ශ්‍රී ලංකාවේ ළමයින්ට සුදුසු ආහාර රටාවක් නොමැතිකමින් එම ළමයින්ගෙන් 12% ක පමණ පිරිසක් අධික බරින් පෙළෙන බවද, ඔවුන් අතරින් 41 %ක් අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ උපදේශිකා ප්‍රජා වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පැවැසුවාය. Sri Lanka Latest News
එසේම මෙරට ළමයින් අතර බෝ නොවන රෝග වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බවද වෛද්‍යවරිය කීවාය.
තවද දරුවන්ට දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැඩිවීමේ අවදානම ඉහළ යමින් තිබෙන බවද වෛද්‍යවරිය කියයි.
ඉකුත් වසරේ (2024) ජාතික පෝෂණ මාසය තුළ අමාත්‍යාංශය එකතුකර ඇති දත්තවලට අනුව 2, 4, 7, සහ 10 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන ළමයින්ගෙන් 7%ක් අධිබර සහිත බව හඳුනාගෙන ඇතැයි ද වෛද්‍යවරිය කීවාය.
ඒ අතර වයස අවුරුදු 17ත් 23ත් අතර ළමයින්ගේ ආහාර පුරුදු පරීක්ෂණයට ලක් කිරීමේදී ගෝලීය සමීක්ෂණයට අනුව එම පිරිසෙන් 3%ක් තරබාරු අය බව පෙනීගොස් ඇතැයිද ඇය කීවාය.
එසේම ගෙවුණු සතිය තුළ සිදුකොට ඇති අධ්‍යයනයකට අනුව 17%ක ළමයින් පිරිසක් පැණි බීම සහ ඒ ආශ්‍රිත පාන වර්ග 28%ක් ලුණු සහිත ආහාර සහ අධික තෙල් සහිත ආහාර වර්ග 28% – 29% අතර පරිභෝජනය කර ඇති බව පෙනී ගොස් ඇතැයිද වෛද්‍යවරිය කීවාය.
පාසල් දරුවන්ගේ ආහාර රටාවන් සුදුසු මට්ටමක නොවන බව මෙන්ම, කුඩා කාලයේදීම දරුවන්ට අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බවද ලබාගෙන ඇති දත්ත මගින් හෙළිවී ඇති බවද වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය වැඩිදුරටත් කීවාය.
වෛද්‍යවරිය මෙම කරුණු අනාවරණ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
නන්දන ශ්‍රී දොරකුඹුර











