පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තා වැඩ සටහනෙන් එල්ල කර තිබෙන චෝදනා විමර්ශනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එකී විමර්ශන ආරම්භ කිරීමත් පිළිබදව කතෝලික සභාව ඔවුන්ගේ ප්‍රසාදය ප්‍රකාශ කර තිබේ. Sri Lanka Latest News
කෙසේ වෙතත්, මෙම විමර්ශනය කඩිනමින් අවසන් කරනු දැකීම සිය අපේක්ෂාව බවද කතෝලික සභාව නියෝජනය කරමින්, කාදිනල් හිමිගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන ගරු සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබදව චැනල් ෆෝ නාලිකාව ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන විකාශය කළ වහාම ඒ පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කතෝලික සභාව ඉල්ලා සිටි බවද සිරිල් ගාමිණී පියතුමා පවසයි. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබදව විමර්ශනයක් ආරම්භ නොකළ අතර, චැනල් ෆෝ චෝදනා පිළිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කළ බව පවසන සිරිල් ගාමිණී පියතුමා, එම කමිටුව පිළිබදව තමන්ට කිසිදු විශ්වාසයක් නැතැයි, හිටපු ජනාධිපතිවරයා එම කමිටුව පත් කළ අවස්ථාවේ ම තමන් ප්‍රකාශ කළ බවද පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබදව චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා වැඩසටහනෙන් ඉදිරිපත් කර තිබෙන චෝදනා සම්බන්ධයේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන අරඹා තිබේ. එහි එක් පියවරක් ලෙස, හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණු අතර, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව මග හැර ඇති බව වාර්තා වේ.










