ජවිපෙ නායක රෝහණ විජේවීර 1971 මාර්තු මස අම්පාරේදී අත්අඩංගුවට ගෙන සිටියදී කිසිදු අවස්ථාවක පහරදීම ආරම්භ කරන ලෙස දැන්වූයේ නැති බව ඔහු සමග අත්අඩංගුවේ සිටි බටපොල වඩුතන්ත්‍රිගේ සිරිල් හෙවත් දෙයනෙත්ති ලාල් සෝමසිරි ප්‍රකාශ කරයි.Sri Lanka Latest News
රෝහණ විජේවීර සමග අම්පාරේදී අත්අඩංගුවට ගත් හතර දෙනාම හමුවූ මෙම ලේඛකයා ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. ඒ ඉදිරියේදී නිකුත් වන ‘ජවිපෙ 1 වැනි කැරැල්ල හෙවත් 71 අප්‍රේල් 05 කැරැල්ල’ ග්‍රන්ථය සඳහාය. ඉකුත් දශක දෙකකට ආසන්න කාලයක් තුළ 1971 අප්‍රේල් කැරැල්ල තුළ සැබෑම නායකයන් සහ ක්‍රියාකාරිකයන් 173 දෙනකු ලේඛකයා ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් හමුවිය. පහත පළවන්නේ බටපොල ලාල් සෝමසිරි සිදුකළ දීර්ඝ අදහස් දැක්වීමෙන් කොටසකි.
‘මම බටපොල ලාල් සෝමසිරි. ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරයෙක් හැටියට මම වැඩ කළා 1970 ඉඳලා. 1971දී තමයි මම අම්පාරේ කාඩර්වරයෙක් හැටියට වැඩකරන්න නිශ්ශංක සහෝදරයා විසින් එක්ක ගියේ. එහිදී උහන පොලිස් කොට්ඨාසයේ මම වැඩ කළේ. ඒ අතරතුරේ තමයි මාර්තු 13 වැනිදා විජේවීර සහෝදරයා, කෙලී සේනානායක, අම්පාරේ ප්‍රේමරත්න, නිශ්ශංක සහෝදරයා ඇතුළු පිරිස අත්අඩංගුවට අරන් තිබුණේ ප්‍රේමරත්න සහෝදරයාගේ ගෙදරදි.
ප්‍රේමරත්න සහෝදරයාගේ ගෙදර ඉඳලා ඒගොල්ලෝ අරන් එනකොට මමත් ප්‍රේමතිලක කියලා තව කාඩර්වරයෙකුත්, ප්‍රේමරත්න සහෝදරයාගේ ගෙදරට යනකොට තමයි අපි දෙන්නත් අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට අරන් අම්පාර පොලිසියට ගෙනිච්චා. ඊට පසුව අපිව මඩකළපුව බන්ධනාගාරයට ගෙනිච්චා. මඩකළපුව බන්ධනාගාරයේ ඉඳලා 13 වැනිදා රෑම නැවත අපි කොළඹ සී.ආර්.පී. එකට ගෙනාවා. සී.ආර්.පී. එකේ ඉඳලා මමත්, ප්‍රේමරත්නත්, රෝහණ විජේවීර සහෝදරයාත් ගෙනාවා යාපනයට.
මගේ මතකයේ හැටියට 30 නැත්නම් 29 වැනිදා අපිව ගෙනියනවා කිව්වා කල්මුණේ උසාවියට, මායි ප්‍රේමරත්නයි. ඒ වෙලාවේ තමයි විජේවීර සහෝදරයා කතාකරලා කිව්වේ, ‘ඔයගොල්ලන්ව දැන් නිදහස් කරාවි, මාව නිදහස් කරන්නේ නෑ’ කියලා. ප්‍රේමරත්නට කිව්වා ගිහිල්ලා ප්‍රේමතිලක සහෝදරයා හම්බවෙන්න කියලා. මට කිව්වා සනත් සහෝදරයා හම්බවෙන්න කියලා. හම්බවෙලා කියන්න පෝස්ටර් ගහන්න විජේවීර සහෝදරයා නිදහස් කරගන්න කියලා. උත්සාහ ගන්න එයාව නිදහස් කරගන්න කියලා. බැරිම වුණොත්, පහර දෙනවා නම් එයාව නිදහස් කරගන්නත් පන්සීයක වගේ කණ්ඩායමක් යාපනයට එවන්න කියලා කිව්වා.
ඒක තමයි ලොකු ආන්දෝලනයකට පත්වෙලා තියෙන පණිවුඩය. විජේවීර සහෝදරයා කිව්වේ නෑ කොයි වෙලාවකවත් පහර දෙන්න කියලා. එයා කිව්වේ පහරදීමක් සිදුවෙනවා නම් එයාව නිදහස් කරගැනීම සඳහා යාපනයට පන්සීයක පමණ කණ්ඩායමක් එවන්න කියලා.
1971 සහ 1988-89 කාල පරාසය තුළ ජේවීපී එකේ කටයුතු ගැන පොත් ලියන ධර්මන් වික්‍රමරත්න මහත්මයට මම මේ තොරතුරු කිව්වේ. මගේ ගෙදරදි…’

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න










