යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට සීමිත විරෝධතා ගොනුකිරීම සඳහා අවසර දෙන ලෙස එම මන්ත්‍රීවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්. ගොපල්ලව මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එහෙත් විනිසුරු මඩුල්ල නිසියාකාරව පත්වී නොමැති නිසා මෙම ඉල්ලීම ඊළඟ දින සිදුරන ලෙස විනිසුරුවරයා එම නීතිඥවරයාට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන 31වනදා කැඳවීමටද නියම විය.
රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයේ නිරතව සිට ඉන් ඉවත් නොවී ඉකුත් මහ මැතිවරණයට තරගකිරීම තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවත්, ඒ අනුව ඔහුට මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවත් පෙත්සම්කරු කියා සිටියි.
ඒ අනුව අදාළ මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.










