ජවිපෙත් දැන් කොළඹ හතේ ගෙවල්වල දේශපාන සාකච්ඡා පටන් අරන්!
ඡන්ද දෙකක් ගන්න අනුර කතා කළේ කාටද?
දවල් මිගෙල් රෑ දනියෙල් දිලිත්!
අනුර ජර්මනියේදී චාන්සලර් හමුනොවුණේ ඇයි?
කොළඹ සටන
පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් වීමෙන් පසු බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම මේ වනවිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වී තිබේ. මෙහිදී පැවැති පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම්වලදී අඩු වැඩි වශයෙන් මාලිමාවත්, විපක්ෂයේ කණ්ඩායම් එකතු කරගෙන සමගි ජන බලවේගයත් බලය පිහිටුවූ ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කරගන්නා කණ්ඩායම කුමක් වනු ඇද්ද කියාය. එය මාලිමාවටද සිය දේශපාලන අභිමානය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබිණ. මන්ද යත් මාලිමාව ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත්, බහුතරයක් පළාත් පාලන ආයතනත් ඉතා ඉහළින් ජයග්‍රහණය කොට තිබියදී යම් හෙයකින් පළාත් පාලන ආයතනවල රජු ලෙස සැලකෙන කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට නොහැකි වූයේ නම් එය එක්තරා ආකාරයක දේශපාලන පරාජයක් ලෙස බොහෝ දෙනා හඳුන්වා දීමට ඉඩ තිබූ නිසාය. ඒ අනුව, මාලිමාව කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීම සඳහා තිරය පිටුපස දැවැන්ත දේශපාලන මෙහෙයුමක් දියත් කොට තිබූ ආකාරයක් දැකගත හැකි විය. මීට අමතරව පසුගිය සතියේදී අසනීප තත්ත්වයෙන් යුතුව නිවසට වී කල්ගත කළ සජිත්, ඉන් අනතුරුව දේශපාලන කටයුතු ආරම්භ කළ වහාම සිය දැඩි අවධානය යොමුකොට තිබුණේද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවන්ටය.Sri Lanka Latest News
මෙහිදී කොළඹ බලය අත්පත් කරගැනීමේ ප්‍රධාන සාධකය වී තිබුණේ ස්වාධීන කණ්ඩායම්ය. ඉනුත් ‘සමනලයා’ ලකුණ යටතේ තරග වැදුණු ස්වාධීන කණ්ඩායමේත්, ‘බැට් එක’ ලකුණෙන් තරග වැදුණු ස්වාධීන කණ්ඩායමේත්, චෝදනා රැසක් එල්ල වී තිබෙන ලාල් පීරිස් නමැත්තාට අයත් ස්වාධීන කණ්ඩායමේත් සහාය හිමිවන පාර්ශ්වය කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමට බොහෝ දුරට නියමිතව තිබිණි. නමුත් අවසන් මොහොත වනතුරුම කොළඹ මහනගර සභාවේ බලය කාට හිමිවනු ඇතිද යන්න පිළිබඳ නිශ්චිත අදහසක් ගැනීමට නොහැකි වී තිබුණේ මේ ස්වාධීන කණ්ඩායම් වරින් වර ආණ්ඩුවේ නියෝජිතයනුත්, සජිත්වත් මුණගැසී සාකච්ඡා පැවැත්වීමටත්, සිය සහාය ලබා දෙන බවට නොනිල වශයෙන් දැනුම් දීමටත් කටයුතු කර තිබීම නිසාය.
සාකච්ඡා කැසිනෝහල්වලත්
මෙම කණ්ඩායම් එසේ සජිත් හමුවන අතරවාරයේ ආණ්ඩුවේ පාර්ශ්වයන් සමග වෙනත් තැන්වලද දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටියහ. ඒ ඇතැම් සාකච්ඡා පැවැත්වුණේ කොළඹ ප්‍රධාන තරු පහේ හෝටල් ඇතුළේය. තුන්වැනි පාර්ශ්වයන් රැසක් ඊට මූලිකත්වය ගෙන සිටියහ. ඔවුහු එම හෝටල්වල රැය පහන් කරමින්, මධුවිතින් සහ රස මසවුලෙන් සන්තර්පණය වෙමින් ආණ්ඩුවට සහාය ලබාදීම සම්බන්ධයෙන් මේ ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්හ. තවත් සාකච්ඡා පැවැත්වුණේ කොළඹ පිහිටි නමගිය කැසිනෝ ශාලාවලය. ඒ ආකාරයට කොළඹ බලය පිහිටුවීම සඳහා මේ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන්ට විශාල ඉල්ලුමක් පසුගිය සතිය වනවිට ගොඩනැගී තිබූ ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් කොළඹ මහ නගර සභාවේ ඡන්දයට දින දෙකක් පමණ තියා සජබය සාකච්ඡාවල ඉදිරි පියවරක් වාර්තා කරමින් සභාව පිහිටුවීම අවශ්‍ය බහුතරය සොයාගැනීමට සමත් විය. ඒ අනුව සජබය වහාම කළේ සභාව පිහිටුවීමට අවශ්‍ය බහුතරය වූ 60ක් වන මන්ත්‍රීවරුන්ගෙන් විශේෂ ලිපියකට අස්සන් ගැනීමය. එසේ අස්සන් ගැනීමට හේතු වී තිබුණේ කොළඹ මහ නගර සභාවේ තනතුරු තේරීමේදී රහස් ඡන්දයකට යන ලෙසට ආණ්ඩුවේ ප්‍රබලයන් විසින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වූ සාරාංගිකා ජයසුන්දර මහත්මියට දැනුම් දී ඇති බවට ඔත්තුවක් ලැබී තිබීමය. ඒ අනුව සජබය වහාම කළේ කොළඹ තනතුරු තේරීමේදී විවෘත ඡන්දයකින් එය කළ යුතු බවට සභාවේ මන්ත්‍රී බහුතරය වූ 60ක ගේ අස්සන් ගැනීමට පියවර ගැනීමය.
සජිත් සාරංගිකාට කතාකරයි
මේ අතරවාරයේ සජිත් කළේ පළාත් පාලන කොමසාරිස්වරිය වූ සාරංගිකා ජයසුන්දර හට කෙළින්ම දුරකතන ඇමතුමක් ලබාදී ඒ සම්බන්ධයෙන් විමසා සිටීමය. කොමසාරිස්වරියට කතා කළ සජිත්, ‘ඔබතුමී කොළඹ තනතුරු තේරීමේදී රහස් ඡන්දයකට යනවා කියලා මේ වෙද්දී ලොකු කතාවක් යනවා. මේ කතාව ඇත්තද? මොකක්ද ඔබතුමිය අනුගමනය කරන ක්‍රමවේදය කියලා අපිට දැනගන්න පුළුවන්ද?’ යනුවෙන් විමසද්දී කොමසාරිස්වරිය ගත් කටටම සජිත්ට පිළිතුරු දෙමින් කියා සිටියේ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති මාර්ගෝපදේශයන්ට අනුව තමන් කොළඹ තනතුරු තේරීමට පියවර ගන්නා බවකි.
පළාත් පාලන කොමසාරිස්වරිය සජිත්ට එසේ දුරකතනයෙන් දැනුම් දීමට කටයුතු කොට තිබුණද මහනගර සභාවේ ඡන්දය විමසීම සඳහා ඉකුත් 16 වැනි දින සභාව පළමු වරට රැස්වූ අවස්ථාවේදී ඇය කටයුතු කළේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටය. එහිදී මන්ත්‍රීවරුන් 60 දෙනකු අස්සන් කළ ලිපියක් කොමසාරිස්වරියට භාරදෙමින් සජබ මන්ත්‍රීවරුන් කියා සිටියේ සභාවේ තනතුරු තේරීම සඳහා විවෘත ඡන්දයක් අවශ්‍ය බවට මන්ත්‍රී බහුතරය ලිපියකට අස්සන් කොට ඇති බවත්, ඒ අනුව විවෘත ඡන්දයක් හරහා තනතුරු පිරවීමට කටයුතු කළ යුතු බවත්ය. නමුත් සියල්ලන්ම පුදුමයට පත්කරමින් පළාත් පාලන කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කළ මාර්ගෝපදේශවල කුමක් සඳහන්ව තිබුණත් තමන් පළාත් පාලන ආයතන පනත අනුව කටයුතු කරන බවත්, ඒ අනුව රහස් ඡන්දයක් මගින් තනතුරු තෝරාගැනීමට කටයුතු කරන බවත්ය. කොමසාරිස්වරිය එය ප්‍රකාශ කළ ආකාරය සහ ඇය හැසිරුණු ආකාරය දෙස බලා සිටි බොහෝ දෙනාට එක්වරම හැඟී ගියේ එය කල් තියාම සැලසුම්සහගතව සකස් කළ පිටපතකට අනුව කරුණු කාරණා සිදුවෙමින් පවතිනවා යැයි කියාය. එහිදී සජබ මන්ත්‍රීවරුන් ඇතුළු විපක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට දැඩිව බලපෑම් කළත්, කොමසාරිස්වරිය ඒ කිසිවකට කන් යොමන බවක් දැකගන්නට ලැබුණේ නැත. ඇයගේ සහායට මාලිමාවේ සියලු මන්ත්‍රීවරුන් සහ ඇතැම් ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන්ද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව අවසානයේදී පැවැති රහස් ඡන්ද විමසීමේදී මාලිමාවේ අපේක්ෂිකාව වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නගරාධිපති ධුරයට ඡන්ද 60ක් ලබාගනිමින් පත්වූ අතර, සජබයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ රීසා සරූක් මහතාට ලබාගත හැකිව තිබුණේ ඡන්ද 54ක් පමණි.
59 ගෙදර සාකච්ඡා
මේ ආකාරයට සජබයට මන්ත්‍රීවරුන් 60ක් මුලින් සහාය පළකර සිටියත්, පසුව එය 54 දක්වා අඩු වූයේ කෙසේද? එසේ වී තිබුණේ අවසන් පැය 48 ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ස්ථාන කීපයක පැවැති අතිශය රහසිගත රැස්වීම්වල ප්‍රතිඵලයක් ලෙසටය.
ඉන් එක් රැස්වීමක් පැවැත්වුණේ පැලවත්ත ජවිපෙ මූලස්ථානයේදීය. කොළඹ තරගය අතිශය තීරණාත්මක ගල උඩ සටනක් වීම නිසා එම සාකච්ඡාවට ජනාධිපතිවරයාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී අතිශය තීරණාත්මක ස්වාධීන කණ්ඩායමක් වූ ‘සමනලයා’ පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම හමුවූ ජනාධිපතිවරයා අවසන් මොහොතේදී කොළඹ බලය ඇල්ලීම සඳහා ඔවුන්ගේ සහාය මාලිමාවට ලබාගැනීමට එකඟ කරවා ගත්තේය.
මෙහිදී කලක් ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු ලෙස කටයුතු කළ වරුණ දීප්ත රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් විශේෂ තොරතුරු රැසක්ම සිය සමාජ මාධ්‍ය ඔස්සේ සාක්ෂි සහිතවම මුදාහැරීමට පියවර ගෙන තිබිණි. එහිදී වරුණ කියා සිටියේ කොළඹ හතේ රොස්මිඩ් පෙදෙසේ අංක 59 දරණ නිවෙසේ මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බවත්, ඊට ආණ්ඩුවේ ප්‍රබලයන් මෙන්ම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම්වල නියෝජිතයන්ද සහභාගි වී ඇති බවත්ය. සාමාන්‍යයෙන් වෙනදා නම් කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ පිහිටි දේශපාලන මන්දිරවල අතිශය වැදගත් දේශපාලන සාකච්ඡා පවත්වන බව අප අසා ඇත්තේ බණ්ඩාරනායකවරුන්, රාජපක්ෂවරුන් සහ වික්‍රමසිංහලා වැනි ඉහළ පන්තියේ අය පමණි. උදාහරණයක් ලෙස බණ්ඩාරනායකවරුන්ට අයත් නිවසක් රොස්මිඩ් පෙදෙසේ ඇති අතර මැතිනියගෙන් පසු චන්ද්‍රිකාත්, අනුරත් එම රොස්මිඩ් පෙදෙසේ පිහිටි එම නිවසේ වාසය කිරීම නිසා එහි නිරන්තරයෙන්ම දේශපාලන සාකච්ඡා පැවැත්විණි. ඊට අමතරව රාජපක්ෂවරුන්ද, වික්‍රමසිංහලාද බණ්ඩාරනායකවරුන්ගේ මේ රොස්මිඩ් පෙදෙසේ පිහිටි නිවසටත්, ඒ වටපිටාවේ ඇති තවත් ප්‍රබල දේශපාලනඥයන් රැසකට අයත් නිවෙස්වලත් නිතර නිතර සාකච්ඡා පැවැත්වීමට පැමිණෙන ආකාරයක් එවකදී දැකගත හැකි විය. නමුත් කෙදිනකවත් මේ රොස්මිඩ් පෙදෙසේ පිහිටි දැවැන්ත මන්දිරවල ජවිපෙ දේශපාලන සාකච්ඡා පවත්වා තිබූ බවක් වාර්තා වී තිබුණේ නැත. නමුත් මේ වනවිට දැකගන්නට ලැබෙන විශේෂම සිදුවීම වී ඇත්තේ ජවිපෙද දැන් දැන් කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ පිහිටි දැවැන්ත මන්දිරවල දේශපාලන සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවකි.
කෙසේ වෙතත් වරුණ වැඩිදුරටත් තොරතුරු අනාවරණ කරමින් කියා තිබුණේ රොස්මිඩ් පෙදෙසේ මෙම අංක 59 දරණ නිවෙසේ 15 වැනි දින රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාවට ආණ්ඩුවේ ප්‍රධානීන් සහභාගි වී සිටි බවකි. එමෙන්ම ඊට යම් යම් නිලධාරීන්ද කැඳවා ඇති බවට ලොකු චෝදනාවක්ද එහිදී එල්ල වී ඇති බවද වරුණ අනාවරණ කොට තිබිණි. ඉන් අනතුරුව එම පිරිස සාකච්ඡාව අවසන් කොට පැලවත්තේ පක්ෂ මූලස්ථානයට ගිය බවත්, එතැනදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ බවත්, කොළඹ බහුතරය ලබාගැනීම සඳහා තවත් ඡන්ද 2ක අඩුවක් පවතින බවත්, මේ පිරිස එහිදී ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වරුණ අනාවරණ කර තිබිණ. ඒ අනුව ජනාධිපතිවරයා වහාම සිය දුරකතනයෙන් එක්තරා විශේෂ පුද්ගලයෙකුට ඇමතුමක් ලබාගත් බව කී වරුණ, එම දුරකතන සංවාදයෙන් පසු තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ සහාය මාලිමාවට හිමිවන බව ජනාධිපතිවරයා අනාවරණ කළ බවත් වරුණ අනාවරණ කොට තිබිණ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා එසේ කීවද අවසන් මොහොත වනතුරුත් කොළඹ මහනගර සභාවේ බලය ලබාගැනීම සම්බන්ධයෙන් මාලිමාවත්, සජබයත් අතර තිබුණේ කරට කර ගිය දැඩි සටනකි.
දිලිත් ඩබල් ගේමක
මේ සියල්ල අතරවාරයේ දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුව තිබේ. සර්ව ජන බලයෙන් කොළඹට මන්ත්‍රීවරුන් දෙදෙනකු තේරී පත්ව සිටි අතර, දිලිත් ප්‍රතිඵල නිකුත් වූ වහා රටට කියා සිටියේ තම පක්ෂයෙන් පත්වූ මන්ත්‍රීවරුන් කිසිදු පාර්ශ්වයක් නොගෙන සභාව තුළ ස්වාධීනව කටයුතු කරනවා යැයි කියාය. බොහෝ දෙනා දිලිත්ගේ එම ප්‍රකාශය දුටුවේ මාලිමා ආණ්ඩුවට අනියමින් සහාය දැක්වීමට කළ ප්‍රකාශයක් ලෙසටය. මීට අමතරව තවත් අවස්ථාවක දිලිත් කියා සිටියේ සර්ව ජන බලයේ අපේක්ෂකයකු කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරනවා යැයි කියාය. බොහෝ දෙනා දිලිත්ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන්ද කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වනවා වෙනුවට මේ අයුරින් තවත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම හරහා අනියමින් මාලිමා ආණ්ඩුවට සහාය දැක්වීමට දිලිත් කටයුතු කරනවා යැයි කියාය. එහිදී දිලිත් සැලසුම් කර තිබුණේ සිය පක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරයකු නගරාධිපති සටනට ඉදිරිපත් කිරීමටය. එම මුස්ලිම් මන්ත්‍රීවරයා දිලිත්ගේ බොහෝ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටින අයකු බව පැවැසේ. විශේෂයෙන්ම ඔහුට අයත් ගොඩනැගිලි රැසක දිලිත් සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවද කියැවේ. ඔහුට නගරාධිපති ධුරය ලබාදීම සඳහා දිලිත් විපක්ෂය ඇතුළේ යම් මෙහෙයුමක් දියත් කළද, ඊට සියල්ලන්ගෙන්ම එල්ල වූ දැඩි විරෝධය නිසා අවසන් මොහොතේ එය හකුලා ගැනීමට දිලිත්ට සිදුව තිබිණි. එමෙන්ම වරුණ දීප්ත රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවේදී යම් අයෙකුට දුරකතන ඇමතුමක් ලබාදුන් බවට අනාවරණ කොට තිබූ අතර, ඒ පුද්ගලයා දිලිත් විය හැකි බවට සැක කළ හැකි බවද එහිදී වරුණ ප්‍රකාශ කොට තිබිණි.
ඒ කෙසේ වෙතත් දිලිත් ජනාධිපතිවරයා සමග යම් දේශපාලන ගනුදෙනුවක් සිදු කළාද, එසේ නොවුණාද යන්න 100%ක් තහවුරු වී නැතත්, කොළඹ ඡන්දය පැවැත්වූ සඳුදා පෙරවරුවේම දිලිත් සිය සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂයේ අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්ව ජන බලයේ විධායක කමිටුව තීරණය කළ බව ප්‍රකාශ කළේය. බොහෝ දෙනා මෙයද හඳුන්වා දී තිබුණේ ඡන්දයෙන් පසු එල්ලවිය හැකි බොහෝ චෝදනාවලින් ගැලවීමේ උපක්‍රමයක් ලෙස දිලිත් මෙවැනි නිවේදනයක් ඡන්දයට පැය කීපයක් තබා නිකුත් කළා යැයි කියාය.
පදක්කමත් බල්තසාර්ට?
අවසානයේදී පැවැති රහස් ඡන්ද විමසීමේදී මාලිමාවේ අපේක්ෂිකාවට ඡන්ද 60ක් ලැබී තිබූ අතර, බොහෝ දෙනා සැක පළකොට තිබුණේ දිලිත්ගේ අපේක්ෂකයන් දෙදෙනාද රහස් ඡන්දයට මුවාවී මාලිමාවේ අපේක්ෂිකාවට ඡන්දය ප්‍රකාශ කොට ඇතැයි කියාය. ඒ සම්බන්ධයෙන් පරාජයෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් සජබ අපේක්ෂක රීසා සරූක්ද කියා සිටියේ දිලිත්ගේ මන්ත්‍රීවරුන් දෙදෙනා විපක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත්කිරීම සඳහා ඡන්ද භාවිත කොට ඇති බවට සැක කළ හැකි කරුණු රැසක් අනාවරණ වෙමින් පවතින බවකි. එමෙන්ම මන්ත්‍රීවරුන් 60 දෙනකු අස්සන් කොට විවෘත ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටියදී සිය අභිමතයට අනුව යමින් රහස් ඡන්දයක් පැවැත්වීමට කටයුතු කළ පළාත් පාලන කොමසාරිස්වරිය වූ සාරංගිකා ජයසුන්දර මහත්මියට එරෙහිව නඩු පවරන බවද රීසා මෙහිදී අවධාරණය කර සිටියේය.
දිලිත් ජයවීරගේ සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විපක්ෂය මේ ආකාරයට සැක මතු කරද්දී දිලිත්ගේ පාර්ලිමේන්තු හැසිරීම සම්බන්ධයෙන්ද පසුගිය සතිය වනවිට සජබයේ බොහෝ මන්ත්‍රීවරුන් හට බරපතළ සැක සංකා මතුවන සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබිණි. ඒ අනුව, පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී සජිත්ව හමුවූ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු සජිත්ට දැනුම් දී සිටියේ දිලිත් සමග ගනුදෙනු කරද්දී ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙසටය. විශේෂයෙන්ම විපක්ෂයේ පක්ෂ නායකයන් අතර පවත්වන සාකච්ඡාවලදී විපක්ෂයෙන් ලැබෙන තීන්දු තීරණ සම්බන්ධයෙන් සහ එම සාකච්ඡාවලදී සිදුවන යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කිරීමට දිලිත් කටයුතු කොට ඇති බවටද මෙම මන්ත්‍රීවරුන් සජිත්ට දැනුම් දී සිටියේය. මීට පෙරද මේ බව සජිත්ට සජබ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු දැනුම් දී තිබූ අතර, ඒ අවස්ථාවේදී පවා ඔවුන් සජිත්ට දැනුම් දී තිබුණේ විපක්ෂයේ කිසිදු රැස්වීමකට දිලිත්ට ආරාධනා නොකරන ලෙසටය. ඒ අනුව මේ මොහොතේද ඔවුන් සජිත්ට පෙන්වා දුන්නේ දිලිත් සම්බන්ධයෙන් මතුව තිබූ සැකය මේ වනවිට තහවුරුව ඇති නිසා තවදුරටත් දිලිත්ව විපක්ෂයේ සාකච්ඡා සඳහා එක්කර නොගන්නා ලෙසය. ඒ අනුව සජිත්ට මෙම දැනුම් දීම මන්ත්‍රීවරුන් විසින් සිදුකොට පැය කීපයක් ගතවීමටත් මත්තෙන් ඒ බව තහවුරු කෙරෙන තවත් විශේෂ නියෝගයක් දිලිත්ගේ පැත්තෙන් ඔහුගේ මන්ත්‍රීවරුන්ට නිකුත් විය. එම පණිවුඩයෙන් දිලිත් දැනුම් දී තිබුණේ මින් ඉදිරියට පවත්වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලදී සර්ව ජන බලයේ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ කිව්වා වාගේම මෙම නියෝගය නිකුත් වී පැය කීපයක් යෑමට මත්තෙන් කළුතර දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර, එහිදී දිලිත්ගේ මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට වාසිසහගත අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබිණි. මේ බව කළුතර සජබ නායකයා වූ ජගත් විතාන විසින් මාධ්‍ය හමුවේ කියා සිටි අතර, ජගත් කියා සිටියේ දිලිත්ගේ සර්ව ජන බලයේ මන්ත්‍රීවරුන් විශාල පාවාදීමක් සිදුකරමින් මාලිමාවට ජයග්‍රහණය කළ හැකි පරිදි කටයුතු කළා යැයි කියාය. තමන් ඒ බව පක්ෂ නායක සජිත්ට දැනුම් දුන් බවත්, සජිත්ද තමන් දැක්වූ අදහස ප්‍රසිද්ධියේ පිළිගත් බවත් ජගත් මෙහිදී සඳහන් කර සිටියේය.
සාරංගිකාට නඩු?
මීට අමතරව පසුගිය සතියේ කොළඹ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සජබ ප්‍රධානීන් විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබිණී. එහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ ජනාධිපති නීතිඥවරුන් මෙන්ම නමගිය තවත් නීතිඥවරු රැසක්ම මෙම සාකච්ඡාවට එක්ව සිටීමය. එහිදී බොහෝ දෙනා කියා සිටියේ පළාත් පාලන කොමසාරිස්වරිය නීති උල්ලංඝනය කරමින් කටයුතු කොට ඇති නිසා ඇයට එරෙහිව පහසුවෙන්ම නීති ක්‍රියාමාර්ගවලට යොමුවිය හැකි යැයි කියාය. ඒ අනුව ජයසුන්දර මහත්මියට එරෙහිව නඩු මගට යොමුවීමට තීන්දු වූ අතර, ඇයට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකිරීමටද තීන්දු විය. එම පැමිණිල්ල සජබ කොළඹ අපේක්ෂකයා වූ රීසා සරූක් මහතා විසින්ම ඉදිරිපත් කළ ආකාරයක් දැකගත හැකි විය. මේ අතර පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම්වලදී පක්ෂ ස්ථාවරයට පිටින් ගිය සියලුම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත්, ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් සජිත් පසුගිය සතියේ පියවර ගෙන තිබිණ.
විපක්ෂයේ කටවහයි
මේ සමගම පසුගිය සතියේ ඊළඟ ගැටලුව ආවේ පාර්ලිමේන්තුවේදීය. ඒ, මේ වනවිට ඊශ්‍රායල-ඉරාන යුද්ධය හමුවේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට නැගී සිටීමත් සමග කතානායකවරයා ඊට අවස්ථාව ලබා නොදීමත් සමගය. මෙහිදී ක්ෂණිකවම විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් නැගීසිට කතානායකවරයාටත් ආණ්ඩුවටත් විරෝධය පළ කළ අතර, එදින සභාව වර්ජනය කරමින් සියල්ලන්ම සභාවෙන් පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය. පසුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැති අතර එහිදී තීන්දු වූයේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව කතානායකවරයා සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයටත්, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයටත්, ජිනීවාහි මානව හිමිකම් කොමිසමටත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය. මෙහිදී සජබය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ සභාවෙන් පිටව යද්දී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පමණක් සභාවේ රැඳී සිටි ආකාරයක්ද දැකගත හැකි විය.
චාන්සලර් හමුනොවුණේ ඇයි?
ලංකාවේ දේශපාලන තත්ත්වය මෙසේ උණුසුම් ආකාරයක් ගනිද්දී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර දේශපාලනයද මේ වනවිට දිනෙන් දින උණුසුම් වන ආකාරයක් දැකගැනීමට පුළුවන. අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැස්වීම පිළිබඳවත්, එහිදී ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත අතිශය භයානක යෝජනාව පිළිබඳවත් වාර්තා කළද පෙනෙන හැටියට ආණ්ඩුව නම් සිටින්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු වගේ වගක් නැති ගානටය. මේ වනවිට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ දැනටමත් සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ජිනීවා සැසිවාරය මුල්කරගෙන ලංකාවට එරෙහිව අතිශය භයානක බලවේග රාශියක්ම ඒකරාශී වෙමින් සිටින බවකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මන් සංචාරයක නිරත වූ අතර, බොහෝ දෙනා ජනාධිපතිවරයාගේ ජර්මන් සංචාරයේදී ජිනීවා සැසිවාරය සම්බන්ධයෙන් ජර්මන් නායකයන් සමග සාකච්ඡා පවත්වනු ඇති බව සිතා සිටියත් එවැන්නක් සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට මෙවර සංචාරයේදී ජර්මන් චාන්සලර්වරයා හමුවීමට අවස්ථාවක් නොලැබීම ඉතා විශේෂ සිදුවීමක් වී තිබිණි. මීට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සිදුකළ ජර්මන් සංචාරයන් අතරවාරයේදී එවකදී ජර්මනියේ නායකත්වය දැරූ චාන්සලර්වරුන් මුණගැසීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම අතීතයේ සිටම ජර්මනිය සහ ලංකාව අතර පැවැතියේද ඉතා සමීප සම්බන්ධතාවකි. ඒ සම්බන්ධතාව කොපමණද කියනවා නම් ජර්මානු තාක්ෂණායතනය හෙවත් ජර්මන් ටෙක් එක ජර්මනියෙන් ලංකාවට ලැබුණු මිල කළ නොහැකි ත්‍යාගයකි. එමෙන්ම ලංකාව සහ ජර්මනිය අතර අතීතයේ සිටම ශක්තිමත් වෙළෙඳ සබඳතාවක්ද තිබේ. විශේෂයෙන්ම යුරෝපා කොමිසමෙන් ලැබෙන ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබාගැනීමට ජර්මනිය එවකදී විශේෂ සහායක් දක්වා තිබිණි. එවන් පසුබිමක් යටතේ වත්මන් ජර්මානු චාන්සලර්වරයා ජනාධිපති අනුරව මුණගැසීමට කටයුතු නොකළේ ඇයි?
ඩයස්පෝරාව බලවත්
අපට ඇති තොරතුරුවලින් වාර්තා වන්නේ මෙවර ජිනීවාවලදී ලංකාවට එරෙහිව ප්‍රබල යෝජනාවක් ගෙන ඒමට ප්‍රමුඛතාව ගෙන ක්‍රියාකළ රටවල් අතර ජර්මනියද සිටී. ජර්මනියට අමතරව කැනඩාව සහ එංගලන්තය අනෙක් ප්‍රධාන රටවල් වේ. එමෙන්ම මේ රටවල් තුනේම දෙමළ ඩයස්පෝරාව ඉතා ශක්තිමත්ය. ආණ්ඩු පිහිටුවීමේදී සහ ප්‍රාන්ත ආණ්ඩු පිහිටුවීමේදී මේ දෙමළ ඩයස්පෝරාවේ සහාය එරට රජයන්ට අතිශය තීරණාත්මකය. ඒ අනුව බොහෝ දෙනා සැක කරන්නේ ජර්මානු චාන්සලර්වරයා ජනාධිපති අනුරව මුණ නොගැසීම පසුපස දෙමළ ඩයස්පෝරාවේ දැඩි බලපෑමක් තිබී ඇති බවකි.
එමෙන්ම ලබන සඳුදා දිනයේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා වන වෝල්කර් ටර්ක් මහතාද ලංකාවට පැමිණිමට නියමිතය. මෙම සංචාරයේදී ජිනීවා මහකොමසාරිස්වරයා ආණ්ඩුවේ නියෝජිතයන් මෙන්ම විපක්ෂ නියෝජිතයන්ද හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ. එමෙන්ම ජිනීවා මහකොමසාරිස්වරයා උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් හමුවී මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබිණි.
විපක්ෂයට තහනමක්
කෙසේ වෙතත් තත්ත්වය මෙසේ පැවැතියදී පසුගිය පසුගිය බ්‍රහස්පතින්දා (19) දිනයේදී පාර්ලිමේන්තු මහලේකම්වරිය වූ කුෂානි රෝහණධීර මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජිනීවා මහකොමසාරිස්වරයා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නායකයන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් සියලු දෙනා සමග එකට හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බවකි. ලබන අඟහරුවාදා (24) සවස 4.30ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02දී එම හමුව පැවැත්වීමට නියමිත බවත්, එහිදී ආර්ථික අර්බුදය, රටේ වත්මන් තත්ත්වය, මානව හිමිකම් තත්ත්වය සහ සංහිඳියා ක්‍රියාදාමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එහි සඳහන් විය.
මෙම දැනුම්දීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශාල සැකයක් මතුවුණේ ආණ්ඩුව විසින් ජිනීවා මහ කොමසාරිස්වරයා විපක්ෂයේ පක්ෂ නායකයන් තනි තනිව මුණගැසීම වැළැක්වීම සඳහා කිසියම් උපක්‍රමයක් දියත් කොට ඇතිදැයි කියාය. මන්ද යත් වෙනදා නම් රාජ්‍ය නායකකු හෝ ඉහළ පෙළේ නිලධාරියකු රටට පැමිණි විටදී සාමාන්‍ය සම්ප්‍රදාය වී තිබුණේ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙන් වෙන්ව එම රාජ්‍ය නායකයා හෝ නිලධාරියා හමුවී සාකච්ඡා පැවැත්වීමය. නමුත් මෙවර එම සම්ප්‍රදාය හිටි හැටියේම වෙනස් වී තිබීම එම සැකයට හේතු වී තිබිණි.
කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේදී ජිනීවා මහකොමසාරිස්වරයා ලබන සැප්තැම්බරයේදී ලංකාවට එරෙහි ප්‍රබල සාක්ෂි සහිත වාර්තාවක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවකි. යම් හෙයකින් එම යෝජනාව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් ඉන් අනතුරුව බරපතළ අර්බුද ගණනාවකට අප රටට මුහුණ දීමට සිදුවනු ඇති බවද මෙහිදී ලියා තැබිය යුතුව ඇත.
පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වූ ගීතා ගෝපිනාත් මහත්මිය සමග නිලධාරීන් කණ්ඩායමක් ද ශ්‍රී ලංකා සංචාරයක නිරත වූහ. මෙම පිරිස ශ්‍රී ලංකාවෙ සංචාරය කළේ විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගි වීමට වුවත් එහිදී තවමත් ලංකාවට නිදහස් කර නොමැති මූල්‍ය අරමුදලේ 4 වැනි වාරිකය සම්බන්ධයෙන් යම් සොයාබැලීමක් සිදුකර තිබූ බවද ආරංචිය. ඊට අදාළ විධායක මට්ටමේ සාකච්ඡාව වොෂින්ටනයේ පැවැත්වෙන්නේ ලබන ජූලි 01 වැනි දිනය. ලංකාවට 4 වැනි වාරිකය නිදහස් කරනවාද නැද්ද යන අවසන් තීන්දුව ගන්නේ එම විධායක රැස්වීමේදීය.
කෙසේ වෙතත් ගීතා ගෝපිනාත්ගේ ලංකා සංචාරයේදීද විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, ඇය සිය සංචාරය අතරතුරදී විපක්ෂයේ නියෝජිතයන් හමු නොවී ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් පමණක් හමු වීමය. වෙනදා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණි විට විපක්ෂයේ නියෝජිතයන් වෙනම හමුවී සාකච්ඡා පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායක් වී තිබිණි. මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවේ තත්ත්වය පිළිබඳ සත්‍ය තොරතුරු සහ සැබෑ තත්ත්වය දැන කියාගත්තේ විපක්ෂයේ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවලදීය. නමුත් මෙවර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විපක්ෂ නියෝජිතයන් හමු නොවූ අතර, අපට ඇති ආරංචිවලින් නම් කියැවුණේ ආණ්ඩුවේ ඉල්ලීමකට අනුව මෙසේ මූල්‍ය අරමුදලේ නියෝජිතවරිය විපක්ෂයේ නියෝජිතයන් හමුවීම අත්හිටුවා ඇති බවකි.
අනුර ආපහු චීනයට
මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් මේ දිනවල නැවත වතාවක් චීනය සමග දැඩි හිතවත්කමක් පවත්වාගෙන යන ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගිය සති කීපය පුරාම ජවිපෙ මන්ත්‍රීවරුන් රැසක් සමග චීන සංචාරයක නිරත වූ අතර එම සාකච්ඡා අවසන් කොට හෙතෙම පෙරළා ලංකාවට පැමිණ තිබුණේ පසුගිය සිකුරාදා දිනයේය. එමෙන්ම මේ වනවිට මාලිමා ආණ්ඩුවේ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයාද සිටින්නේ චීන සංචාරයක නිරත වෙමින්ය. මීට අමතරව මේ වනවිට අපට ලැබෙන තවත් ලොකු තොරතුරකින් කියැවෙන්නේ කොයි මොහොතක හෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද නැවත වතාවක් චීන සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටින බවකි. ටිල්වින් සති කිහිපයක චීන සංචාරයක නිරත වීමද ජනාධිපතිවරයාගේ චීන සංචාරයට පසුබිම සකස් කිරීම සඳහා බවද අපට ලැබෙමින් පවතින නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙන්නකි.
ඒ අනුව මාස කීපයක් ඇතුළත ජනාධිපතිවරයා නැවත වතාවක් හදිසියේම චීන සංචාරයක නිරත වීමට සැලසුම් කරන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් සොයාගෙන යද්දී ගෝඨාගේ ආණ්ඩු කාලයේ සිදුවූ සිදුවීමක් හා ජනාධිපතිවරයාගේ මෙම හදිසි චීන සංචාරය අතර යම් සම්බන්ධතාවක් පවතිනවාද යන සැකය බොහෝ දෙනා තුළ මතුව තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අවසාන කාලයේදී රට ආර්ථික වශයෙන් බරපතළ තත්ත්වයකට පත්වෙද්දී ගෝඨාගේ ආර්ථික උපදේශකයන් ගෝඨාට බලපෑම් කරමින් සිටියේ වහාම රට බංකොලොත් බවට පත්ව ඇති බව ප්‍රකාශ කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹෙන ලෙසය. නමුත් එසේ නොකරන ලෙසට ආණ්ඩුව ඇතුළෙන් විශාල බලපෑමක්ද ගෝඨාට ඒ මොහොතේදී එල්ල වෙමින් තිබිණි. විශේෂයෙන්ම රාජපක්ෂවරුන් සමග චීන රජයට පැවැති සම්බන්ධතා හේතුකොට ගෙන චීන රජය රාජපක්ෂවරුන්ට එවා තිබූ පණිවුඩයකින් කියැවුණේ සිංහල අලුත් අවුරුදු සමය අවසන් වනවාත් සමගම ඩොලර් බිලියන 4ක ණය පහසුකමක් ලබාදීමට චීනය සූදානම් බවත්, එතෙක් කලබල නොවී ඉවසීමෙන් සිටින ලෙසත්ය. අපට ඇති තොරතුරුවලට අනුව චීනයෙන් ලැබුණු මෙම පණිවුඩය එවක මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩු කබ්රාල් මහතා ගෝඨා හමුවී දැනුම් දීමට කටයුතු කොට තිබිණි. කබ්රාල් එහිදී ගෝඨාට කියා ඇත්තේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කොට මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත නොවන ලෙසත්, එසේ වුවහොත් මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යට වී බරපතළ අර්බුදයකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇති බවත්ය. එම නිසා චීන රජයෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන 4ක ණය මුදල ගෙන ආර්ථික අර්බුදය විසඳාගත හැකි බව එහිදී කබ්රාල් ගෝඨාට පෙන්වා දීමට පියවර ගෙන තිබිණි. නමුත් එහිදී ගෝඨා එය ප්‍රතික්ෂේප කිරීමත් සමග දෙදෙනා අතර ලොකු වාද විවාදයක් සිදුව ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ඩොලර් බිලියන හතරක්
ඒ අනුව අවසානයේදී කබ්රාල් ගෝඨාගෙන් විමසා තිබුණේ, ‘ඔබතුමාට කවුද මූල්‍ය අරමුදලත් එක්ක යන්න කියලා උපදෙස් දුන්නේ?’ යැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් ගෝඨා කියා තිබුණේ තම උපදේශකයන් උපදෙස් දුන් බවකි. එහිදී නැවතත් කබ්රාල් විමසා සිටියේ එම උපදේශකයන් කවුරුන්දැයි කියාය. ගෝඨා එහිදී කියා සිටියේ හිටපු මහබැංකු අධිපතිවරයකු වූ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි තමන්ට එම උපදෙස දුන් බවකි. කුමාරස්වාමිගේ නම ගෝඨාගේ කටින් එළියට පනිනවාත් සමග සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ පලක් නොමැති බව කබ්රාල්ට වැටහී ගියේය. ඒ අනුව චීන ඩොලර් බිලියන 4 කතාව යට ගිය අතර, ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග ඉදිරියට යෑමට තීන්දු විය.
අපට දැනගන්නට ඇත්තේ මෙම සිදුවීම තුන්වැනි පාර්ශ්වයක් හරහා මේ වනවිට ජනාධිපතිවරයාටද වාර්තා වී ඇති බවකි. ඒ අනුව අනුර මේ සූදානම් වන්නේ ගෝඨාට ගැනීමට හැකිව තිබී අවසන් මොහොතේ අවලංගු වූ චීන ඩොලර් බිලියන 4 නැවත වතාවක් ලංකාවට ලබාගැනීමද යන සැකය බොහෝ දෙනා තුළ මතුව තිබේ.
ජනාධිපතිවරයාගේ පළමු චීන සංචාරයේදී පවා චීනයෙන් විශාල ආධාර සහ ආයෝජන පැකේජයක් ජනාධිපතිවරයා වෙත යෝජනා කොට තිබිණි. විශේෂයෙන්ම හම්බන්තොට වරාය ආශ්‍රිතව චීන තෙල් පිරිපහදුවක් ඉදිකිරීම, කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස ඉදිකිරීම, අදාළ ඉදිකිරීම් නවත්වා තිබීමෙන් චීන සමාගම්වලට ගෙවීමට තිබූ ප්‍රමාද ගාස්තු ඉවත් කිරීම ආදී සහන රැසක් එම සංචාරයේදී ලංකාවට ලැබී තිබිණි. නමුත් ජනාධිපතිවරයා එකඟ වූ පරිදි චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වීම නිසා අදාළ සියලු සහනයන් අත්හිටුවීමට චීන රජය කටයුතු කොට තිබිණි. ඒ අනුව, චීන පර්යේෂණ නෞකා ප්‍රශ්නය අවසන් කොට ගෙන අදාළ සහන සහ චීන රජයෙන් තවත් ඩොලර් බිලියන 4ක ණය මුදලක් ගෙන ජනාධිපතිවරයා ඉතිරි අවුරුදු 4ක කාලය කිසිදු ගැටලුවකින් තොරව රට ගෙන යෑමට සූදානමින් සිටිනවාද යන සැකය ජනාධිපතිවරයාගේ මෙම හදිසි චීන ගමන හරහා සියලු දෙනාටම මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
ඇමැතිවරයෙක් ඉවත් වෙයි
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය මහින්ද සිරිවර්ධන මහතා විශ්‍රාම යෑම නිමිත්තෙන් ජනාධිපතිවරයා විසින් ඇගයීමේ උත්සවයක් පසුගිය සතියේ සංවිධාන කොට තිබිණි. මෙහිදී ලංකාව බංකොලොත්භාවයට පත්වූ 2022 සමයේ සිට මේ දක්වා ආර්ථිකය ගොඩනැගීම සඳහා මහින්ද දැක්වූ දායකත්වය අගය කරමින් ඔහුට විශේෂ ස්තුතියක් පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. නමුත් පසුගිය කාලයේ ගැටලුව වී තිබුණේ මහින්දගේ නික්ම යෑමෙන් පසු එම තනතුරට පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳවය. මුලින්ම යෝජනා වී තිබුණේ ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු වන දුමින්ද හුලංගමුව මහතා එම තනතුරට පත්කළ යුතු බවකි. නමුත් දුමින්ද එය ප්‍රතික්ෂේප කළ බව පසුව වාර්තා විය. ඉන් අනතුරුව තවත් නම් කීපයක්ද ඊට යෝජනා වූ නමුත් ඒ කිසිවක් ස්ථිර වූ ආකාරයක් දැකගත නොහැකි විය. ඒ අනුව, මුදල් අමාත්‍යාංශයේ ඊළඟ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවුවද ඔහුගේ පවතින යම් යම් දුර්වලතා හේතුවෙන් අදාළ තනතුරේ රාජකාරි කළ නොහැකි බව බොහෝ දෙනා වාර්තා කොට තිබිණි. ඒ අනුව එම නමද අවසානයේ ප්‍රතික්ෂේප විය.
කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාරදීම සඳහා විශේෂ අයකු තෝරාගෙන තිබේ. ඒ, වෙන කවුරුවත් නොව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාය. ඒ අනුව ඉදිරි සතියකදී සිය මන්ත්‍රී ධුරයෙන් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉවත් වී මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඔහු සතුව ඇති ආර්ථික දැනුම සහ බදු ක්ෂේත්‍රයේ ඔහුට ඇති අත්දැකීම් මේ සඳහා බලපා ඇති බවක්ද දැනගන්නට ඇත.
හරිනි එළියට
අගමැති ධුරය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ යම් මත ගැටුමක් මතුව ඇති බව අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කළේ මීට සති කීපයකට ඉහතදීය. ඒ බව තහවුරු කරමින් ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනියට පැමිණි අමාත්‍ය බිමල් රත්නායක කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිම වෙනස් කළ යුතු බවත්, තමන්ගේද ඇතුළු අමාත්‍යවරුන් කීප දෙනකුගේ විෂය පථයන් සහ වගකීම් වෙනස් වීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට පක්ෂය ඇතුළේ සාකච්ඡාවක් පැවැත්වෙන බවත්ය. නමුත් ඉන් අනතුරුව ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන සුනිල් හඳුන්නෙත්තිත්, නලින්ද ජයතිස්සත් මාධ්‍ය හමුවලදී සඳහන් කර තිබුණේ එවැනි සාකච්ඡාවක් ආණ්ඩුව ඇතුළේ නොපැවැත්වෙන බවත්, ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයකුගේ විෂය පථයන් වෙනස් නොවන බවත්, ඇමැතිවරුන් සියලු දෙනාම ඉතා හොඳින් සිය රාජකාරි ඉටුකරමින් සිටින බවත්ය. කෙසේ වෙතත් ඔවුන්ගේ මෙම ප්‍රතිචාරය හරහා ජවිපෙ සහ මාලිමාව අතර පමණක් නොව ජවිපෙ ඇතුළේත් යම් මතගැටුමක් ඇති බව පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
මේ පසුබිම යටතේ අප පසුගිය සතියේ අනාවරණ කළේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් 3 වැනි සතියේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටිනවා යැයි කියාය. අප කී ආකාරයටම ජනාධිපතිවරයා 3 වැනි සතියේදී පාර්ලිමේන්තුවට ආ නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකළේ නැත. එදින පාර්ලිමේන්තුවේ පැවැති ආරක්ෂාව පිළිබඳ ආංශික කාරකසභාවට සහභාගි වූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් නික්ම ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපතිවරයා හරිනිගේ අගමැති ධුරය සම්බන්ධයෙන් සිදුකිරීමට සූදානමින් සිටි විශේෂ ප්‍රකාශය එදින සිදු නොකළේ ඇයි? අදාළ ගැටලුව මේ වනවිට ආණ්ඩුව ඇතුළේ විසඳාගෙන ඇති නිසාද, එසේත් නැත්නම් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් නොදැක්වීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති නිසාද, එසේත් නැත්නම් හරිනි අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ අවසන් තීන්දුව ගෙන ඇති නිසාද යන්න පිළිබඳව ඇත්තේ ලොකු ගැටලුවකි.
ඒ කෙසේ වෙතත් අගමැති හරිනි අමරසූරියද පසුගිය සතියේ ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනියටම පැමිණ මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට පියවර ගත්තාය. එහිදී හරිනි කියා සිටියේ අගමැති ධුරය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, යම් යම් කණ්ඩායම් මාලිමාව සහ ජවිපෙ අතර ගැටුමක් ඇතිකිරීමේ අරමුණෙන් මෙවැනි ප්‍රචාරයන් සිදුකරන බවත්ය. ඒ අනුව බොහෝ දෙනා කියා සිටින්නේ බිමල් ස්වාධීන රූපවාහිනියට අගමැති ධුරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැති හරිනිද ස්වාධීන රූපවාහිනියටම පැමිණ පිළිතුරු ලබාදීමට කටයුතු කිරීම හරහා හරිනි බිමල්ට අභියෝග කිරීමට කටයුතු කොට ඇතැයි කියාය.
මාලිමාවට වෙච්ච දෙයක්
පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට අනුව මාලිමාව බලය හිමිකරගෙන තිබුණේ පළාත් පාලන ආයතන 200කට ආසන්න ප්‍රමාණයක පමණි. නමුත් පළාත් පාලන ආයතන 150කට ආසන්න ප්‍රමාණයක බහුතර බලය මාලිමාවට හිමිව නොතිබූ අතර, විපක්ෂයේ කණ්ඩායම්වලට එහි බලය ගොස් තිබිණි. ඒ අනුව පළමු වටයේ සිටම විපක්ෂය එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කොට තිබූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම මාලිමාවද යම් යම් ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කොට තිබුණේ පළාත් පාලන ආයතන රැසක ස්වාධීන කණ්ඩායම් සමග එක්වූ පසු ඒවායේ බලය අත්පත් කරගැනීමේ හැකියාව තිබූ නිසාය.
කෙසේ වෙතත් මේ සඳහා මාලිමාවට බලපා තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ මැතිවරණයට පෙර මාලිමාව ගෙනගිය ප්‍රචාරක ව්‍යාපාරයය. එහිදී මාලිමාව කියා සිටියේ මාලිමාව හැර අනෙකුත් සියලු පක්ෂ හොරු බවත්, විශේෂයෙන්ම ස්වාධීන කණ්ඩායම්වලින් පවා මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ හොරු බැවින් ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත්ය. ඒ අනුව විපක්ෂය මාලිමාවට ඇඟිල්ල දික් කරමින් කියා තිබුණේ මාලිමාවම හොරු බවට අභිෂේක ගැන්වූ පිරිස් සමගම බලය ඇල්ලීම සඳහා සාකච්ඡා ආරම්භ කොට ඇති බවත්, ඒ හරහා මාලිමාවේ සුදු රෙදි ගැලවී ගොස් ඇති බවත්ය. කෙසේ වෙතත් මාලිමාව ස්වාධීන කණ්ඩායම් සමග එක්ව කොළඹ මහනගර සභාවේ බලය පවා අත්පත් කරගැනීමට පියවර ගෙන තිබුණේ විපක්ෂයේ මේ චෝදනාව මැදය.
පොහොට්ටුව එක්කත්
තත්ත්වය එසේ තිබියදී පසුගිය සතිය වනවිට මාලිමාව විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමගද එක්ව පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමකි. එහිදී සජබය සමග එක්ව කොළොන්නාව, රත්නපුර වැනි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවූ මාලිමාව, එජාපය සමග එක්ව මිනිපේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සමත්ව තිබිණි. පොහොට්ටුව සමග එක්ව මැදවච්චිය, ගාල්ල වැනි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවූ මාලිමාව සර්වජන බලය සමග එක්ව දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ බලය අත්පත් කරගැනීමට පියවර ගෙන තිබිණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මැතිවරණ සමයේ මාලිමාව විසින් දැඩිව විවේචනය කරනු ලැබූ තොණ්ඩමන්, පිල්ලෙයාන් හා රිෂාඩ් වැන්නවුන් සමග එක්ව මාලිමාව බලය පිහිටුවීමට කටයුතු කර තිබීමය. ඒ අනුව කුරුණෑගල රිෂාඩ් බදියුදීන්ගේ කණ්ඩායම සමගද, කොටගල ජීවන් තොණ්ඩමන්ගේ කණ්ඩායම සමගද එක්ව සභාව පිහිටුවූ මාලිමාව, චෙන්කලඩි ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා මේ වනවිට අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන්ගේ පක්ෂය සමග සාකච්ඡා පවත්වා තිබිණි.










