තිබියදී වේලාසනින්ම ඔබ සමුගෙන යන බව දැන ගන්නට ලැබුනා..
ඉතා දිගු කලක්, දශක තුනකට වැඩි කලක් නීතිපති දෙපාර්තමේන්තුව තුළ මේ රට වෙනුවෙන්ඔබ කළ මෙහෙයට බොහොම ස්තුතියි!










