සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තුළ පසුගිය කාලයේ දී සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පිහිටුවීම අනුමැතිය හිමිව තිබෙනවා.Sri Lanka Latest News
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මගින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුවද එය පවත්වා ගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී තිබුණා.
මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිතකරමින් සාර්ථක ලෙස පවත්වා ගෙනයාමයි මහජන අභිලාෂය වී ඇත්තේ.
ඒ සඳහා, සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාල පරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදු කළ යුතුයි.
එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර තිබෙනවා.
ඒ අනුව, 2010-2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්. එම්. ගාමිණි විජේසිංහගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.









